තහනම නොතකා උදයංග තුන්කෝටියක් හුවමාරු කරගෙන

udayanga weerathunga2008 වසරේදී යුක්‌රේනයෙන් මිග් යානා හතරක්‌ මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල සැකකරුවකු වන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට අයත් බැංකු ගිණුම් කිහිපයක්‌ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2015.04.29 වැනිදා තහනමට ලක්‌ කිරීමේ නියෝගයක්‌ නිකුත් කර තිබියදීත්, ඉන් දින කිහිපයකට පසුව එනම් 2015.05.04 වැනිදා කොළඹ පිහිටි එක්‌තරා බැංකුවක පවත්වාගෙන ගිය තහනමට ලක්‌වූ ගිණුමකින් එක්‌සත් එමීර් රාජ්‍යයේ පිහිටි සැකකරුගේ ගිණුමකට රුපියල් තුන්කෝටි පනස්‌හත් ලක්‌ෂයක මුදලක්‌ හුවමාරු කර ඇති බවද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා පසුගියදා (29) අධිකරණයට දැනුම් දුන්නේය.

එම බැංකු බලධාරීන් මහ බැංකු නියෝග නොතකා කටයුතු කළේ ද නැත්නම් එම නියෝගය එම බැංකුව වෙත ලැබී නොතිබුණේ ද යන්න අනාවරණය කරගැනීම සඳහා විමර්ශන ආරම්භ කොට ඇතැයි ද එහිදී සඳහන් කළ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා එම කාලයේදී සැකකරුගේ බිරිඳගේ මව වන ඉන්ද්‍රානි මාන්නප්පෙරුම නමැත්තිය නමට රුපියල් මිලියන 20 ක්‌ එරටේ සිට ලැබී ඇති බවත් සඳහන් කළේය.

එකී මිග් යානා හතර මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 14 ක මුදලක්‌ ගෙවා ඇති බවට අනාවරණය වී ඇති නමුත් ගුවන් යානා ලබාදුන් යුක්‌රේන් සමාගමට ගෙවා ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 7.8 ක්‌ පමණක්‌ බවද එහිදී සඳහන් කළ රජයේ අධිනීතිඥවරයා සෙසු මුදල් පැනමාව ඇතුළු රටවල් කිහිපයකට යවා ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවද සඳහන් කළේය.

යුක්‌රේන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අමතරව එම වකවානුවේ එම්. අයි. 24 හෙලිකොප්ටර් යානා හතරක්‌ අලුත්වැඩියා කිරීමේ සිද්ධියක්‌ ද වාර්තා වී ඇති බැවින් එම ගනුදෙනුවේදී ද යම්කිසි අයුතු ලෙස මුදල් හුවමාරු වීමක්‌ සිදුවී ඇති දැයි අනාවරණය කරගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇතැයි ද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.