ටෙලිකොම් සේවක අර්බුදය අළුත් ආණ්ඩුව යටතේ විසඳනවා-රනිල්

ranilwwww

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ  ටෙලිකොම් සේවකයන් හමුවී කියා සිටීයේ නව ආණ්ඩුවක් යටතේ ඔවුන් ගේ ප්‍රශ්න  විසදන  බවයි.

‘මේ ආණ්ඩුව යටතේ මට කරන්න දෙයක් නැහැ’ යැයි රනිල් වික්‍රමසිංහ වර්ජකයින්ට පැවසීය.

ටෙලිකොම් ‘මෑන් පවර්’ සේවක වර්ජනයට අදට (03) දවස් හයක් ගතවී ඇතත්  ප්‍රශ්නය  විසඳෙන බවක් පෙනෙන්නට නැත.

ටෙලිකොම් ‘මෑන් පවර්’ සේවකයන්   දෙදහස් හයසියයක් පමන දෙනා   තම රැකියා ස්ථිර කරන ලෙස ඉල්ල සිටිති.

 

වෘත්තීය ක්‍රියා මාර්ගය නතර කිරීම සඳහා බලධාරීන් අධිකරණ ක්‍රියා මාර්ගයක් ගෙන ඇති බව  වෘත්තීය සමිති  නායකයින් කියා සිටිති.

‘මෑන් පවර්’ සේවකයන් තම ආයතනයට අයත් නොවන බව ටෙලිකොම් බලධාරීන් ප්‍රකාශ කරති.

 

මේ විරෝධතාවට දිවයිනේ  සෙසු ටෙලිකොම් සේවකයන් සම්බන්ධ වීමට ඉඩ ඇති අතර එසේ සිදුවුනහොත් ටෙලිකොම් සේවා තවදුරටත් අඩාල විය හැකිය.

මෑන් පවර් වහල් ක‍්‍රමය වහා අහෝසි කරනු’,-රාවය පුවත්පත කල විමසුමක්

 

 

මෑන් පවර් වහල් ක‍්‍රමය වහා අහෝසි කරනු’, ‘නූතන වහල්කමේ සංකේතය මෑන් පවර් වහා අහෝසි කරනු’, ‘මෑන් පවර් මිනිස් වෙළෙඳාම වහා අහෝසි කරනු’ යන සටන් පාඨවලින් යුතු විරෝධතා පුවරු කම්කරු දෙපාර්තමේන්තුව ඉදිරිපිට දක්නට ලැබුණේ ඔක්තෝබර් හත්වැනිදාය. එම විරෝධතාවට එක්වී සිටියේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකතුවේ වෘත්තීය සමිති නියෝජිතයන්ය.

 

ඔවුන් කම්කරු ඇමතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුවට බලකර සිටියේ විරෝධතා පුවරුවල සඳහන් ඉල්ලීම් ඉටුකරන ලෙසය. එම ඉල්ලීම් සම්බන්ධයෙන් රාවය කළ විමසීමට ප‍්‍රතිචාර දක්වමින් කම්කරු විෂයභාර අමාත්‍ය ගාමිණී ලොකුගේ ප‍්‍රකාශ කරන්නේ මෑන් පවර් ඒජන්සි නැත්නම් මෑන් පවර් ආයතන විධිමත් කිරීම සඳහා නීතිරීති ගෙනෙන්නට ඔහු සූදානම් බවය. විශේෂයෙන්ම සේවකයන්ට ඊපීඑෆ් ගෙවීම සඳහා එම ආයතන ලියාපදිංචි කිරීමට ඔහු සූදානම් බවය. ඒ සඳහා සමහර වෘත්තීය සමිති විරුද්ධ බවය. එමෙන්ම ඇමතිවරයා විසින් සකස් කරන එම නීතිරීති ඇතුළත් කෙටුම්පත වෘත්තීය සමිති ඇතුළු විවිධ පිරිස්වලට ලබාදී ඒ සම්බන්ධයෙන් විවිධ කෝණයන්ගෙන් අදහස් ලබාගැනීමට ඔහු සූදානම් බවය. වැඩිදුරටත් අමාත්‍ය ගාමිණී ලොකුගේ කියන්නේ යම් ව්‍යාපාරයක ප‍්‍රධාන ව්‍යාපාරික කටයුතු අවුට් සෝස් හෙවත් බාහිරකරණය කිරීම තමන් අනුමත නොකරන බවයි.

 

එහෙත් වෘත්තීය සමිති වෙනුවෙන් අදහස් දක්වමින් ලංකා බැංකු සේවක සංගමයේ කේසර කෝට්ටේගොඩ විතාන ප‍්‍රකාශ කරන්නේ මෑන් පවර් ආයතන ලියාපදිංචි කිරීම තුළම ඒවාට නීත්‍යනුකූලභාවයක් ලැබෙන බවත් තම ඉල්ලීමවන්නේ ඒ සඳහා ඉඩ ලබාදීම සිදුනොකළ යුතු බවත්ය. මෑන් පවර් ආයතන තිබිය නොහැකි බවත් සේවා බාහිරකරණයට ලක් කළ හැකි ඒ ඒ ක්ෂේත‍්‍රයන්ට අදාළ වෙන වෙනම ආයතන තිබිය හැකි බවත්ය. එමෙන්ම ඔහුද කියන්නේ යම් ව්‍යාපාරයක ප‍්‍රධාන ව්‍යාපාරික කටයුත්තට අදාළ කටයුතු බාහිරකරණයට ලක් කළ නොහැකි බවය. ඉන් අදාළ ආයතනයේ කටයුතුවල විශ්වාසවන්තභාවය මෙන්ම එම ආයතනවල ස්ථිර සේවකයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන්ද විශාල ගැටලූ රාශියක් නිර්මාණය කරන බවය.

වෘත්තීය සමිති හා කම්කරු විෂයභාර අමාත්‍යවරයා අතර වන මේ වාද විවාදය වඩාත් හොඳින් තේරුම් ගැනීම සඳහා පළමුවෙන්ම මේ මෑන් පවර් ආයතන යනු කුමක්ද යන්නත්, යම් ව්‍යාපාරික ආයතනයක කටයුතු අවුට් සෝස් හෙවත් බාහිරකරණය කිරීම කුමක්ද යන්නත් පැහැදිලි කරගත යුතුය.

 

සේවා බාහිරකරණ ක‍්‍රියාවලියේදී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල අප මීට වසර ගණනාවකට පෙර දුටුවේ ව්‍යාපාරික ආයතනවල ආරක්ෂක කටයුතු බාහිර ආයතනවලට පැවරීමේ ක‍්‍රියාවලියය. ඒ මගින් සිදුවූයේ අදාළ ආයතන ඔවුන්ගේ ආරක්ෂක කටයුතු සඳහා එතෙක් ඍජුවම සිදුකළ බඳවා ගැනීම් නවතා දමා එම කටයුතු ඒ වෙනුවෙන් පමණක් ඇති කරනු ලැබූ ආරක්ෂක සේවා ආයතනවලට සැපයීමය. මෙය තවදුරටත් වර්ධනයවෙමින් ඉන්පසු කාලයේදී සිදුවූයේ එම ආයතනවල පිරිසිදු කිරීමේ කටයුතුද බාහිරකරණයට ලක්වෙමින් එම පිරිසිදු කිරීමේ කටයුතු සඳහා ඇති කරන ලද ආයතනවලට පැවරීමය. මෙහිදී සිදුවූයේ යම් ආයතනයකට අදාළ කටයුතු එම ආයතනයට ඍජු සම්බන්ධයක් නැති පිරිස අතින් සිදුකර ගැනීමය. සරලව ගතහොත් අවුට්සෝස් හෙවත් සේවා බාහිරකරණය යනු එම තත්ත්වයය. එහෙත් ආරක්ෂක, පිරිසිදු කිරීම් වැනි සේවාවන් බාහිරින් ලබාගැනීමේදී ඒ සඳහා විරුද්ධතාවක් පැන නොනැගුණ අතර ඊට හේතුවූයේ යම් ආයතනයක ප‍්‍රධාන කටයුතුවලට එවැනි සේවාවන් අයත් නොවීමය.

 

වර්තමානයේ සිදුවී ඇත්තේ එක් එක් ආයතනය බාහිරකරණයට ලක් කරන සේවා ප‍්‍රමාණයේ වර්ධනයක් දක්නට ලැබීමත් එම සේවාවන් සැපයීම සඳහා මෑන් පවර් ආයතන බිහිවීමත්ය. මෙම මෑන් පවර් ආයතන පිරිසිදු කිරීම, ආරක්ෂක සේවා වැනි එක් විෂයකට අයත් නොවන අතර අද එම ආයතන පිරිසිදු කිරීමේ සිට ලිපිකරුවන් සැපයීම දක්වා ඔවුන්ගේ කටයුතුද පුළුල් කර තිබේ. එසේවීමට එම ආයතන පෙළැඹී ඇත්තේ රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ ආයතනද ආරක්ෂක හා පිරිසිදු කිරීම් වැනි කටයුතුවලින් ඔබ්බට ගොස් එම ආයතනවලට අවශ්‍ය කාර්යාල කාර්ය සහායකයන් (පියුන්* ලිපිකරුවන් ආදීන්ද බාහිර ආයතන මගින් සපුරා ගන්නට කටයුතු කිරීමය.

 

මේ මගින් සිදුවන්නේ ප‍්‍රධාන ආයතනය ඔවුන්ගේ ආයතනය තුළ සේවය කරන බාහිර ආයතනවලින් ලබාගත් සේවකයන්ගේ වගකීමෙන් මිදීමට උත්සාහ කිරීමයි. එහිදී බාහිර සේවකයන්ට සිදුවන්නේ අඩු වැටුපට, වරප‍්‍රසාද රහිතව, අයිතිවාසිකම් නොමැතිව සිය ශ‍්‍රමය වගුරවන්නට සිදුවීමය. උදාහරණයකට මෑන් පවර් ආයතනයක සේවකයකු ලිපිකරුවෙක් ලෙස බැංකුවක සේවය කරන බව සැලකුවහොත් එම බැංකුවේ ස්ථීර කාර්ය මන්ඩලයේ ලිපිකරුවාත් මෑන් පවර් ලිපිකරුවාත් සේවාදායකයන් සම්බන්ධයෙන් එකම කාර්යයක නිරතවුවත් බැංකු සේවකයාට සාපේක්ෂව මෑන් පවර් සේවකයාට ලැබෙන්නේ අඩු වැටුපක්ය. බැංකු සේවකයාට දීමනා ඇතුළු අනෙකුත් වරප‍්‍රසාද හා අයිතිවාසිකම් ලැබුණත් මෑන් පවර් සේවකයාට ඒ කිසිවක් ලැබෙන්නේ නැත. මෙමගින් සේවක වගකීමෙන් මිදී විශාල ලාභ ලබාගැනීමට බැංකු ඇතුළු ඒ ආකාරයට තම ප‍්‍රධාන කටයුතු බාහිරකරණයට ලක් කරන ආයතනවලට හැකියාව ලැබී ඇත.

 

සේවකයන්ගේ ශ‍්‍රමය සූරාකෑම සම්බන්ධයෙන් වූ මෙම තත්ත්වය තවදුරටත් අපට වටහාගත හැක්කේ රාජ්‍ය බැංකුවක සේවය කරන මෑන් පවර් කාර්යාල කාර්ය සහායකයකුගේ හා එම බැංකුවේම ස්ථිර කාර්ය මණ්ඩලයේ කාර්යාල කාර්ය සහායකයකුගේ මාසික වැටුප් විස්තර සැසඳීමෙන්ය. මෑන් පවර් සේවකයාට එක් දිනක් සඳහා මෑන් පවර් ආයතනය ගෙවන වැටුප රුපියල් 700ක්ය. දින 19ක් වූ මැයි මාසයේ ඔහුගේ මූලික වැටුප රුපියල් 13300ක්ය. (700×19 යනුවෙන් එම මූලික වැටුප ගණනය කර ඇති අතර සැබෑ ලෙසම එය මූලික වැටුප ලෙසද ගත නොහැකිය. මන්ද එම සේවකයාට වැටුප් ලැබෙන්නේ වැඩ කරන දින ගණනට වන බැවින්ය.) ඔහුගෙන් ඊපීඑෆ් සඳහා මුදල් කපාගන්නා බව හා අදාළ මෑන් පවර් ආයතනය ඊපීඑෆ් හා ඊටීඑෆ් සඳහා එම ආයතනයේ දායකත්වය ලබාදෙන බව පඩිපතේ සඳහන් වුවත් සේවකයාගෙන් කපාගන්නා මුදල් හා ආයතනයෙන් බැර කළයුතු මුදල් නිසියාකාරව අදාළ අරමුදල්වලට බැරකරනවාද යන්නද වෙනම සොයා බැලිය යුතු කරුණක්ය.

කෙසේ වෙතත් අදාළ මෑන් පවර් සේවකයාට මූලික වැටුපයැ’යි සඳහන් එම මුදලට අමතරව කිසිවක් නොලැබෙන අතර බැංකුවේ ස්ථිර සේවයේ නිරත කාර්යාල කාර්ය සහායකයාගේ මූලික වැටුප පමණක් රුපියල් 19725ක්ය. (එය වැටුප් වර්ධක සමග විය හැකිය.) අමතරව ජීවන අංක දීමනාව වශයෙන් රුපියල් 27041ක්ද, රුපියල් 3945ක් හා රුපියල් 5071ක් වශයෙන් වූ දීමනාද, අතිකාල සේවය වෙනුවෙන් වූ අතිරේක වැටුප්ද ඔහුට ලැබෙන්නේය. ඊට අමතරව එම බැංකු සේවකයාට වෛද්‍ය ආධාර ඇතුළු ඉතා හොඳ රක්ෂණයක්ද ලැබෙන්නේය.

එකම ආයතනයක එකම කාර්යයක යෙදෙන සේවකයන් දෙදෙනකු සම්බන්ධයෙන් වූ වෙනස එයය. ව්‍යාපාරික ආයතන සමාජ වගකීම පිළිබඳ (Social Responsibility) විශාල වශයෙන් ඝෝෂා කරමින් සුළු සුළු සමාජ සේවා කටයුතුවල නිරත වුවද ඔවුන්ගේ ව්‍යාපාරික කටයුත්තේ් ප‍්‍රධාන කාර්යයන් ඉටුකරන සේවකයන් බාහිරින් සපයාගෙන සිදුකරන්නේ වගකීමෙන් මිදීම හා අධික ලාභ ඉපැයීම බව ඉන් පැහැදිලිය.

 

ඇත්ත වශයෙන්ම මෙම ක‍්‍රියාවලියේදී අවශ්‍ය සේවකයන් තෝරා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවා සිදුකරන්නේ මෑන් පවර් ආයතන නොව සේවකයාව වුවමනා කරන අදාළ ආයතන විසින්මය. ඒ නිසාම මේ ආකාරයේ මෑන් පවර් ආයතන විසින් සපයන සේවකයන්ගේ සැබෑ හාම්පුතා කවුරුන්ද යන්න ගැටලූසහගතය.

එහෙත් එම ගැටලූසහගත තත්ත්වය තෝරා බේරා දෙමින් ලංකාවේ අධිකරණය මෑන් පවර් සේවකයන් සම්බන්ධයෙන් තීන්දු දෙකක් මේ වනවිට ලබාදී තිබේ. එක් තීන්දුවක් ලංකා පොහොර සමාගම සම්බන්ධයෙන්ය. අනෙක් තීන්දුව කොමර්ෂල් බැංකුව සම්බන්ධයෙන්ය. ලංකා පොහොර සමාගමේ කටයුතු සඳහා සේවකයන් සපයා තිබුණේ හුණුපිටිය සමුපකාර සමිතිය යනුවෙන් ප‍්‍රාදේශීය දේශපාලකයන් විසින් අටවා ගන්නා ලද සමිතියකි. තීන්දුවෙන් ප‍්‍රකාශ කර තිබුණේ අදාළ සේවකයන්ගේ සේවා යෝජකයා (ඔවුන්ව සේවයේ යෙදවූ තැනැත්තා) හෙවත් හාම්පුතා ලංකා පොහොර සමාගම බවය.

 

කොමර්ෂල් බැංකුව සම්බන්ධ තීන්දුවෙන් ද ප‍්‍රකාශ කර තිබුණේ එම සේවකයාගේ සේවා යෝජකයා කොමර්ෂල් බැංකුව බවය. නදීක බණ්ඩාර නමැති සේවකයාව කාර්යාල කාර්ය සේවකයකු වශයෙන් කොමර්ෂල් බැංකුවේ අම්පාර ශාඛාවට ලබාදී තිබුණේ කෙයා ක්ලීන් ආයතනය විසින්ය. බැංකුවේ අදාළ කටයුතු සිදුකරමින් සිටින අතරවාරයේ ඔහුව හේතු නොදක්වා ඉවත් කර තිබේ. එම සේවකයා අභියෝග කර ඇත්තේ එම තත්ත්වයට විරුද්ධවය.

 

මේ අධිකරණ තීන්දුවලින් පවා පෙනෙන්නේ මෑන් පවර් සේවකයන් ලෙස නාමකරණය කරමින් රට තුළ ඇති කම්කරු නීතිරීතිවලට පවා පටහැනිව සේවක අයිතිවාසිකම් නොදී ශ‍්‍රමය සූරාකෑමේ ක‍්‍රියාවලියක් සිදුවන බවය. එහි වඩාත් කනගාටුදායකම කාරණයවන්නේ පෞද්ගලික අංශයට අමතරව සේවක අයිතිවාසිකම් ආරක්ෂා කරදීම සම්බන්ධයෙන් බැඳී ඇති රජයද රාජ්‍ය ආයතන හරහා එම ක‍්‍රියාවලියට සම්මාදන් වී සිටීමය. පක්ෂ පාට භේදයෙන් තොරව වෘත්තීය සමිති ඒකරාශි වියයුත්තේ නීතියට පටහැනි සේවක අයිතිවාසිකම්වලට විරුද්ධ මෙවැනි තත්ත්වයන් පරාජය කිරීම සඳහාය.

 

ප‍්‍රධාන ව්‍යාපාරික කටයුත්ත  -අවුට් සෝස් කරන්න බැහැ

ගාමිණී ලොකුගේ කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය

 

මේ මෑන් පවර් ආයතන සම්බන්ධයෙන් නීතිමය තත්ත්වයන් ගේන්න යනවට ජාතික කම්කරු උපදේශක සභාවේ සමහර වෘත්තීය සමිති විරුද්ධයි. මම තීන්දුවක් ගත්තා මේ මෑන් පවර් ආයතනවල වැඩ කරන මිනිස්සුන්ට ඊපීඑෆ් හරි ගෙවන්න නීතිමය තත්ත්වයක් ඇති කරන්න ඕනෑ කියලා.

කවුරු මෑන් පවර් ආයතන කරනවද කියලා අද දන්නේ නෑ. අද සෝමදාස කියලා පඩි ගෙවන පුද්ගලායටම හෙට වෙනත් නමකින් පඩි ගෙවනවා. පෞද්ගලික අංශය විතරක් නෙමේ රජයේ ආයතනත් මේ දේ කරනවා.

 

මම මේ සම්බන්ධයෙන් කෙටුම්පතක් හදලා දැනට වාසුදේව ඇමතිතුමාටත් දීලා තියෙනවා අඩුපාඩු බලන්න. එහි පිටපතක් හැම වෘත්තීය සමිතියකටම දෙනවා. විවිධ කෝණවලින් ඔවුන්ගේ අදහස් කියන්න.

අද මෑන් පවර් ආයතන තියෙන්නේ පිළිකාවක තත්ත්වයකට පත්වෙලා. ජාත්‍යන්තර සමාගම් අපි රටට ගේන්නේ අපේ සේවකයන්ට වැඩි ආදායමක් ලබාගන්න. උදාහරණයකට ඇන්සල් ලංකා ආයතනය ගතහොත් ඒකට අලූතෙන් ආව මැනේජර් ස්ථිර සේවකයන් අඩු කරලා මෑන් පවර් සේවකයෙක් දාලා තමයි ආයතනය ගෙනියන්න උත්සාහ කරන්නේ. ඒ වගේම පොලිටෙක්ස් ආයතනය අපි දෙනකොට එහි ස්ථිර සේවකයෝ හාරසීයක් හිටියා. අද ස්ථිර සේවකයෝ ඉන්නේ අටදෙනෙක් විතර.

ඇත්තටම මම දරන තමයි යම් ව්‍යාපාරයක ප‍්‍රධාන ව්‍යාපාරික කටයුත්ත (Core Business) අවුට් සෝස් (සේවා බාහිරකරණය) කරන්න බැහැ කියන එක. ඒ නිසා තමයි දැන් විවිධ ගැටලූකාරී තත්ත්වයන් ඇතිවෙලා තියෙන්නේ.

 

අපි කියන්නේ  – මෑන් පවර් කඩ වහන්න කියලයි

කේසර කෝට්ටේගොඩවිතාන ලංකා බැංකු සේවක සංගමය

 

කම්කරු ඇමතිවරයා කියන්නේ මේ මෑන් පවර් කඩ ලියාපදිංචි කරන්න ඕනෑ කියලයි. ඒකෙන් වෙන්නේ ඒවාට නීත්‍යනුකූලභාවයක් ලැබීමයි. අපි කියන්නේ මේ මෑන් පවර් කඩ වහන්න ඕනෑ කියලයි.

යම් ආයතනයක පිරිසිදු කිරීම්, ආරක්ෂක කටයුතු, ලිපි බෙදාහැරීම වැනි කටයුතු වෙනත් ආයතනවලට දුන්නට කමක් නැහැ. එහෙත් එහි ප‍්‍රධාන ව්‍යාපාරික කටයුත්ත අවුට් සෝස් කරන්න බැහැ. උදාහරණයකට අබාන්ස් ක්ලීනින් ආයතනය ක්ලීනින් වැඩ තමයි කරන්න ඕනෑ. එහෙම නැතුව හැම දෙයටම සේවකයෝ සපයන අබාන්ස් මෑන් පවර් ආයතන තියෙන්න බැහැ.

මේ මෑන් පවර් ආයතන ඇති කරන්නේ රටේ ප‍්‍රබලයන්ගේ අනු දැනුම මත. ආණ්ඩුව කම්කරු දෙපාර්තමේන්තුව හා දේශපාලකයන් ඊට සම්බන්ධයි. මේ මගින් සිදුවන්නේ රටේ නීතිරීතිවලින් ස්ථාපිත කරලා තියෙන සේවකයන්ගේ අයිතිවාසිකම් අහිමිවීමයි. ග‍්‍රැටිවිටි (විශ‍්‍රාම පාරිතෝෂිකය) ගෙවන්න ඕනෑ නිසා මේ සේවකයන්ව අවුරුදු පහකට පෙර වෙනත් වෙනත් ආයතනවලට මාරු කරනවා.

ඒ වගේම ආයතනවල ස්ථිර කාර්ය මණ්ඩලයට මේ නිසා දැඩි බලපෑමක් තියෙනවා. ඔවුන්ට ඉල්ලීම් ඉල්ලන්න බැහැ. ඒ වෙනුවෙන් කේවල් කරන්න බැහැ. මෑන් පවර් සේවකයෝ දාලා ආයතන පවත්වාගෙන යනවා.

කොමර්ෂල් බැංකුවේ තුන්දාහක් පමණ, මහජන බැංකුවේ දෙදහස් පන්සියයක් පමණ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හාරසියයක් පමණ, ටෙලිකොම් ආයතනයේ දාහක් පමණ මෑන් පවර් සේවකයන් වැඩ කරනවා. එම ප‍්‍රමාණයෙන් එම ආයතනවල මුළු සේවක සංඛ්‍යාවෙන් තුනෙන් එකක් හෝ දෙකෙන් එකක්. රජයේ බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්ගේ පියන් මෑන් පවර් සේවකයෙක්. එහෙම වුණාම බැංකුවල රහස්‍යභාවයට මොකද වෙන්නේ. එම නිසා රටේ වෘත්තීය සමිති මෙම ව්‍යවසනය හොඳින් හඳුනාගන්න ඕනෑ

.

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.