ඥානසාර හිමියන් අත් අඩංගුවට?

ජපානයේ බණට වැඩි ඥාණසාර හිමිට, උසාවිය මගහැරෙයි !

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිකරණයට යාමට නොහැකිවූයේ උන්වහන්සේ වෙසක් බණක් සදහා ජපානයට වැඩසිටින නිසා යැයි එම සංවිධානයේ සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි ඩිලන්ත විතානගේ මහතා කියා සිටියේය.

ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (08) වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් ඒ මහතාගෙන් කළ විමසීමකදී මේ බව කියා සිටියේය.මේ අනුව නීතිය නිසියාකාරව ක්‍රියාත්මක වන්නේ නම් උන්වහන්සේ ගුවන් තොටුපලේදී අත්  අඩංගුවට ගැනීමට ඉඩ තිබේ.කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට පැමිණීමට  පෙර ඇප ඉල්ලුම්පතක් උසාවියට ඉදිරිපත් කිරීමේ නීතිමය ප්‍රතිපාදන පවතී.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ උන් වහන්සේ මැයි 08 වැනිදාට පෙර ලංකාවට වැඩීමට සියලු කටයුතු සූදානම්කර තිබුණද එය යම්කිසි කාරණාවක් නිසා මගහැරී ගොස් ඇති බව තමන්ට දැනගැනීමට ලැබී ඇති බවයි.

කෙසේවුවද උන්වහන්සේ මීළග නඩුවාරයේදී අධිකරණයට ඉදිරිපත්වනු ඇතැයිද ඔහු කීය.

 

 

මේ උසාවියේදී ඇතිවූ කථා බහයි

අධිකරණය මගින් තහනම් කර තිබියදී අල්ලස්‌ කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණ පවත්වා අධිකරණ නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් නොතීසි මත පෙනී සිටි සැකකාර භික්‌ෂූන් වහන්සේලා එකුන්දසනම රුපියල් ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප මතද සැකකාර පාර්ලිමේන්තු, පළාත් සභා හා නාගරික මන්ත්‍රීවරුන් දහඅට දෙනා රුපියල් ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප හා රුපියල් දස දහසක මුදල් ඇප මතද මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (08 දා) නියෝග කළේය.

ඇප තැබීමෙන් පසු සියලුම සැකකරුවන් සෑම මසකම අවසන් ඉරුදින අධිකරණයේ ප්‍රධාන ලේඛකාධිකාරිවරිය හමුවේ පෙනී සිට වාර්තා කළ යුතු බවද ඇප කොන්දේසි පැනවූ මහෙස්‌ත්‍රාත්වරයා මෙම සිද්ධිය ලංකාවේ සියලු අධිකරණවලට බලපාන සිද්ධියක්‌ බැවින් සැකකරුවන් වෙතින් යළි මෙවැනි සිද්ධියක්‌ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් වුවහොත් ඇප නියමය අවලංගු කොට නඩු විභාගය අවසන්වනතුරු රක්‌ෂිත බන්ධනාගාර ගත කරන බවට අවධාරණය කළේය.

සියලු සැකකරුවන් ඇප තැබීමෙන් පසු මුදාහරින ලෙසට නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරයා සැකකාර මන්ත්‍රීවරුන්ට ඇප තබනතෙක්‌ ඔවුන් අධිකරණ සිර මැදිරියේ රඳවා තබන ලෙසට නියෝග කළේය. ඒ අනුව අධිකරණ සංකීර්ණයේ මෙතෙක්‌ විවෘත කොට නොමැති අභිනවයෙන් ඉදිකර තිබූ සිරමැදිරිය තුළ සැකකාර මන්ත්‍රීවරුන් රඳවා තැබූ බන්ධනාගාර නිලධාරීන් වරින් වර එක්‌ එක්‌ මන්ත්‍රීවරයා අභිනව සිරමැදිරියේ සිට ඇප තැබීම සඳහා අධිකරණ කාර්යාලය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

ඇප නියම කිරීමෙන් පසු සැකකාර මන්ත්‍රීවරුන් රඳවා සිටි බන්ධනාගාර සිර මැදිරියෙහි යකඩ දොර අගුලු වැටීමෙන් යතුර සොයා ගැනීමට කාලයක්‌ ගතවීමෙන් සැකකාර මන්ත්‍රීවරුන්ට ඇප තබා අධිකරණ භූමියෙන් එළියට යැමට අමතර පැය දෙකක පමණ කාලයක්‌ ගතවූ අතර එම කාලය තුළ ඔවුන් සමඟ කථා බහ කිරීමට ගිය නීතිඥවරයකුටද සිරමැදිරිය තුළ ගත කරන්නට සිදුවිය.

සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී මෙහි සැකකරුවන් ලෙස නම්කර නොතීසි නිකුත් කර තිබූ මුරුත්තෙට්‌ටුවේ ආනන්ද, මැදගොඩ අභයතිස්‌ස, බෙංගමුවේ නාලක, විතාරන්දෙණියේ නන්ද, අහුන්ගල්ලේ සිරිජිනානන්ද, බියගම සුසිල, වටිනාපහ සෝමානන්ද හා ඉත්තෑපානේ සද්ධාතිස්‌ස ස්‌වාමීන් වහන්සේලාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස්‌ අලහප්පෙරුම, ජානක ප්‍රියන්ත බණ්‌ඩාර, සරත් වීරසේකර, රොෂාන් රණසිංහ, ජයන්ත කැටගොඩ, උදිත ලොකු බණ්‌ඩාර, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, එස්‌. එම්. චන්ද්‍රසේන හා වීරකුමාර දිසානායක ද බස්‌නාහිර පළාතේ ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග, එම පළාත් සභා මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, රොජර් සෙනවිරත්න, ජගත් කුමාර, සුනිල් ජයමිණි හා උපාලි කොඩිකාර ද කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් වන මධුමාධව අරවින්ද හා අජන්ත ලියනගේ යන සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර සැකකාර ස්‌වාමීන් වහන්සේලාට විත්ති කූඩුවෙන් පිටතත් සැකකාර මන්ත්‍රීවරුන්ට විත්ති කූඩුවේ ඇතුළතත් සිටින ලෙසට අධිකරණයෙන් නියෝග කෙරිණි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කොළඹ අපරාධ කොට්‌ඨාසයේ සහකාර පොලිස්‌ අධිකාරි ඩබ්ලිව්. එම්. චන්ද්‍රතිලක මහතා කරුණු දක්‌වමින් මෙම සිද්ධියේ ඉදිරි විමර්ශන තම කොට්‌ඨාසය මගින් සිදුකරන බවත් අධිකරණය මගින් තහනම් කර තිබියදී සැකකරුවන් සිදු කළ උද්ඝෝෂණ තුළින් අධිකරණයට අපහාසයක්‌ සිදුව ඇති බවත් කියා සිටියේය.

මෙම තහනම් නියෝගය නිකුත් කළ අයගෙන් එක්‌ අයකු වන මුසම්මිල් නමැත්තා නියෝගය නඩුකාරයාටම දෙන්න යෑයි කියූ බවද පැවසූ චන්ද්‍රතිලක මහතා ඔහුද මෙම නඩුවට කැඳවිය යුතු බවත් කියා සිටියේය.

මෙම පැමිණිලි විභාගයේ අතරමැදි පාර්ශ්වකරුවකු ලෙසින් තමන් ඉදිරිපත් වන බව පැවසූ නීතිඥ හුසේන් අසාර් මහතා ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාද මෙහි සැකකරුවකු ලෙසින් ඇතුළත් කළ යුතු බවද ඔහු උද්ඝෝෂණය අධිකරණයෙන්a තහනම් කර තිබියදී උද්ඝෝෂකයන් අමතා ශබ්දවාහිනී මගින් කථා පවත්වා ස්‌තූතිය පළකර ඇති බවද කියා සිටියේය.

සහකාර පොලිස්‌ අධිකාරි චන්ද්‍රතිලක මහතා – තවම මෙහි පරීක්‍ෂණ අවසන් නෑ ස්‌වාමීනි. ඕනෑම අයකුට තොරතුරු ලබාදීම කළ හැකියි.

ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා – නීතිඥ මහත්තයා කියන දෙය ගැන ඉදිරියේදී වාර්තාවක්‌ ඉදිරිපත් කරන්න.

සැකකාර ස්‌වාමීන් වහන්සේලා වෙනුවෙන් පෙනී සිටි හිටපු නීතිපති ජනාධිපති නීතිඥ පාලිත ප්‍රනාන්දු මහතා කරුණු දක්‌වමින් පොලිසිය මගින් දක්‌වා සිටි කරුණු අනුව මේ ගැන තවදුරටත් පරීක්‍ෂණ පවත්වන බව කීවත් සැකකරුවන්ට ඉදිරිපත්ව ඇති චෝදනා සම්බන්ධයෙන් මෙම අධිකරණය තුළදී පැමිණිලි විභාග කළ හැකිද කියා ප්‍රශ්න මතු වන බවට කියා සිටියේය.

ජනාධිපති නීතිඥ පාලිත ප්‍රනාන්දු මහතා – මේ දාලා තියෙන චෝදනා ගැන මෙම අධිකරණය තුළ නඩුවක්‌ පවත්වාගෙන යන්න පුළුවන්ද කියා ප්‍රශ්නයක්‌ මතුවෙනවා. ඒ ගැන ඉදිරියේදී කරුණු දක්‌වන්න බලාපොරොත්තු වෙනවා.

මහෙස්‌ත්‍රාත්වරයා – තවම චෝදනා ගොනුකර නෑනේ. සැකකරුවන්ට ඇප ඉල්ලීමක්‌ කරන්නේ නැද්ද?

පාලිත ප්‍රනාන්දු මහතා – ඇප ඉල්ලනවා ස්‌වාමීනි. අපි නොතීසියක්‌ අනුවයි ආවේ. අධිකරණයට අපහාස කරන්න ෙච්තනාවක්‌ අපිට නෑ. තහනම් නියෝගය ගැන අපිට කිසිම නොතීසියක්‌, ලේඛනයක්‌ ආවේ නෑ. එස්‌. එම්. එස්‌ වලින් නොතීසි කරන්න පුළුවන්ද? තහනම් නියෝගය දෙදෙනකුට පමණයි. ඒ බව ඔවුන්ගේ අනුගාමිකයන්ට දන්වන ලෙසට කියා තිබුණා. මේ ස්‌වාමීන් වහන්සේලා ඔවුන්ගේ අනුගාමිකයන්ද? තමන් වහන්සේලාට තියෙන මූලික අයිතියක්‌ හැටියටයි මුන්වහන්සේලා එතැනට ගොස්‌ තියෙන්නේ.

නීති විරෝධී රැස්‌වීමක්‌ නම් පොලිසිය වහා විසුරුවා හැරිය යුතුයි. මූලික අයිතියක්‌ කාටවත් නැවතිය නොහැකියි. උසාවි නියෝගයකින් එය කරන්න බෑ.

මහෙස්‌ත්‍රාත්වරයා – මහපාරේÊමහ දවල් පිරිත් කියන්න පුළුවන්ද? පිරිත් කීමෙන් මහජනයාට හිරිහැර කිරීම බුදු දහමට එකඟ දෙයක්‌ ද?

සහකාර පොලිස්‌ අධිකාරිවරයා – හදිසි ඇමතුම් අංශයට විශාල ඇමතුම් ගණනක්‌ ඇවිත් තිබුණා ස්‌වාමීනි.

මහෙස්‌ත්‍රාත්වරයා – තහනම් නියෝගය ගැන ස්‌වාමීන් වහන්සේලා දැනුවත් කළාද?

සහකාර පොලිස්‌ අධිකාරිවරයා – එසේයි ස්‌වාමීනි …. ඒ ගැන වීඩියෝ පටවල දර්ශන තියෙනවා.

පාලිත ප්‍රනාන්දු මහතා – මූලික අයිතිවාසිකම් සීමා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයටවත් කරන්න බෑ. එය ව්‍යවස්‌ථාවේම සඳහන් වෙනවා.

මහෙස්‌ත්‍රාත්වරයා – සීමා කර ඇති ද යන්න අදාළ වීඩියෝපට බලා තීරණයක්‌ ගත යුතුයි. අල්ලස්‌ කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණය තහනම් කරලා නියෝග ලබා දී තිබියදී මහ පාරේ පිරිත් කියන්න පුළුවන්ද?

පාලිත ප්‍රනාන්දුÊමහතා – අල්ලස්‌ කොමිසම නොවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවා උද්ඝෝෂණ සිදුවෙලා තියෙනවා. පිරිත් කීම පමණක්‌ නොවේ පොල් පවා ගහලා තියෙනවා.

මහෙස්‌ත්‍රාත්වරයා

මේ අයව ඒ වෙලාවේදී අත්අඩංගුවට අරන් ඉදිරිපත් කරන්න පුළුවන් වරදක්‌ කරලා තියෙන්නේ. ඇයි එහෙම නොකළේ

සහකාර පොලිස්‌ අධිකාරිවරයා – එහෙම දෙයක්‌ කරන්න ගියා නම් එතැන සාමය බරපතළ ලෙස කඩ වීමක්‌ වෙන්න තිබුණා ස්‌වාමීනී. පැමිණ සිටි පිරිස කලහකාරී ලෙස හැසිරීමක්‌ නෑ. මාර්ගය අවහිර වුණා. ඒත් ජනතාවට බාධා වුණා. එදා මුළු කොළඹ මාර්ග අවහිර වුණා.

ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා –

අධිකරණයට බාධා වුණා කියා උපකල්පනය යටතේ ඉදිරිපත් කරලා තියෙනවා. අපි අධිකරණයට අපහාස කිරීමක්‌ කර නැහැ. තහනම් නියෝග අරන් තියෙන්නේ දෙදෙනෙකුට පමණයි. ඔවුන් අනුගාමිකයන්ට දැන්විය යුතුයි. මේ සැකකරුවන් ඔවුන් දෙදෙනාගේ අනුගාමිකයන්ද?

මහෙස්‌ත්‍රාත්වරයා – උද්ඝෝෂණයට එන්නේ කවුද කියලා පොලිසියට හිතන්න පුළුවන්ද? සංවිධානය කරන අයට දන්වනවා. අනෙක්‌ අය දැනුවත් කරන ලෙස.

ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා – සාමකාමී උද්ඝෝෂණ වළක්‌වන්න කාටවත් බෑ. පොලිසිය උසාවිය නොමඟ යවලා නියෝග අරන් තියෙනවා. මේ කිසිම සැකකරුවකුට එරෙහිව තහනම් නියෝග අරන් නෑ.

මහෙස්‌ත්‍රාත්වරයා – මාධ්‍ය මගින් දැන ගත්තේ නැතිද?. රූපවාහිනී ප්‍රවෘත්ති නැරඹීමක්‌ කරන්නේ නැද්ද?

අලි සබ්රි මහතා – අධිකරණයේ ස්‌වාධීනත්වය ගැන අපිට දැඩි විශ්වාසයක්‌ තියෙනවා. රූපවාහිනීවල ප්‍රවෘත්ති බල බලා ඉන්න අපිට වෙලාවක්‌ නෑ. අධිකරණය එක්‌ එක්‌ අයට ඕනෑ විදියට හසුරුවන්න දෙන්න බෑ. වෙන කාටවත් ගත්ත තහනම් නියෝගයකට මේ අයව යොදා ගන්න පුළුවන්ද?

මහෙස්‌ත්‍රාත්වරයා – ව්‍යංගයෙන්වත් දැන ගත්තේ නැද්ද?

අලි සබ්රි මහතා – ව්‍යංගයෙන් උසාවියට අපහාස කළා කියා කිව නොහැකියි. මේ නඩුව අහන්න මේ උසාවියට බලයක්‌ නෑ. ඇපිල් උසාවියට දාන්න ඕනේ.

ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා – රටේ ඉන්න කීර්තිමත් භික්‍ෂුන් වහන්සේ හා දේශපාලනඥයන් පිරිසක්‌ තමයි මේ උසාවියට කැඳවලා තියෙන්නේ. තහනම් නියෝග ගන්න ඉස්‌සර සිතාසි යෑවිය යුතුයි. නැතිනම් ප්‍රදර්ශනය කළ යුතුයි. එහෙම දෙයක්‌ කරන්නේ නැතිව මේ අහිංසක නීතිගරුක දේශපාලනඥයන් උසාවි දාලා උසාවියට අපහාස කරලලු. මූලික අයිතියක්‌ කාටවත් නැති කරන්න බෑ. එස්‌.එම්.එස්‌. වලින් ප්‍රවෘත්ති වලින් නොතීසි යවන ක්‍රමයක්‌ තියෙනවද?

පාලිත ප්‍රනාන්දු මහතා – සැකකරුවන් සාමය කඩකිරීමක්‌ කර නැති බව පොලිසියම කියනවා.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා සැකකරුවන් ඇප මත මුදා හැරීමට නියෝග කරමින් එතෙක්‌ ඔවුන් අධිකරණ සිර මැදිරියේ රඳවා තබන ලෙසට නියෝග කළේය.

නොතීසි නිකුත් කර තිබියදී නොපැමිණ සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිsමි අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරයා පැමිණිල්ල ලබන ජුලි 13 දා නැවත කැඳවන ලෙසට නියෝග කළේය.

පැමිණිල්ල විභාග වන අයුරු දැක බලා ගැනීමට පාර්ලිමේන්තු, පළාත් සභා හා නාගරික මන්ත්‍රීවරුන් පිරිසක්‌ සමඟ ඔවුන්ගේ අනුගාමිකයෝ විශාල පිරිසක්‌ පැමිණ සිටියහ.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.