ඩබ්ලියු.ඒ. සිල්වා-නිර්මානයක මතක

“ඩබ්ලියු. ඒ සිල්වා මහත්මයාට වාගේ නවකතා ලියන්න මට පුළුවන්කමක් තියෙනවා නම් මේ අගමැතිකමෙන් අස්වෙලා නවකතා ලියන්න පටන් ගන්නවා. මට විවේකයක් ලැබුණු හැටියේ මම බලා‍පොරොත්තු වෙනවා, සිල්වා මහත්මයාගේ නවකතා ඉංග්‍රීසියට පෙරළන්න.” අග්‍රාමාත්‍ය ඇස්. ඩබ්ලියු.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා1957 ජුනි 03 දා කොළඹ කනත්තේදී ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨ සිංහල නවකතාකරුවකු වූ ඩබ්ලියු.ඒ.සිල්වා මහතාගේ අභාවය නිමිත්තෙන් රැස්ව සිටි මහා ජනකාය අමතමිනි.
අපට බණ්ඩාරනායක අගමැතිතුමාගේ ඒ කතාව සිහිපත් වූයේ පසුගියදා පැවැති ඩබ්ලියු.ඒ.සිල්වා මහතාගේ 125 වෙනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් පැවැති සම්මන්ත්‍රණයට සහභාගි වූ අවස්ථාවේදීය. විශ්ව විද්‍යාල ඇදුරන්ගේ නොමඳ
බැටකෑම්වලට නිර්දය විචාරය ලත් මේ මහා ‍ලේකකයා සංවත්සරයක් සංවිධානය කිරීමට කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශ පුරෝගාමී වීමද යහපාලනයේ තවත් දිගුවක් ලෙස සුබවාදීව සිතිය හැකිය.
ශූරීන්ට එල්ල වූ නිර්දය විචාරවලට නිරතුරු පිළිතුරු සපයමින් අගය කළ පිරිස අතර හේමපාල මුනිදාස, අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල, කේ.බි.සුගදාස, සිසිර කුමාර මානික්කආරච්චි, කේ.එච්.ඒ.ධර්මසේකර, එල්.ඇම්.ඒ. සිල්වා, ගුණපාල සේනාධීර, ආචාර්ය කේ.ඩී.පී. වික්‍රමසිංහ, ඩී.වී. සෙනෙවිරත්න, පී.බි. අල්විස් පෙරේරා, දීගොඩ පියදාස, විමල් අභයසුන්දර, මලල්ගොඩ බන්දුතිලක ආදීහු කැපී පෙනෙති.
එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් 1943 ලියා පළ කරන ලද ර්ධඤඥපද ඉඪදඩචතඥඵඥ ජ්ඪජබඪධද නම් කෘතියේ ඩබ්ලියු. ඒ. සිල්වාගේ “ලක්ෂ්මි හෙවත් නොනැසෙන රැජින” නවකතාව රයිඩර් හැගාඩ් නම් ඉංග්‍රීසි නවකතාකාරයාගේ “ෂී” යන අත්භූත ස්ත්‍රියගේ චරිතය බලා සකස් කරන ලද්දක් සේ පෙනෙන බව සඳහන් කර ඇත.
මේ මතයට එරෙහිව පුවත්පත් කලාවේදී ‍ලේඛක හේමපාල මුනිදාසයන් මෙසේ අදහස් දක්වා ඇත. (“රසවාහිනී” 1957 ජූලි කලාපය)
“රයිඩර් හැගාර්ඩ්ගේ “ෂී” නමැති ග්‍රන්ථයෙන් කළල රූපයක් ගෙන ඇටසැකිල්ලක් ගැහීමෙන් ලක්ෂ්මී නිර්මාණය වුණු බැව් ඉතා ප්‍රකටය.  එහෙත් “ලක්ෂමී” ගේ දක්නා පේ‍රෟඩ පරිසමාප්ත සර්වාංග ශෝභන කතා ශරීරයත් එහි දක්නා ගැඹුරු ධර්මෝපදේශත් එයින් මතුවන නව නාට්‍ය රසයත් එයින් පාඨකයා තුළ පහළ වන වශීකරණයත්, ඇති ‍පොතක් ලිවීමට නම් රයිඩර් හැගාර්ඩ් තවත් ආත්ම භාව හත අටක් මැරී ඉපදිය යුතුය”
පරිවර්තකයකු හා කෘතහස්ත දේශපාලනඥයකු වූ අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල, මහතා 1957 ජුනි 01 වෙනිදා “දිනමිණ” පුවත්පතට ලියූ ලිපියකින් “ලක්ෂ්මී තරම් උසස් නවකතාවක් තවමත් සිංහල භාෂාවෙන් ලියවී නැත. යනු මගේ පිළිගැනීමය.”

නිල මැස්සෙකු
හෙළදිව මහා නවකතාකරු මෙන් වසර පනහක් සාහිත්‍ය අම්බරයෙහි දිළුණු සිල්වා මහතා කළා කර්ය ජන්ම දායාදය ලෙස ලබා සිංහල, ‘පාලි, සංස්කෘත, ඉංග්‍රීසි ආදි භාෂාවන්ගෙන් දැනුම ලබා ගත්තේ ස්වත්සාහයෙනි. එදා ඉංග්‍රීසියෙන් හිතන ලියන ඉංග්‍රීසි සාහිත්‍ය හිස් මුදුනින් තබාගෙන සිටි’ විචාරකයින් යයි උදම් ඇනූ පිරිසකට අභියෝග කරමින් සිල්වා සූරීන් මෙසේ ලිවීය. ඔහු විචාරකයා දුටුවේ “කුණු  විතරක් දකින නිල මැස්සෙකු ලෙසය.
“මේ සිරියාලතාව ලිවූ තැනැත්තා නොවෙයි.  ලක්ෂ්මිය ලියා තිබෙන්නේ, ලක්ෂ්මිය ලිවූ තැනැත්තා නොවෙයි. සුනේත්‍රා ලියා තිබෙන්නේ සුනේත්‍රා ලිවූ තැනැත්තා නොවෙයි. කැලෑහඳ ලියා තිබෙන්නේ කැලෑ හඳ ලිවූ තැනැත්තා නොවෙයි. හඳ පාන ලියා තිබෙන්නේ හඳපාන ලිවූ තැනැත්තා නොවෙයි. ජූලි හත ලියා තිබෙන්නේ” යනු ඈ විසින් සැක සිතන්නට පවා කරුණු ඇති නොවෙතැයි කාට කිව හැකිද? එදා මට වුවමනා කෙළේත් දැනුදු මට වුවමනා කරන්නේත්, හැකි හැකි පරිද්දෙන් මගේ දුප්පත් දැනුමේ හැටියට සිය බස, වගා කරන්නටමය. සුදුසු පරිශ්‍රමයට පලලත්තකු මෙන්, දැනුදු මම එයින් සතුටු වෙමි.

පසුබිම් වූ අත්දැකීම්
තමා ලියූ නවකතා හා කෙටි කතාවලට පසුබිම් වූ අත්දැකීම් ගැන සිල්වා සූරීන් වරින් වර සිළුමිණ, ලංකාදීප, නවයුගය, ආදී පුවත්පත් සහ සඟරාවලට ලියා තිබුණි.
“දෙයියන්නේ රටේ” නම් සිල්වා සූරීන් ලියූ කෙටි නවකතාව  සඳහා ඔහුට වස්තු බිජය  ලැබි ඇත්තේ ගවරවිල  කන්දේ මැණික් ගරන්නන් හා ගත කළ දවස් කීපයක අත්දැකීම්ය.
“මට මෙහිදී ලංකාවේ නොයෙක් තැන්වල හොරෙන් මැණික් ගැරීම කළ යම්කිසි පුද්ගලයන් පිළිබඳ පුදුම කතා අසන්නට ලැබිණි. ගවරවිල කන්ද
ඝන කැලයෙන් ගැවසී මහ වනයකි. දිය සවෛල් හා පාසි බැඳුනු ගස්වලින් මහ දවා‍ලේ පවා නිබඳ කාන්දුවෙන දිය ඇත්තේය. මුළු මහ වනය අඳුරු කරමින් නිබඳ පැතිර පැවැති ඝන මීදුම නිසා මහ දවා‍ලේ පවා අවට දෙතුන්  බඹයකට  වඩා දැකීම  දුෂ්කර විය. රාත්‍රී කාලයේ  නම් සීත ඉවසුම්    නොදෙන තරම්  තියුණුය. දරුණුය. වරක් ජනවාරියකදී මම සමනොළ මුදුනේ සතියක් ගත කළෙමි. එතැනවත් ගවරවිල  කන්දේ පමණ දරුණු සීතය මට නම් නොදැනිණි.
රෑ වුණු වෙ‍ලේ පටන් වාඩිකාරයන්ගේ වැඩය, එළිවෙන තෙක් ගිනි ගොඩවල් ගහගෙන වාඩිය උණුසුම් කර ගන්නා එකය. නොයෙක් විට රෑ කා‍ලේ වාඩිය අසල වල් ඇතුන් ගස් අතු බිඳින හඬද අසන්නට ලැබේ. ඒ කෑම පිළියෙළ වන තෙක් වාඩි කාරයන් එක් තැන් වී, කම්බිලි ‍පොරවා  ගෙන ගිනි තපිමින් කතන්දර කීම ද සිරිතකි. ඒ කතන්දර ආච්චි අම්මා කෙනෙකු මුනුබුරානට කියන්නා වැනි වන දෙව්ලියන් පිළිබඳ කතන්දර නොවේ. මේ ශූරවීර දැඩි මිනිසුන් තමන් අත් දුටු පළපුරුදු කම් විස්තරයෙන් දක්වන රසවත් ඇත්තේ පුවත්ය.”
සිල්වා සූරීන් ලියූ “වයිරෝඩිය” නම් කෙටි කතාව ඔහුගේ හොඳම කෙටිකතාව බව විචාරකයින් අගය කොට ඇත. ඒ කතාව එන්නේ ඔහුගේ “අමෘත හස්තය” කෙටිකතා සංග්‍රහයේය. මේ කෙටි කතාවටද වස්තු බිජය සැපයුණේද ගවරවිල  කන්දේ දී බව සිල්වා සූරීන් කියා ඇත.
“වතාවක් උඩරට තේ වත්තක බංගලාවක්  බඳින කොන්තරාත්  කාරයෙක් කොළඹින් පෙදරේරු වන් වඩුවන් ඈ කම්කරු පිරිසක් එහි ගෙන ගියේය. මේ කම්කරු පිරිස කැටුව , ඉවුම් පිහුම් වලට අත් උදව් පිණිස ගිය මෝඩ මිනිහෙක්ද විය. දවසක් දා  මේ මෝඩයාට අසල දොළක තිබි, තරමක  දරු ගලක් විතරැති හොඳට මැදුණු ගල් කැටයක් ලැබුණේය. මේ ගල් කැටය මේ මෝඩයාගේ සිත් ගත්තේ , අනෙකක් නිසා නොව, එහි තුළ වැදුණු කඳන් පණුවකු සිටින බව පෙනුණු හෙයිනි. ඔහු ගල් කැටය  වාඩියට ගෙනැවිත් කඳන් පණුවා එළියට ගනු  පිණිස එය කුළු ගෙඩියෙන් ‍පොඩි කළේය. මෙවේ‍ලේ වාඩියේ කිසිවෙක් නොසිටියහ. කම්කරු පිරිස කවුරුත්  බංගලා කර්මාන්තයේ යෙදී  සිටියහ. මෝඩයාද ගල බිඳින්නට බිඳින්නට  එහි කෑල්ලක් කෑල්ලක් ගාණේ කඳන් පණුවන්  ලොකු කුඩා වසයෙන් දකිනු  පමණක්  මුත් ඒ එකකුවත් අල්ලාගත නොහැකි වීමෙන් දොම්නසට පැමිණ, අන්තිමේ ඒ මග වයිරෝඩිය කුඩු ගොඩක් වන තෙක් ‍පොඩි කළේය. බැරිවීමෙන් එහෙ මෙහෙ වීසි වී ගිය කුඩා කැබලි කිහිපයක් සොයා ගත් සමහරු  ඒවා රුපියල් සිය ගණන් වලට විකුණා ගත්හ. ලෝකයේ තිබුණු මෙතරම් විශාල මංගල වස්තුවක්  විනාශ කළ මේ මෝඩ මිනිසා ස්වකීය ජීවිතාන්තය හිඟන මහල්ලෙකු  මෙන් ගතකොට මේ ළඟදී මළේය.
දෙයියන්නේ රටේ ‍පොතට ඇතුළත් යකාගේ ලියුමද කුතුහල රසයෙන් කියවන්නා උමතුකරවන පුදුම කෙටිකතාවකි. සිල්වා සූරීන්  කියන හැටියට එහි වස්තු බිජය  තමාගේ  නිර්මාණයක් නොවන බවයි.
මෙයින් අවුරුදු තිස් ගණනකට පමණ පෙර (1926 දී පමණ) මුක (නිශ්ශබ්ද) චිත්‍රපට ඉඪතඥදබ ජ්ඪතථඵ පැවැති කාලයේ මම මෙය සිනමා සාලාවකදී දුටුවෙමි.  කෙටි කතාවක් වසයෙන්  ද මෙය මුද්‍රණය වී තිබෙනු විය හැකියි. එහෙත් මා මෙය ගෙතුවේ  චිත්‍රපටයෙන් දුටු කතාවේ වස්තු බිජය ගෙන අප රටට ගැළපෙන පරිදි ප්‍රස්තාර කිරීමෙනි.

“රිදී හවඩිය”
සිල්වා සූරීන් අවසන් සාහිත්‍යයකාරිය ලෙස සැළකෙන්නේ “රිදී හවඩිය” නවකතාවයි.  අසාධ්‍ය රෝගාතුරයකු වශයෙන් අට මසක් මරණාසන්නව දුක් විඳිමින් සිටි සිල්වා සූරීන් 1956 ජුනි මාසේ ලෙඩ ඇඳේ  සිට කතාවක්  ලියනු දුටු  අවස්ථාවක් සමීපතම මිත්‍ර කේ.එච්.ඒ. ධර්මසේකර මහතා දැක තිබේ. එක්තරා ඉරිදා දිනයක සිරිත්  පරිදි වෙනුර නිවසට ගිය ඔහු දුටු සිල්වා සූරීන් මෙසේ ඇමතුවේය.
අයියේ මෙහෙ එනවා. මෙහෙ එනවා. මා අද ලොකු  වැඩක් කළා.
ධර්මසේකර මහතා විමතියෙන් බලා සිට ඇත්තේ  ලෙඩ ඇඳේ  සිටින ඔහු වැඩක් කළා කී නිසාය.
මොකද තමුසෙ නිකම් බිත වෙලා වාගේ බලා ඉන්නෙ? මා ඇඳේ නිකං දපලා හිටියේ නෑ. හොඳ ප්‍රබන්ධයක් කළා. ජූලි හත වගේ කතාවක්.
“මහත්තයාගේ උණ අද  වැඩි වෙලාද?”
තමුසෙ හිතුවාද මා උණ විකාරෙන් දොඩවනවා කියා
එතැන් සිට ඔහු රිදී හවඩියේ  මිනීමැරුම් අන්දරය  අනාවරණය තෙක් ඒ කතාවට ධර්මසේකර මහතා සවන් දුන්නේය.
“කතාව නං අපූරුයි. ජයට හිටීවි. දෙයියන්නේ පිහිටෙන්  සනීප උනාම  ලියන්න පටන් ගත්තා.
“නෑ නැහැ. හෙටම පටන් ගන්නවා. පුළු පුළුවන් හැටියට.
සිල්වා මහත්තයා කොහොමද මෙච්චර රසවත් කතාවකට වස්තු බිජය ලැබුණේ මේ ලෙඩ ඇඳට”
“අන්න බලනවා. මට වස්තු බිජය ලැබුණු තැන. හෙතෙම
යා බද කාමරයේ විවෘත දොර පලුවෙන් පෙනුණු නවීන පන්නයේ ඇඳුම් අල්මාරියක් කෙරේ ධර්මසේකර මහතාගේ අවධානය යොමු කළේය. එම අල්මාරියේ යතුර ඉවත් නොකොට යතුරු කටේම රඳවා තිබුණ සැටි සිල්වා මහතා ඔහුට පෙන්වා ඇත.
“ඔය අල්මාරිය ඇතුළේ රත්තරං බඩු සැට් එකක් තියෙනවා.  තවත් වටින කියන දේ මොක මොකවත් ඇති. බලනවා යතුර තියෙන හැටි. බොහොම දවස් වල මා දැක්කා ඔය නොසැලකිල්ල. අපේ ගෙදර හොරු නැහැ. වැඩ කාරයෝ කවුරුත් අවංකයි. ඒක වෙනම කාරණයක්. වැඩක පිළිවෙළක් තියෙන්න ඕනෑ. නැත්නම් ප්‍රතිඵල විෂම විය හැකියි.”
කී සිල්වා මහතා 1956 ජූලි මාසයේ රිදී හවඩිය  ලියා නිම කර ඇත. ඒ සමගම ඔහු සොයා ආවේ අලුතින් ‍ලේක් හවුස්  ආයතනයෙන් පිට කරන නවයුගය සඟරාවේ කර්තෘ ශ්‍රී ලාල් එච්. ලියනගේ මහතාය. ඔහුගේ ආරාධනය පරිදි රිදී හවඩිය  කොටස් වශයෙන් ආනන්ද හරිශ්චන්ද්‍ර ගේ චිත්‍ර සහිතව පළ විය. මුල් කොටස් කීපය පළ වන අතර සිල්වා මහතා ජීවිතයෙන් සමු ගත්තේය.
හිඟන කොල්ලා  සිල්වා සූරීන්ගේ අන්හැම නවකතාවකටම වඩා කථා  රසයෙන් ආඪ්‍ය යැයි තමා සිතන බව ඊරියගොල්ල මහතා පවසා තිබුණි. එය සාමාන්‍ය ‍පොත් කියවන විවිධ මට්ටමේ පාඨකයන්ද  අනුමත කරති. මේ ඒ
පිළිබඳව සිල්වා සූරීන්ගේ අදහසය. (උපුටා ගත්තේ 1956 දෙසැ. 23 සිළුමිණ)
හිඟන කොල්ලා ද මගේම නිර්මාණයකි. කථා වස්තුව අතින් මෙතරම් හොඳට පූර්වාපර  සන්ධි
ගළපා  කැරුණු නිර්මාණයක් මේ වර්ගයේ අපරදිග නවකතා කාරයන්ගේද කිසි තැනක නුදුටුවෙමි. හිඟන කොල්ලා ගේ චරිත කලාපය ඉතා විශාලය.  ඒ ලොකු කුඩා මහත් පිරිසකගෙන් යුත් මහා සිතියමකි.  එහෙත් එහි එකක් දෙකක් දෙස බලාගෙනම කළ නිරූපණයක් බව මෙහිදී නොකියාම බැරිය.
හිඟන කොල්ලා පිටවූ විට සිංහල කියැවීම් ලෝකයේ මහත් කැළඹීමක් ඇති වූ බව කියන කතුවරයා එකල (1923) සිංහල කියවන හැම දෙනෙකුන් ළඟම මෙහි පිටපතක් තිබෙනු මා දුටු බව පවසා ඇත. සමහර හිතවතුන් ‍පොතට පැසසුම් පත්‍රිකා (දැන්වීම්) සිය වියදමින් ම මුද්‍රණය කොට ප්‍රචාර කර තිබිමෙන් තමා මවිත වූ බවද  නවකතාවේ එන චරිත කොතරම් ජනයා තුළ තුඩ තුඩ රැව් දුන්නාද කිවහොත්
“මූ හරි සයියා”
“ මූ හරි වයියා”
මොරිස් මළා
වැනි දෙබස් තමාට අසන්නට ලැබුණු අතර තමාගේ අවසරයකින් තොරව හිඟන කොල්ලා නාට්‍යානුසාරයෙන් රඟ දක්වා ඇති බවත් සඳහන් කර ඇත.
සිල්වා සූරීන්ගේ ගෝලයන් අතර ආරියරත්න බණ්ඩාර රත්නායක, දී ගොඩ පියදාස, කේ. ලයනල් පෙරේරා,                මලලගොඩ බන්දුතිලක, හිතවත්ම මිත්‍රයෙකු ලෙස කන්නන්ගර වෙද රාළහාමි හා කේ.එච්.ඒ. ධර්මසේකර ද කැපී පෙනෙයි. කතා රජ කතාව ඩබ්ලිව්. ඒ. සිල්වා චරිතය ලියූ ධර්මසේකර  මහතාට ඒ කෘතියට රාජ්‍ය සාහිත්‍ය ත්‍යාගයක්ද හිමි විය.
ධර්මසේකර මහතා කියන ලෙස සිල්වා මහතා ආහාර පාන රසට ඉවීමට දක්ෂතා ඇති සූපවේදියෙකි.  එළුමස්, කුකුළු මස්, හරක් මස්, ඌරු මස්  යන  සිව් වැදෑරුම් ගොඩ මස්ද, තෝර මාළු, බල මාළු, මූදු ඉස්සන් යන තෙවදෑරුම් දිය මසින්ද සීනි සම්බෝල, පළතුරු සලාද, පමණක් නොව ගෝවා, කැරට්, මුරංගා යන එළවළුද, මධු විතක් සඳහා  උචිත බයිට්ස් වර්ග කටට රහට හැදීමට සිල්වා සූරීන්ට අවශ්‍ය වන්නේ එක් අත් උදව් කාරයකු  පමණක් බවය. ඒ බව ජීවමාන මහා පත්‍ර කලාවේදියා වන ඩී.ඇෆ් කාරියකරවන මහතාද සනාථ කරයි. ‍ලේඛන කලාවට, සඟරා පත්‍ර සංස්කාරකවරයකුට අමතරව සිල්වා මහතා කාර්යක්ෂම නැණවත් කර්මාන්තකාරයකු හැටියට කේ. ලයනල් පෙරේරා දකී.  ඔහු වරක් වැල්ලවත්තේ සිල්වමියර් නිවසේ සුවඳ විලවුන් පිළිබඳ පර්යේෂණ කොට ගැහැනු ළමුන් සමග සමග එක් වී සැලෝලයිඩ් වලින් බෝනික්කන් සෑදූ බවත් සිල්කා විලවුන්  තැනූ බවත් පවසා ඇත.
1890 ජනවාරි 16 වෙනිදා උපත ලද වැල්ලෙවත්තේ ආරච්චිගේ එබ්‍රහම් සිල්වා 1957 මැයි 31 වෙනිදා මිය ගියේය. ඔහු සිය ජීවිත කාලයේ නවකතා 13 ක් ද, කෙටිකතා සංග්‍රහ හතරක්ද, නාට්‍ය ‍පොතක්ද වෙනත් ‍පොත් 09 ද රචනා කොට ඇත. සඟරා දෙකක් හා පුවත්පතක්ද සංස්කරණය කර තිබුණි.
ඊරියගොල්ල මහතා සිල්වා මහතා ගැන ලිපියක් අවසන් කර තිබුණේ මෙසේය.
තනිකඩයකු වූ සිල්වා මහතා හොඳින් කෑවේය. හොඳින්  ඇඳ පැළන්දේය. හොඳින් ජීවත් වුණේය. මෙලොව ජීවිතය කන් දොස් කිරියාවක් වශයෙන් නොසැලකූ මෙතුමා මරණය දෙස බැලූයේ දාර්ශනික ඇසෙකිනි. මරණය වනාහි ජීවිතයාගේ අලුත්වීමක් විනා විනාශයක් නොවේ යයි සිල්වා මහතා වරක් පැවැසීය. එය එසේම වේවා”

 ඒ.ඩී. රන්ජිත් කුමාර

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.