ජවිපෙ:දිනන පක්ෂයක්ද ?

දේශපාලන සන්ධාන සහ පක්ෂ රැසක් තරඟ වදින අගෝස්තු මහ මැතිවරණයේ තුන්වැනි බලවේගය ලෙස ඇතැමුන්ගේ අවධානයට ලක් වෙන ජනතා විමුක්ති පෙරමුණ සිය ප්‍රබල අභියෝගය එල්ල කෙරෙන එක්සත් ජාතික පෙරමුණට සහ එක්සත් ජනතා සන්ධානයට පෙර ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනය සමාජගත කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර 225 ක් සඳහා තරඟ වදින හය දහසකට අධික අපේක්ෂකයන් අතර සිටින ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයෝ ඔවුන්ට සුපුරුදු වේගවත් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට අවතීර්ණ වී සිටිති.

පනස් වසරක පමණ දේශපාලන ඉතිහාසයක් සහිත ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු නියෝජනයක් සහතික කර ගැනීම අතින් මුහුණ දෙන තීරණාත්මක මැතිවරණය මෙයයි.

වමේ ප්‍රධාන පක්ෂය

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

වසර අසූවක ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ පැරණිම දේශපාලන පක්ෂ දෙක වන ලංකා සම සමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එක්සත් ජනතා සන්ධානය යටතේ තරඟ වදින අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල දේශපාලන විවේචනය එල්ල වෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන එක්සත් ජාතික පෙරමුණ නොව එක්සත් ජනතා නිදහස් සන්ධානයයි.

ප්‍රධාන දහරාවේ දේශපාලන බලවේග සඳහා ඇති වාම විකල්පය තමන් යයි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කලත් සාම්ප්‍රදායික අර්ථයෙන් එය වාමාංශික පක්ෂ ගණයට ඇතුළත් වේද යන්න තවමත් ගැඹුරු දේශපාලන විවාදයක මට්ටමකයි පවතින්නේ.

මාක්ස් ලෙනින්වාදී නිර්වචනය අනුව ජනතා විමුක්ති පෙරමුණ ‘වාමාංශික’ දේශපාලන පක්ෂයක් නොවන බව නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ විග්‍රහයයි.

‘ජනතා විමුක්ති පෙරමුණ සිංහල ජාතිකවාදී සමාජ ස්තරයක් මත පදනම් වූ දේශපාලන පක්ෂයක්’ යයි නව සම සමාජ පක්ෂයේ නායකයා පවසයි.

දේශපාලන බලපෑම

ජවිපෙ ‘රතු ගැටව්’

දේශපාලන විශ්ලේෂක කුසල් පෙරේරා වත්මන් දේශපාලන ක්‍රියාවලිය තුළ ජනතා විමුක්ති පෙරමුණ වැනි වාමාංශික පක්ෂ වලට කළ හැකි දේශපාලන බලපෑම පිළිබඳව විශ්ලේෂණයක නිරත වෙමින් කියා සිටියේ ‘ශ්‍රී ලංකාවේ වාමාංශික පක්ෂ වලට අතීතයක් මිස ප්‍රායෝගික මට්ටමින් අද කළ හැකි තීරණාත්මක බලපෑමක් නොමැති’ බවයි.

‘අද ඡන්දදායකයන් දෙපිලකට බෙදී සිටිනවා. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පෙරමුණ අතර. මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන විවේචනය එල්ල වෙන්නේ මහින්ද රාජපක්ෂට සහ ඔහු පෙනී සිටින සන්ධානයට එරෙහිවයි’ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් කැඩී ‘වමේ කේන්ද්‍රය’තුල ක්‍රියා කරන හිටපු පළාත් සභා මන්ත්‍රී රාජා උස්වැටකෙය්යාව පවසයි.

කෙසේ වුවද, වමේ දේශපාලන පක්ෂයක් හැටියට අතීතයෙන් පාඩම් ඉගෙන ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ පෙරට යමින් සිටින බවට බලාපොරොත්තු තැබිය හැකි බවයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයෙන් නෙරපනු ලැබුන රාජා උස්වැටකෙය්යාව පවසන්නේ.

අධීක්ෂණ කාර්යභාරය

පසුගිය අවධිය පුරා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු නියෝජිතයන් විසින් ඉටු කරන ලද කාර්යභාරය අනුව පාලකයන්ගේ දූෂණ අපචාර සහ බලය අයථා මට්ටමින් පාවිච්චි කිරීම වළක්වා ලීමේ ලීවරයක මට්ටමින් එම පක්ෂය ව්‍යවස්ථාදායක මණ්ඩලය තුළ අධීක්ෂණ මට්ටමින් (WATCH DOG)නියෝජනය විය යුතු බව පැවසෙන සමාජ මතවාදයක් ද පවතී.

ජවිපෙ පෙළපාලියක්

වාමාංශික මතවාදය කලක් මුල් බැස ගෙන තිබුණ ප්‍රදේශ හැර සමස්ත වශයෙන් ගත් විට නව පරපුරේ අලුත් ඡන්ද ආකර්ෂණය කර ගැනීම ජනතා විමුක්ති පෙරමුණ ද ඇතුළු සියලු වමේ පක්ෂ මුහුණ දී ඇති පොදු අභියෝගයක් වෙයි.

ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය ජාතික නිදහස් පෙරමුණ අද එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින අතර මෑතදී වෙන් වූ පෙරටුගාමී පක්ෂය දිස්ත්‍රික් කීපයක් සඳහා වෙනම පක්ෂයක් හැටියට තරඟ වදියි.

ප්‍රධාන කරුණු නවයක් ඇතුළත් දේශපාලන ප්‍රකාශනයක් ද රැගෙන ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ පොරයට ප්‍රවේශ වී සිටින්නේ ඔවුන් ඉදිරියේ පවතින ඉහත කී ආකාරයේ දේශපාලන අභියෝග රැසක් ඉදිරියේයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.