ජාතිය මුල් කරගත් දේශපාලනයේ හෙට – ජයදේව උයන්ගොඩ

සිංහල වාර්ගික ජාතිවාදී විකල්ප අවකාශය සීමා කළ යුතුයි – ජයදේව උයන්ගොඩ

Vijaya-Kuweni-Film(ජායාරූපය : සිනමාඩෙටිඑල්කේ)

වාර්ගික ජාතිකවාදී දේශපාලනයේ අනාගතය කුමක් විය හැකි ද? යන්න ලංකාවේ වර්තමාන දේශපාලනයේ මතුවන තරමක් යට ගොස් ඇති, එහෙත් වැදගත් ප‍්‍රශ්නයකි.”වාර්ගික-ජාතිකවාදය” යනු ජනවාර්ගිකත්වය පදනම් කරගෙන ගොඩනැගෙන ජාතිකවාදී දේශපාලනයයි. සිංහල, දෙමළ, මුස්ලිම් යනු ලංකාවේ සමාජය ගොඩනැගී ඇති ප‍්‍රධානතම ජනවාර්ගික-ජාතිකවාදී පද්ධතීන් තුනයි.

පසුගිය ජනාධිපති මැතිවරණය ආශ‍්‍රිතව බලන විට, ජනවාර්ගික ජාතිකවාදී දේශපාලනය සම්බන්ධව ගොඩ නැගී තිබුණු ප‍්‍රවණතාවයන් කිහිපයක් මෙසේ හඳුනාගත හැකිය.

  • මෛත‍්‍රීපාල සිරිසේන, ජනාධිපති අපේක්‍ෂකයා වටා ගොඩනැගී තිබුණු ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණු සන්ධානය වාර්ගික-ජාතිකවාදය ජනාධිපතිවරණයේ දේශපාලන ව්‍යාපාරය ලෙස පාවිච්චි කළේ නැත.
  • ජාතික ප‍්‍රජාතාන්ත‍්‍රවාදී පෙරමුණට සම්බන්ධ වූ දෙමළ-මුස්ලිම් මෙන්ම සාම්ප‍්‍රදායික වශයෙන් සිංහල ජාතිකවාදයට බරවූ දේශපාලන පක්‍ෂ ද ජාතිකවාදය ජනාධිපතිවරණ ව්‍යාපාරයට ගෙන ආවේ නැත. ජාතික හෙළ උරුමයත්, ද්‍රවිඩ ජාතික සන්ධානයත්, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයත් ඉදියට දැමුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ න්‍යාය පත‍්‍රයකි, වාර්ගික-ජාතිකවාදී න්‍යාය පත‍්‍ර නොවේ.
  • වාර්ගික – ජාතිකවාදය දේශපාලන අවියක් කරගත්තේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයා වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. එජානි සන්ධානය, එසේ කෙළේ විශේෂයෙන් ම ජනාධිපතිවරණ ව්‍යාපාරයේ අන්තිම සතියෙහිය. සිංහල ජාතිකවාදී ආයාචනය එසේ මතු කරන ලද්දේ ජනාධිපතිවරණයෙන් ජය ගැනීම පිළිබඳ රාජපක්‍ෂ කඳවුර වෙත පෙරදී තිබුණු විශ්වාසය බිඳ වැටීමේ පසුබිම තුළය. සිංහල බෞද්ධ ජනතාවගේ විඥානය තුළ ”ජාතික අනාරක්‍ෂාව” පිළිබඳ භීතිය ඇති කිරීම, එම ජාතිකවාදී ආයාචනයේ ප‍්‍රධාන තේමාව විය. විමල් වීරවංශ, උයද ගම්මන්පිල සහ රාජ්‍ය මාධ්‍යය නිලධර තන්ත‍්‍රය, එම ජාතිකවාදී ව්‍යාපාරයේ ප‍්‍රධානතම ක‍්‍රියාකාරයින් වූ පිරිසයි.

ජනාධිපතිවරණය පිළිබඳව සමස්තයක් වශයෙන් බලන විට වාර්ගික ජාතිකවාදී දේශපාලනය ගැන, කෙනෙකුට දේශපාලන නිරීක්‍ෂණ නිතියක් ද කළ හැකිය.

ඉන් පළමුවැන්න නම්, සිංහල, දෙමළ සහ මුස්ලිම් යන ලංකාවේ ප‍්‍රධාන ජනවාර්ගික සමාජ කණ්ඩයම් තුනෙහිම, අත්‍යන්ත-වාර්ගික ජාතිකවාදයන් පසුපස්සට ගොස්, මධ්‍යස්ථවාදී ජාතිකවාදී ප‍්‍රවණතා ඉදිරියට පැමිණ ඇති බවයි. ජාතික හෙළ උරුමය පත් වී ඇති බවට පෙනෙන දේශපාලන මතවාදී පරිවර්තනය මේ සම්බන්ධව නිරීක්‍ෂණය කළ හැකි ඉතාම සාධනීය ප‍්‍රවනතානවයයි.

දෙවැනි නීරීක්‍ෂණය නම්, ජාතිකහෙළ උරුමයේ මධ්‍යස්ථවාදී පරිවර්තනය සමග සිංහල-ලංකාවේ ජාතිකාවාදී දේශපාලනයේ හටගෙන තිබෙන නිදහස පිරවීමට, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොටස් ඉදිරියට පැමිණ තිබෙන බවයි.

මේ කොටස් ප‍්‍රධාන වශයෙන් ම සමන්විත වන්නේ, ශ‍්‍රී ලනිපයට පසුගිය කාලයේ දී ජවිපෙන්, හෙළ උරුමයෙන් සහ එජාපයෙන් වෙන් වී එකතු වූ අය බව ද පෙනේ. මහින්ද රාජපක්‍ෂ නායකත්වය යටතේ, අලූත් සිංහල-ජාතිවාදී බළමුළු ගැන්වීමකට, අලූත් දේශපාලන-සමාජ අවකාශයක් ලැබෙනු ඇතැයි ද ඔවුහු අපේක්‍ෂා කරති. ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල ඔවුන් විග‍්‍රහ කරන්නේ මේ අපේක්‍ෂාවේ ආස්ථානය පදනම් කරගෙනය. ඉදිරියේ ඇති විය හැකි පාර්ලිමේන්තු මැතිවරණය, ඔවුන්ගේ මෙම දේශපාලන අපේක්‍ෂාව උරගා බලන අවස්ථාවක් වීමට හොඳටම ඉඩකඩ තිබේ.

 

 

jaya

 

 

මේ පසුබිම තුළ ලංකාවේ ඉදිරි කාලීන දේශපාලන ගමන්මග ගැන සාධනීය මෙන්ම නිෂේධනීය ප‍්‍රවණතා දෙකක් හඳුනාගත හැකිය.

ඉන් පළමුවැන්න, සිංහල, දෙමළ සහ මුස්ලිම් සමාජවල ප‍්‍රධාන දේශපාලන බලවේග අතර, ”මධ්‍යස්ථවාදී ජාතිකත්වය” මත ගොඩනැගුණු දේශපාලන සංහිඳියාවක් සඳහා දැනට ගොඩනැගී ඇති සංයුක්ත තත්ත්වයන් තවත් තහවුරුවීමයි. ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ වටා ඒකරාශී වී ඇති දේශපාලන බලවේග වටා මෙම ප‍්‍රවණතාවය ඉදිරියට යාමට ඉඩ තිබේ.

දෙවැන්න නම් අන්තවාදී සිංහල-ජාතිකවාදය, පළමුවැන්න තරඟකාරීව යළි සකස් වී ඉදිරියට ඒමයි. රාජපක්‍ෂ-වීරවංශ-ගම්මන්පිල නායකත්වය යටතේ මෙවැනි අලූත් දේශපාලන ප‍්‍රවණතාවයකට හොඳටම ඉඩකඩ තිබේ. ජාතික හෙළ උරුමයෙන් සහ ජවිපෙන් දැනට ගිලිහී තිබෙන බව පෙනෙන සිංහල ජාතිවාදයේ කොඩිය ඔසවා ගැනීමේ කාර්යය ඔවුන් දැනටම ආරම්භකර ඇති බව ද පෙනේ.

වාර්ගික ජාතිකවාදී දේශපාලන අවකාශය, ලංකාවේ සිංහල, දෙමළ සහ මුස්ලිම් සමාජවලින් අහෝසි වී ගොස් නැති බව ද අප අමතක කළ යුතු නැත. වාර්ගික සිංහල ජාතිකවාදව ලංකාවේ දේශපාලනයට යලි ප‍්‍රවේශවීම වැළැක්විය නොහැකි වුවත්, එහි දේශපාලන ව්‍යාප්තිය සීමා කිරීම කළ යුත්තකි. මන්ද යත්, සමස්ත ලාංකික සමාජයේ ම පවතින ප‍්‍රජාත‍්‍රන්තවාදය පිළිබඳ දේශපාලන විඥානය සහ න්‍යාය පත‍්‍රය ඒ මතින් කළ හැකි හානිය ඉමහත් නිසාය.

මේ වගකීම, දැනට මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ඇති ජාතික ප‍්‍රජාත‍්‍රන්තවාදී පෙරමුණ විසින් අමතක නොකළ යුත්තකි.

ජනාධිපතිවරණ සමයේ එම පෙරමුණ සහ සිවිල් සමාජ බලවේග අතර, ඇති වූ ප‍්‍රජාත‍්‍රන්ත‍්‍රවාදී සභාගය සතු ප‍්‍රධාන දේශපාලන කාර්යයක් වනු ඇත්තේ ද, සිංහල වාර්ගිකජාතිවාදී විකල්පයකට ඇති සමාජ දේශපාලන-මතවාදී අවකාශය සීමා කිරීමයි.

(ලංකාවේ ජාතික ප‍්‍රශ්නය ගැන අදහසක් – මහාචාර්ය ජයදේව උයන්ගොඩ නමින් ඉදිරිය පුවත පතෙහි පළ වූ ලිපියයි)

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.