ජනේලෙන් එබෙන එකා අල්ල ගැනීමේ මෙහෙයුම

pepping tom

අපේ තාත්තා ඉන්නේ රට නිසා අපේ ගෙදර ඉස්සර හිටියේ මමයි, අම්මයි, නංගියි විතරයි. අපරාදේ කියන්න බෑ මම උ.පෙ කරන කාලය දක්වාම අපේ රෑටවත් දවල්ටවත් කිසිම හොර හතුරු ආන්ත්‍රාවක් තිබුනේ නෑ. ඒත් දවසක් අම්මා මට කිවා අම්මයි නංගියි නිදාගන්න කාමරේ ජනෙල් රෙද්ද උදේ බලද්දී එහාට වෙලා තිබ්බා කියලා. කලින් දවසකත් එහෙම වෙලා. අම්මා හිතලා තියෙන්නේ හුළඟට කියලා. ඒත් ආයෙත් එහෙම උනහම අම්මට පොඩ්ඩක් බය හිතිලා. අනික අපේ නංගි ප්‍රාණ බය නිසා ඔය ජනෙල් රෙද්දෙන් පොඩ්ඩක්වත් එලිය පෙන්නේ නැති වෙන්න වහලා තමයි නිදා ගන්නේ.  ඊළඟ දවසේ අම්මා ජනෙල් රෙද්දේ හක් එකත් දාලා තමයි නිදාගෙන තියෙන්නේ. එත් පහුවදා බලද්දී ආයෙත් රෙද්ද ඈත් වෙලා. බඩුම තමයි. දැන් දන්නවා මොකෙක් හරි එබිලා තමයි කියලා. ජනේලේ වහලා තිබ්බට ජනෙල් පඩියට නැගල ජනේලෙට උඩින් තියන හුලන් කවුළුවෙන් එබෙන්න පුළුවන්. එළියෙන් ගිහින් බැලුවහම ජනෙල් පඩියේ කකුලේ ඇඟිලි පාරවල් තියනවා.

පොඩ්ඩක්  හෝදිසි කරහම අයියලාගේ ගෙදරත් ජනෙල් පඩිවල  ඇඟිලි පාරවල් තියනවා. අපේ නැන්දාගේ ලොකු දුවගේ ගේ තියෙන්නෙත් එහා පැත්තේ. එහෙත් එම සීන් එකමයි. කොහොමහරි අපේ ගෙදරින් තමයි වැඩේ පත්තු වුනේ.  දැන් ඉතින් අර ගුලියා කිවාවගේ මේ යකා අල්ලන්න එක එක ප්ලෑන් ගහනවා කට්ටිය. කරන්ට් දාන්න හදනවා, විදුරු කටු දාන්න හදනවා, ජනේලේ හුලන් කවුළුව වහමු කියලා කතාවකුත් ගියා. අපේ අයියා කෙනෙකුයි මමයි ඉදිරිපත් වුනා මේ වැඩේ නවත්තන්න. අපි දෙන්නා මුර සේවාවක් පටන් ගන්න තීරණය කළා. ඒත් අම්මා නම් පොඩ්ඩක් බර බරේ දැම්මා. අපි ඌට ගහන්නේ, වලි දාන්නේ නෑ කියලා පොරොන්දු උනාට පස්සේ ඒ වැඩෙත් ගොඩ දාගත්තා. අනික අපි දෙන්න අනිත් උන්ට කිවෙ නෑ. ඕකට සෙට් එකම එකතු වුනා නම් ඇනෙනවා. අපේ උන් ඕක තැන තැන ගිහින් කියලා අර රෑට හොල්මන් කරන එකාගේ කනටත් යන්න පුළුවන්නේ….

ඔන්න  අපි දෙන්නගේ ඩියුටි පටන් ගත්තා. පලවෙනි දවස් දෙකම පට්ට බෝරිං….

තුන්වෙනි දිනය

තුන් වෙනි දවසේ රෑ 1, 2 වෙනකම් ඉඳලා මුකුත්වුනේ නැති නිසා අපි දෙන්නා අවුරුද්දට ගෙනල්ල ඉතුරු වෙච්ච රතිඤ්ඤා පෙට්ටිය අරන් අහල පහල ගෙවල් කිට්ටුව පත්තු කරා. එහෙම කරේ ඒ ගෙවල් වල උන් අවධානයෙන් ඉන්නවද බලන්න. හැබැයි මාට්ටු වුනා නම් දෙන්නටම කන්න වෙනවා හොඳටම. එදා නම් පොඩ්ඩක්වත් බෝරිං නෑ. නිරීක්ෂණය දෙකක් සෙට් උනා.

පලවෙනි එක – ලඟ ගෙදරක ලයිට් එහෙම දාගෙන රෑ 2 විතර වෙනකම් මොකක් හරි  වැඩක් කර කර හිටිය ගොබිලෙක් රතිඤ්ඤා සද්දෙට පටස් ගාලා ලයිට් එහෙම නිවලා, ජනෙල් වහලා නිදාගත්තා. හද්දිසියකදී ප්‍රතිචාර දක්වන්න හොඳ ක්‍රමයක්

දෙවැනි එක – අපේ ගෙවල් ඉස්සරහා ඉන්න නිමල් අයියා කඩුවක් අරන් එලිය බැහැලා ” කව්ද යකෝ ?? මොකාද ඔය ? තොට #කේ අමාරුවද ?  ඇරගන්න ඕනෙද ?” කියල කෑ ගහලා පොරත් ලයිට් නිවලා නිදාගත්තා. අනිත් උන්ට සාපේක්ෂව ඌ හොඳයි.

උදේ කට්ටියගෙන් ඇහුවා ” ඊයේ රෑ වෙඩි සද්දයක් වගේ ඇහුනා මොකක්ද දන්නේ නෑ නේද ? ” කියල, මොන එකෙක් දන්නේ නෑ රතිඤ්ඤා පත්තු උනා කියලා.  එදා රෑ නම් පට්ට ආතල් අපි දෙන්න බඩ පැලෙනකම් හිනා උනා අරූ ජනෙල් වහගත්ත සීන් එකටයි. නිමල් අයියගේ සද්දේ දැමිල්ලටයි.

හතරවෙනි දවස

එබෙන එකෙක්ට එබිලා බලාගන්න කියලා  අපි දෙන්නම හොඳට ගෙදරට වෙලා නිදි.  පට්ටම නිදි මතයි දිගටම නිදි මරලා.

පස්වෙනි දවස

ඔන්න අපි දෙන්නා පුල පුලා බලා සිටි ඒ ත්‍රාසජනක දවස උදාවුනා.  එදාත් අපි දෙන්නා මිදුලේ මල් පඳුරකට මුවා වෙලා ඉන්නවා මොකක් හරි එකෙක්  කැරකෙයිද බල බල. මගේ අතේ තඩි ටෝර්ච් එකක්. අර රිචාර්ජ් කොරන එකක්. ඒක ගැහුවහම පලාතම පේනවා. අරූ අතේ තඩි කිතුල් පොල්ලක්. පොල්ල අපේ ආරක්ෂාවට. අපිට ඕනේවුනේ එබෙන එකාගේ මුණ බලාගන්න විතරයි. ඔහොම ඉන්නකොට හදිස්සියේම දැක්කා අක්කලාගේ ගෙදර අක්කලාගේ කාමරයට පොඩි එළියක්‌ වදිනවා.දඩ බඩ ගාලා අපි දෙන්නා නැගිටලා අක්කලාගේ තාප්පේ කිට්ටුවට කිට්ටු කරා. තාප්පේ උඩින් බැලුවහම කාමරේ ජනෙලේ හරිය පේනවා. හොඳට සුදානම් වෙලා ගැහුවා හෝදිසි බම්බුව. කාලා වරෙන් කිවලු. අපි දන්නා කියන ඩයල් එකක්. ටෝර්ච් පාරට කලබලවුන බුවා පැනලා දිව්වා. දුවනකොට තමයි උගේ සරුවාන්ගෙම පෙනුනේ. ඌ හිටියේ අමුම අමු හෙළුවෙන්………

ඔය ඩයල් එක පොඩ්ඩක් ගුප්ත පොරක්. වැඩි කතාබහක් නැති අත්භූත ගොබිලෙක්. ඌ ගැන හිතාගන්න මම පොඩි සීන් එකක් කියන්නම්.  ඔය යකා දවසක් රෑ ගෙදර උන් එක්ක වලියක් දාගෙන ගෙට උඩහා කන්දේ මහකැලේ  ගහක් උඩ රෑ 12, 1 වෙනකම් මෙලෝ එළියක්‌ නැතුව ඉඳලා අහල පහල උන් කන්ද පීරලා ඕකව හොයාගත්තේ.. ඔය වගේ සීන් මහා ගොඩක් තියනවා ඩයල් එක කරපු. අපි දෙන්නා එහෙම මෙහෙ කැරකෙද්දී ඔන්න හම්බවුනා අරූ ඇඳගෙන ආපු සරමයි, පොරවාගෙන ආපු රෙද්දයි, සෙරප්පු දෙකයි. මොනවා වුනත් අහල පහල එකෙක් හින්දා ඕක හැමෝටම කියන්නත් බෑ. ඊට පස්සේ ඉතින් අරුට ආයේ එලියට බහින්න බැරි වෙනවනේ. මොනවා උනත් කොල්ලෙක්නේ. අනික ඌට පොඩි කාලේ ඉඳන්ම ප්‍රශ්න. ඌට එහෙම මානසිකත්වයක් හැදෙන්න හේතුව උගේ දෙමාපියෝ. එක අපි හොඳට දන්නවා. ඒ  නිසා ඌ ගැන කියලා උගේ මුළු අනාගතයම අඳුරු කරන්න අපිට ඕනේ උනේ නෑ. අපි කරපු දේ අහල පහල උන් ඔක්කොම ඇහැරවලා දන්නේ නෑ වගේ අර ඇඳුම්, සෙරප්පු කාගේද කියලා ඇහුවා. එබිච්ච එකාගේ තාත්තා ඇවිත් ඇඳුම් ඒ මිනිස්සුන්ගේ කියලා අඳුර ගත්තා.

” මෙහෙමනේ පුතා ඔය ඇඳුම් අපේ වැලේ තිබ්බේ, සෙරප්පු දෙකත් එළියේ තිබ්බේ ඉතින් අපේ ගෙදරට ඇවිල්ලා දාගෙන පල්ලෙහාට අවාද දන්නේ නෑනේ.” ඒ අන්කල්ගේ පැහැදිලි කිරීම. අර ගොබිලා අන්කල්ගේ ගෙදරට ඇවිල්ල තියෙන්නේ එතකොට හෙළුවෙන්. අපි අහල පහල ඔක්කොම කට්ටිය ඇලට් කරා සීන් එක ගැන. අන්කල්ට නම් තේරුනා වැඩේ වැරදුන විත්තිය. අපි පොලිසිට ගිහින් ආරක්ෂාවට පැමිනිල්ලකුත් දැම්මා. එවෙලාවත් අන්කල් ඇවිත් ” ඔය අසහනකාරයෙක්ගේ වැඩක්. කලබල වෙන්න දෙයක් නෑ රාලහාමි” කියා කියා වැඩේ ශේප් කරන්න ට්‍රයි එකක් දුන්නා. හැබැයි විස්තරේ දන්නේ අන්කලුයි අපියි විතරයි.  පස්සේ දවසක බොහෝම අමාරුවෙන් රැකලා රැකලා අරුව අල්ල ගත්තා.

” අඩෝ ලජ්ජා නැති වැඩ කරන්න එපා. අපි දන්නවානේ දැන් උබයි බුවා කියලා. පොලිසියේ ඇන්ට්‍රි එකකුත් දාලා ආවේ. ආයේ එබිලා මාට්ටු උනොත්, ජනෙල් රෙද්ද එහෙ මෙහෙවෙලා හරි, ජනෙල් පඩිය උඩ ඇඟිලි මාර්ක් එකක් හරි තිබිලා මාට්ටු උනොත් හරි හැමෝටම කියනවා උබයි මේ වැඩේ කරන්නේ කියලා. නැත්නම් අනිත් දවසේ රැකලා ගහනවා මැරෙන්නම. පොලිසියටත් කියලනේ තියෙන්න, අනික බං උබට ඔච්චර අමාරුවක් තියනවා නම් වැ#ක් බලපන්කො. නිදිමරාගෙන ගෙවල් ගානේ බඩ ගාලා අපේ නින්දටත් කෙළවන්නේ ” ඔය විදිහට තගක් දැම්මා. වැඩේ නැවතුනා… අපි කොල්ලගේ ඇඟට අතක් තිබ්බෙත් නෑ. චරිතේ විනාස කරෙත් නෑ. අද ඌ කසාදයක් එහෙම කරගෙන පිළිවෙලට ඉන්නවා කියලා ආරංචියි. හැබැයි එදා රෑ ඌට ගහලා මොකක් හරි කොරා නම් අද ඌ කොයි ලෝකේ ඉඳීද දන්නේ නෑ….

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.