දවුල්දෙන ඤාණිස්සර අමරපුර මහ නාහිමියන්ට අජර අමර නිවන් සුව ලැබේවා..!

dawuldena-gnanissara-theroවසර 102 ක් තරම් දීර්ඝ කාලයක් ආයු වළඳමින් මහා ශාස්ත්‍ර සේවාවක් සහ ශාසනික සේවාවක් ඉටුකළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක රාජකීය පණ්ඩිත, ග්‍රන්ථ විශාරද, සංස්කෘතික භාෂා චක්‍රවර්ති, ශ්‍රි සුමංගල විද්‍යාවංස දෛවිභාෂා විශාරද, ෂඩ්භාෂා පරමේෂ්වර, ජින ශාසන කිර්ති ශ්‍රි, අග්ගමහා පණ්ඩිත, ආචාර්ය, ශාස්ත්‍රශුරි, දවුල්දෙන ශ්‍රී ඤාණිස්සර මහ නාහිමියෝ අද (3) උදෑසන අපවත් වූහ.

ආදහන පුජ්‍ය උත්සවය පුර්ණ රාජ්‍ය ගෞරවය සහිතව අප්‍රේල් 06 වෙනි බ්‍රහ්ස්පතින්දා සවස කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වෙන බව ආදාහන කමිටුව නිවේදනය කර තිබේ.

ශතවර්ෂයක් ඉක්මවා ජීවත් වෙමින් එතුමන් ජය ගන්නා ලද ශාස්ත්‍ර ඥාණයත් පසුව ඉටු කරන ශාස්ත්‍ර සහ ශාසනික සේවාවත් අද දවසේ විමසා බැලිය යුත්තේ නූගත් හාල්පාරු කහකඩයන් වර්තමානයේ නටන ජෝගිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත් එවැනි කඩකඩයන් ශාසනයෙන් පන්නා දමා දවුල්දෙන නායක හිමියන් වැනි බුද්ධිමත් සඟ පරපුරක් බිහි කර ගැනීමෙන් මිස ශ්‍රී ලංකාවේ ශාසනයට සුගතියක් අත් නොවන බව සාක්ෂාත් කර ගැනීමටත් ය.

ඌව පළාතේ දවුල්දෙන ග්‍රාමයේ වර්ෂ 1915 දෙසැම්බර් මස 31 දින ආලෝක මුදියන්සේලාගේ කව්රාළ හා ගජනායක මුදියන්සේලාගේ කිරි මැණිකේ යන මව්පිය දෙපළට දාව එතුමන් ජන්ම ලාභය ලැබුවේ ය. දෙමාපියෝ දරුවා හට ආලෝක මුදියන්සේලාගේ සිරිබද්ධන ලෙස නම් තැබු අතර එකලොස් දෙනෙකුගෙන් යුත් පවුලේ හෙතෙම නමවැන්නා විය. පුතුන් හය දෙනෙකුගෙන් හා දූවරු පස්දෙනෙකුගෙන් මෙම පවුල සමන්විත විය. නිසි වයසට පැමිණිමත් සමග මැදවෙල මහා විද්‍යාලයට සිප් සතර හදාරනු වස් පිය නැගූ සිරිබද්ධන දරුවා ඉඩ ලැබුනු සෑම මොහොතකම විහාරස්ථානයට ගොස් ගරු ස්වාමීන්වහන්සේලා සමිපව ඇසුරු කරන ලක්ෂණ විද්‍යාමාන කෙළේය.

එම පන්සල් ඇසුර නිසාම 1927 දී එනම් වයස අවුරුදු 12 දී මහණදම් පිරීමේ දැඩි ආශාවක් සිත තුළ පෝෂණය වූ සිරිබද්ධන දරුවා හට සිය නිවසින් ලැබුනේද ඊට නොමඳ රුකුලකි. කුඩා කළ සිටම සිය නම වැනි පුත්‍රයාගේ පන්සල සමග තිබූ බැඳීම හා අකුරු ශාස්ත්‍රයේ වූ නිපුනතාවය තේරුම්ගත් දෙමාපියන් කේන්ද්‍රරය පරීක්ෂාව ලක් කිරිමෙන් පසු සපුගොල්ල තපෝධනාරාමාධිපති පුජ්‍ය උමෑලේ පඤ්ඤාණන්ද හිමියන් යටතේ ශාසනයට බාර කෙරිණ. නමුත් එකල එක් වරම මහණ කර ගැනීමක් සිදු කරන්නේ නැත.

උදෑසන පාසලටත් සවස් කාලයේ උමෑලේ සුදර්ශනාරාමයටත් හුරු පුරුදු වූ සිරිබද්ධන දරුවා කුඩා සාමණේර හිමිවරුන් සමඟ පාලි හා සංස්කෘත පොත පත හැදෑරීය. සිරිබද්ධන දරුවා මහණ වීමට පෙර පුරා වසරක් පන්සලේ දරුවෙකු ලෙස ශාසනික චාරිත්‍ර හැදැරී ය. සපුගොල්ල තපෝධනාරාම මූල මහාවිහාරයේ විහාරාධිපතිව වැඩවිසු උමෑලේ සිරිපියරතන ස්වාමීන්වහන්සේ සහ උමෑලේ පඤ්ඤානන්ද ස්වාමීන්වහන්සේ ගුරු තනතුරේ හොබවමින් 1928 මාර්තු 08 වෙනිදා උතුම් පැවිදි දිවියට ඇතුළත් වූ සිරිබද්ධන දරුවා දවුල්දෙණ ඥාණිස්සර හිමි නම් විය.

ගුරු ස්වාමීන්වහන්සේලාගේ මග පෙන්වීම මත හග්ගල සංඛගිරි විහාරයේ නේවාසික අධ්‍යාපනයට යොමු කෙරිණ. එහි නේවාසිකව ශාසනින වත් පිළවෙත් හදාරා කාලයාගේ ඇවෑමෙන් සපුගොල්ලට නැවතත් වැඩම කළ ඤාණිස්සර හිමියන්ගේ අධ්‍යාපන කුසලතාවයන් පිළිබඳව විශේෂ සැළකිල්ලක් දක්වන ගුරු ස්වාමීන්වහන්සේ ඒ පිළිබඳ දායක සභාව සමගද සාකච්ඡා කර මාලිගාකන්ද විද්‍යෝද්‍ය මහා පිරිවෙනට ශිෂ්‍ය ස්වාමීන්වහන්සේ නමක් ලෙස ඇතුලත් කෙරිණ. ඒ වර්ෂ 1932 දීය. මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට යද්දී එතුමන් නුගේගොඩ ශ්‍රී විජයවර්ධනාරාමයේ නේවාසිකව වැඩ වාසය කළහ.

මාලිගාකන්ද සුප්‍රසිද්ධ විද්‍යෝදය මහා පිරිවෙනෙහි වැඩ සිටි පුජ්‍ය මහවේ ශ්‍රී රතනසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා පුජ්‍ය බැද්දේගම පියරතන ස්වාමීන්වහන්සේ ඇසුරු කරන්නට ලැබීම ඤාණිස්සර නාහිමියන්ගේ සංස්කෘත උගැන්මෙහි සන්ධිස්ථානයක් විය.

විද්‍යෝදය පිරිවෙනේහි දී සියලු විෂයන් පිළිබඳව හසල දැනුමක් ලබාගත් උන්වහන්සේ ඉන්පසුව කොළඹ ඕල්කට් විද්‍යාලයට බැඳෙන්නේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමටත් දෙමළ හා චීන භාෂාවන් පිළිබඳව හසල අවබෝධයක් ඇති කර ගැනීමටත් ය.

ගෞරව පන්තියේ සාමාර්ථයක් සමග පිරිවෙන් අවසාන පරීක්ෂණය සමත්වන දවුල්දෙණ ඤාණිස්සර හිමියන් එම වසරේ දී වසරකට වරක් හොඳම ශිෂ්‍යයාට දෙනු ලබන ‘‘ශ්‍යාම රාජ ත්‍යාගය‘‘ දිනා ගැනීට සමත් වූ ශිෂ්‍ය හිමියන්ද විය. ප්‍රාචීන පණ්ඩිත විභාගයෙන් ඉතා උසස් ලෙස සමත්වන ඥාණිස්සර හිමියෝ රාජකීය පණ්ඩිත විභාගය ද උසස් ලෙස සමත් වූ සේක.

වර්ෂ 1938 දී අධි ශිල උපසම්පදාවට පත්වන දවුල්දෙන ඤාණිස්සර හිමියන්ගේ ජීවන ගමන් මග ගිහි පැවිදි කාහටත් එක සේ වැදගත්ය.

උන්වහන්සේ නොපසුබට උත්සාහයෙන්, මනා සිහියෙන් සහ අනලස් භාවයෙන් පසු වූ සෑම දවසකම ශාසනයටත් උපන් රටටත් මහත් වූ සේවයක් ඉටු කෙළේය.

සරල සිනහවෙන් සැරසී සිය ආයු කාලය තුළ කරනු ලැබු අප්‍රමාණ ශාසනික සේවාව කරණ කොට ගනිමින් අතිපූජ්‍ය දවුල්දෙන ඤානිස්සර මහ නාහිමිපාණන් දෙස් විදෙස් ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූහ. උන්වහන්සේගේ සේවාව ශාසනික, සාමාජයීය, සාහිත්‍යමය වශයෙන් තෙආකාර ගනු ලැබූ අතර, නිහඬ ස්ථවිරයන් කෙනෙකුගේ භූමීකාව මැනවින් අවබෝධ කර ගනිමින් සිය යුතුකම වගකීමෙන් ඉටු කිරීමට පියවර ගත්හ.

උන්වහන්සේ වඩාත් ප්‍රකට වූයේ සංස්කෘත භාෂා විශාරදයකු වශයෙනි.

උන්වහන්සේ විසින් රචිත සංස්කෘත ග්‍රන්ථ රැසකි. ඒ අතරින් යශෝධරා කාව්‍යය අගතැන්පත් බව සංස්කෘත වියත්හු කියති. ‘මාරංගනා විජයම්‘ යනු බුදුරදුන් මරඟනන් පැරදවීම පිළිබඳව උන්වහන්සේගේ අතින් ලියැවුණු සංස්කෘත කාව්‍යයකි. ධර්මචිත්තා, වෛරාග්‍ය චිත්තා, ආශිර්පුෂ්පමඤ්ජරී, ශ්වානස්තව කාව්‍ය ආදී වශයෙන් උන්වහන්සේ අතින් ලියැවුණුත තවත් ප්‍රබන්ධ රාශියකි.

දවුල්දෙන මහනාහිමියන් විසින් රචනා කරන ලද ‘යතිදූතම්‘ සංස්කෘත සන්දේශ කාව්‍යයකි.

ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් වන විනාශය දැකීමෙන් කම්පා වූ ඤාණිස්සර හිමියෝ සාහසික ක්‍රියා නවත්වන්නැයි යතිදූතම් කාව්‍යයෙන් ලෝක පාලක දෙවිවරුන්ට ආයාචනා කළහ. සංදේශය රැගෙන යන යතිවරයා එක් රැයක් ගත කරන්නේ මහනුවර අස්ගිරි මහා විහාරයේය.

විවේකයෙන් සිටි සෑම මොහොතකම කවි, ගාථා, ශ්ලෝක ආදිය රචනා කිරීම දවුල්දෙන මහනාහිමියන්ගේ පුරුද්දක් බවත් ඇතැම් විට ගමනක යෙදෙන අතරතුරදී නිර්මාණය කරන සංස්කෘත ශ්ලෝක බස් ටිකට්පතක ලියා අසන්නට හෝ කියවන්නට සැලැස්වීම උන්වහන්සේගේ සිරිතක් බවත් උන්වහන්සේ ළඟින්ම ඇසුරු කළ මැදගම ධම්මානන්ද හිමියෝ වරෙක පැවසූහ.

දවුල්දෙන ඤාණිස්සර මහ නා හිමියෝ 1990 දශකය මුල් භාගයේදී තායිවානයේ ලිංසොං සහ චුංහුවා යන බෞද්ධ විශ්ව විද්‍යාලයන් හි සංස්කෘත සහ ථෙරවාදී සම්ප්‍රදාය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස සේවය කළහ.

එපමණක් නොව උන්වහන්සේ ඉන්දියාව, මැ‍ලේසියාව, හොංකොං, තායිපේ, කොරියාව ආදී දේශයන්හි ද, එංගලන්තයේද වැඩවසමින් ශාස්ත්‍රය උගන්වමින් පැහැදිලි ධර්මය පෙර අපර දෙදිග කාටත් බෙදා දුන්හ.

මෙරට දී සුවිසල් ධර්ම දූත සේවාවක නිරත වූ ඤාණිස්සර නාහිමියෝ විද්‍යොදය මහ පිරිවෙන, මහරගම සිරිවජිරඥාන ධර්මායතනය ආදී ශාස්ත්‍රීය විද්‍යාස්ථානවල ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට ත්‍රිපිටක ධර්මයත්, සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත භාෂාවන් පිළිබඳ දැනුමත් ලබා දුන්හ.

දිනපතා අලුයම අවදිව පන්සල ඇමද, මුව දෙවීමෙන් අනතුරුව බුදුරුව අබියසට වී තෙරුවන් නමැද පිරිත් සජ්ඣායනය කරන දවුල්දෙන මහනාහිමියන් පැරණි බෞද්ධ ආරාමික සම්ප්‍රදාය තුළ හැඩගැසුණු වැඩිහිටි පැවිදි උතුමකුගේ දින චර්යාව වන ‘හෙරණසිඛ‘ අකුරටම ඉටු කළ බව උන්වහන්සේ ළඟින් ඇසුරු කළ බොහෝ හිමිවරු කියති.

මේ හේතු නිසාම පහත සඳහන් දෙස් විදෙස් ගෞරව නාමයන්ගෙන් උන්වහන්සේ පුදන ලදී.

01. සාම රන් පදක්කම – ආසියානු බෞද්ධ සාම සම්මේලනය, මොන්ගෝලියාව,
02. සංස්කෘත චක්‍රවර්තී – විද්‍යෝද්‍ය මහ පිරිවෙන
03. ග්‍රන්ථ විශාරද – ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම.
04. දෛවීභාෂා විශාරද – ස්‍යාමෝපාලි වංශික රෝහණ සංඝ සභාව
05. ජනාධිපති සම්මානය.
06. භාෂාන්තර විශාරද ජින ශාසන කීර්ති ශ්‍රී – ශ්‍රී ලංකා අමරපුර මහ සංඝ සභාව 1995
07. භාෂාන්තර විශාරද ජිනශාසන කීර්ති ශ්‍රී මහෝපාධ්‍යාය – ෂඩ් භාෂා පරමේෂ්වර මහා අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ එක්නැලිගොඩ පාර්ශවය
08. සංස්කෘතික සාහිත්‍ය සරස්වතී – අමරපුර සිරි සද්ධම්ම වංශ
09. සාහිත්‍යශූරී – ඇමරිකානු කැලිෆෝනියා සංඝ සභාව
10. උත්තරීතර මහානායක පදවිය – 2000 වර්ෂයේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව
11. සුමංගල විද්‍යාවංශ – විද්‍යෝද්‍ය පිරිවෙන
12. අග්ගමහා පණ්ඩිත – බුරුම රජය
13. ත්‍රිපිටකාචාර්ය හා මහෝපාධ්‍යාය – උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාව
14. ශ්‍යාම රාජ ත්‍යාගය – විද්‍යෝදය පිරිවෙන

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!