ටෙන්ඩරයෙන් තොරව උමා ඔය ඉරානයට දුන් හැටි -ජවිපෙ

උමාඔය බහු කාර්ය යෝජනා ක්‍රමය රාජපක්ෂ රජය විසින් කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව ඉරානයට ලබාදුන් බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එය කැනේඩියානු රජය ඩොලර් මිලියන 250 කට ඇස්තමේන්තු ව්‍යාපෘතියක් බවත්, රාජපක්ෂලාගේ වුවමනාව මත ඉරාන ණයක් ලෙස ගෙන ඩොලර් මිලියන 532කට එකඟවී එහි කොන්ත‍්‍රාත්තුව ඉරානයේ පරාබ් කොම්පැණියට කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබාදුන් බවත් අනුර කුමාර මහතා අනාවරණය කරනු ලැබුවේ අද (05)පාර්ලිමේන්තුවේදීය.

downloumaya6677888

ස්ථාවර නියෝග 23/2 නඟනු ලැබූ මෙම ප්‍රශ්න කිරීම සම්පූර්ණයෙන් පහත පරිදිය.

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු සමඟ උද්ගතව ඇති සමාජීය, පාරිසරික, ආර්ථික හානි පිළිබඳව මෙම ගරු සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.
උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය 2009/04/29 වන දින මුල්ගල් තැබිමත් සමග ආරම්භ වුණා. පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙම ව්‍යාපෘතිය, ආරම්භ කරනු ලැබුයේම රටේ නීති උල්ලංඝණය කරමිනුයි. ජාතික පාරිසරික පනත යටතේ ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව මෙවැනි ව්‍යාපෘතියකට මුල්ගල් තැබීමට ප‍්‍රථම පරිසර බලබෑම් තක්සේරු වාර්තාවක් සකස්කර පුර්ව ලිඛිත අනුමැතිය ලබාගත යුතුයි. නමුත් මෙම නීතිමය ප‍්‍රතිපාදනයන් උල්ලංඝණය කර රුපියල් ලක්ෂ දෙසිය හැටක් (260ක්) කාබාසිනියා කරමින් මුල්ගල් තැබිමේ උළෙල සිදුකරනු ලැබුවා. මධ්‍යම කඳුකරයේ දැවැන්ත උමං පද්ධතියක් ඉදිකිරිමටත් ජලාශ, විදුලි බලාගාර ඉදිකිරිමටත් මෙම ව්‍යාපෘතිය මගින් යෝජනා කෙරුණා.

මෙම ව්‍යපෘතිය ඇරඹිමට ප‍්‍රථමව 2008 වසරේ සිට එවකට වාරිමාර්ග අමාත්‍යවරයාගෙන් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කරනු ලැබුවා. එහිදි අමාත්‍යවරයා අප නඟන ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සදහා විශේෂ සාකච්ඡාවක් 2009/03/18 දින පාර්ලිමේන්තුවේ කාමර අංක 08දී පැවැත්වූවා. මේ සඳහා අදාළ ව්‍යාපෘතිය භාර නිලධාරින්ද දේශපාලඥයන්ද සහභාගි වුණා. එහිදි එකඟතාවට පැමිණියේ පරිසර බලපෑම් ඇගයිම් වාර්තාව අනුමත කොට ගෙන ව්‍යාපෘතිය ආරම්භ කරන බවටයි. නමුත් මෙම වාර්තාව අනුමත කොට ගනු ලැබුයේ 2011 අපේ‍්‍රල් මසදීය. මුල්ගල් තබා පසුව වාර්තාව සකස් කළේ ව්‍යාපෘතිය හානිකර වුවත් ව්‍යාපෘතිය ඉටුකිරිමට අවශ්‍ය තත්වය නිර්මාණය වන පරිදි බවට සාධාරණ සැකයක් මතුවුණා.

images (8umayawwww

පරිසරවේදින්, බුද්ධිමතුන් හඬනගා එරෙහි වෙද්දී එම විරෝධතා නොසලකා ඇරඹි ව්‍යාපෘතියේ ඉදිකිරිම්වලින් මේ වන විට කොටසක් නිමකර ඇත. නිමකිරීමට ඇති කොටස් නිමකළ කොටසට වඩා වැඩිය. මේ වන විට සිදුකර ඇති ඉදිකිරීම් කටයුතු හේතුවෙන් ඉහළ ඌවේ මධ්‍යම කදුකරයේ විශාල සමාජීය, පාරිසරික, ආර්ථික හානි මේ වන විට වාර්තාවෙමින් පවතිනවා.
කඳු නායයාම, කඳුබිම් පිපිරීමට ලක්වීම, ළිං හා උල්පත් සිදියාම, නිවාස, ආගමික ස්ථාන ඉරිතැලීම් පිපිරිම් හා ගිලාබැසීමට ලක්වීම, ගොවිබිම් විනාශවීම, ජනතාව අවතැන්වීම, වන්දි ගෙවීමේ විවිධ අක‍්‍රමිකතා හා අවිධිමත් ක‍්‍රියාවලින් සිදුවීම, ජනතාවගේ ගොවිතැන් කටයුතු අඩාලවීම, ජීවන වෘත්තිය අහිමි විමත්, අහිමිවීමෙන් ආර්ථික ගැටළුවලට මුහුණ දීමටත් සිදුවීම මෙම ව්‍යාපෘතියෙන් මේ වන විට සිදුවි ඇති හානියයි. එසේම මීට වැඩි හානියක් ඉදිරියේ සිදුවන බව අපගේ විශ්වාසයයි. එහි ආසන්නතම විනාශය වාර්තා වන්නේ බණ්ඩාරවෙල ප‍්‍රදේශයෙනුයි. මකුල්ඇල්ල, එගොඩගම,  වෙහෙරගලතැන්න, කුරුඳුගොල්ල, හීල්ඔය, මැදපේරුව, පල්ලේපේරුව යන ග‍්‍රාම නිලධාරි වසම්වල පානීය ළිං 120ක් පමණ සම්පුර්ණයෙන් හිඳීගොස් ඇති අතර තවත් ළිං 150ක පමණ ජල මට්ටම සිඝ‍්‍රයෙන් අඩු වෙමින් පවතිනවා. නිවාස 90ක් පමණ ඉරිතලා පුපුරා ගොස් ඇති අතර පොළව විශාල ඉරිතැලීම් හා පිපිරිම්වලට ලක්ව ඇත. මෙම තත්ත්වය ක‍්‍රමක් ක‍්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා.
umaoya1

උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ප‍්‍රධාන උමග කි.මී. 15.2ක් දිගින් යුක්ත වන අතර එම උමඟ මේ විශාල වශයෙන් ජනාවාස වූ ගම්මාන යටින් ඉදිවෙමින් පවතිනවා. එම උමඟෙන් කි.මී. 04ක් පමණ ඉදිකරන විට මෙම තත්ත්වය පැනනැගි තිබෙනවා. එම උමගේ තවත්  කි.මී. 11ක දුරක්  ඉදිකිරීමට නියමිතය.
පිදුරුතලාගල කඳු මුදුනෙනුත්, හෝර්ටන් තැන්නෙනුත් උපත ලබා පෝෂිත වන උමා ඔය ඌවේ මහාඔය නම් වේ. මෙම ඔය කි.මී. 75 දුරට ගලාබසී. මෙම උමාඔය නිම්නයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ජිවත්වෙනවා. ඔවුන්ගේ ජීවිත රඳා පවතින්නේ මෙම දියදහර මතයි. එපමණක් නොව මහවැලි මහා ව්‍යාපාරයේ රන්ටැඹේ ජලාශයට මෙම ඔයේ ජලය එකතු වී මහවැලි සී හා බී කලාපවලටද දියවර සපයනවා. එලෙසම මිනිපේ අමුණටත් උමාඔයේ දියවර දායකත්වය සපයනවා. ඒ අනුව බලන කල බදුල්ල, නුවරඑළිය, අම්පාර, මාතලේ, මහනුවර, පොළොන්නරුව හා මඩකළපුව දිස්ති‍්‍රක්කවලටද මෙම උමාඔය දියවර සපයයි.

images (8umayawweeer

මේසා මහා මෙහෙයක් කරන උමාඔය, රාජපක්ෂලාගේ සංවර්ධන සිහින සැබෑ කිරිම උදෙසා එනම් හම්බන්තොට, ගුවන් තොටුපළ, හා වරාය දක්වා ගෙන යාමට මෙම සැලසුම් කරනු ලැබුවා. කැනේඩියානු රජය ඩොලර් මිලියන 250 කට ඇස්තමේන්තු කළ මෙම ව්‍යාපෘතිය රාජපක්ෂලාගේ වුවමනාව මත ඉරාන ණයක් ලෙස ගෙන ඩොලර් මිලියන 532කට එකඟවී එහි කොන්ත‍්‍රාත්තුව ඉරානයේ පරාබ් කොම්පැණියට කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබාදුන්නා. මහා පරිමාණ ව්‍යාපෘතිවලින් මහා පරිමාණ වංචා සිදුවුවා වාගේම මහා පරිමාණ විනාශද සිදුවෙමින් තිබෙනවා.
මේ තත්ත්වය තුළ මෙම උමාඔය ව්‍යාපෘතිය ආශ‍්‍රිතව පැන නැගී ඇති පහත ගැටළු පිළිබඳව අදාළ අමාත්‍යවරයා පිළිතුරු ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

1. උමා ඔය ව්‍යාපෘතියේ පාරිසරික ඇගයීම් වාර්තාව මුල් ගල තැබීමෙන් පසුව ඉදිරිපත් කිරීම සම්මත පටිපාටිය උල්ලංඝණය කිරීමක් නොවන්නේද?

2. ව්‍යාපෘතිය ආශ‍්‍රිත මේ දක්වා උද්ගත වී ඇති පාරිසරික හා සමාජීය ගැටළු සමාලෝචනය සඳහා ගනු ලැබ ඇති පියවර කවරේද?

3.  හඳුනා ගනු ලබන හානි පූර්ණය වෙනුවෙන් වන්දි මුදල් ප‍්‍රදානය කිරීමක් සිදුනොවන්නේද?

4. වෘපෘතියේ මූල්‍ය අක‍්‍රමිකතා සහ ඊට වගකිවයුත්තන් සොයා බැලීම සඳහා ගන්නා වූ ක‍්‍රියාමාර්ගය කුමක්ද?

5. අදාළ විද්වතුන්, බුද්ධිමතුන්, පරිසරවේදීන් සම්බන්ධ කරගනිමින් සමස්ත ව්‍යාපෘතිය නැවත සමාලෝචනය කර ඒ පිළිබඳ විද්‍යානුකූල නිගමනයකට එළඹීමට පියවර ගනු ලබන්නේද?

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.