දින සියයේ ප්‍රධානම අභියෝග තුන-සී.ඒ.චන්ද්‍රප්‍රේම

 

සී.ඒ චන්ද්‍රප්‍රේම
සී.ඒ චන්ද්‍රප්‍රේම

 

නව පාලන තන්ත්‍රය ජනතාවට කළ මූලිකම පොරොන්දුව වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාය යන්නයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන මට නම් තිබෙන්නේ බියක්‌ සහ චකිතයකි. විධායක ජනාධිපති ධුරය වැරදි පුද්ගලයාගේ අතට ගියහොත් ඔහු පිස්‌සු නටා මුලු රට පුරාම දේශපාලන අස්‌ථාවර භාවයක්‌ ඇතිවනවාය යන්න සත්‍යයක්‌ වුවත් පිස්‌සු නටන විධායක ජනාධිපතිවරයකුටත් වඩා බරපතළ හානියක්‌ පාර්ලිමේන්තු ක්‍රමයක්‌ තුළින් ඇතිවන දේශපාලන අස්‌ථාවරභාවයෙන් මේ රටට සිදුවනු ඇතිය යන්න මගේ මතයයි. මෙයට හොඳම උදාහරණයක්‌ වන්නේ අසල්වැසි ඉන්දියාවයි. රජීව් ගාන්ධි මියගිය තැන සිට නරේන්ද්‍ර මෝඩි බලයට පත්වීම දක්‌වා වූ දශක දෙකකට අධික කාලය මුළුල්ලේ ඉන්දියාවේ පැවතියේ නොයෙක්‌ ප්‍රාන්ත ආණ්‌ඩුවලට හිස නමා පාර්ලිමේන්තුවේ බහුතරය යන්තම් පවත්වාගෙන යන බෙලහීන ආණ්‌ඩුය. අප වගේ රටක එවැනි තත්ත්වයක්‌ ඇතිවුවහොත් එය කෙළවර වන්නේ කොතනින් දැයි කිසිවකුටත් කිව නොහැකිය.

 

 

downloadgovernance

ඒ කෙසේ වෙතත් අද යථාර්ථය වන්නේ රටේ ජනතාව විධායක ක්‍රමය අහෝසි කළ යුතු යෑයි පැහැදිලි ජනවරමක්‌ ජයග්‍රාහී පාර්ශ්වයට ලබා දී ඇති බවයි. මේ ජයග්‍රාහී සන්ධානයේ විවිධ පාර්ශ්වකරුවන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යනුවෙන් අදහස්‌ කළේ විවිධ දේවල්ය. ඇතැම් පාර්ශ්ව ජනාධිපති ධුරය පවත්වාගන්නා අතර එහි බලතල කප්පාදු කිරීමක්‌ ගැන කතා කළේය. තවත් ඇතැම් පාර්ශ්ව අදහස්‌ කළේ විධායක ජනාධිපති ධුරය සහමුලින්ම අහෝසි කොට 1978 ට පෙර මෙන් නාමමාත්‍ර ජනාධිපතිවරයෙක්‌ රාජ්‍ය නායකයා හැටියට සිටියදී සියලු විධායක බලතල අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට්‌ මණ්‌ඩලයට පැවරිය යුතු බවයි. ඇත්ත වශයෙන්ම විධායක ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කරන්නේ නම් එම ධුරය සඳහා වෙනම ජනාධිපතිවරණ පැවැත්වීමද බොරු වැඩකි. එම නිසා 1972 ජනරජ ව්‍යවස්‌ථාවේ තිබුණාක්‌ මෙන් අගමැතිවරයා විසින් පත් කරන නාම මාත්‍ර ජනාධිපතිවරයෙක්‌ සිටීම සෑහේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම් එයට සමගාමීව කළයුතු අනිවාර්ය ප්‍රතිසංස්‌කරණයක්‌ වන්නේ දැනට පවතින සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනස්‌ කිරීමය. අද පවතින සමානුපාතික ඡන්ද ක්‍රමය ඇතිකරනු ලැබුවේ විධායක ජනාධිපති ක්‍රමය තිබෙනවාය යන පූර්ව උපකල්පනය මතය. විධායක ජනාධිපතිවරයෙක්‌ සිටින්නේ නම් පාර්ලිමේන්තුවේ බහුතරයක්‌ කෙසේ හෝ ගැටගසාගෙන රට පාලනය කිරීමේ හැකියාව ඔහුට තිබිණි. නමුත් විධායක ජනාධිපති ක්‍රමය නැති තැන යම් දේශපාලන පක්‍ෂයකට පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක්‌ ලබාගත හැකි ක්‍රමයක්‌ නිර්මාණය කළ යුතුව තිබේ. ඇත්ත වශයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සමගාමීව මැතිවරණ ක්‍රමයේ ප්‍රධාන වෙනසක්‌ ද පොදු විපක්‍ෂයේ න්‍යාය පත්‍රයේ ඉහළින්ම තිබිණි. එනම් සමානුපාතික ඡන්ද ක්‍රමය අහෝසි කොට ආසන මට්‌ටමෙන් හා සමානුපාතික දෙමුහුන් ඡන්ද ක්‍රමයක්‌ හඳුන්වා දීමය. මෙවැනි දෙමුහුන් ඡන්ද ක්‍රමයක්‌ ගැන කලින් පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක්‌ පත්කොට එමගින් නිර්දේශ ද ඉදිරිපත් කොට තිබිණි.

 

downloadvote

 

අලුත් පාලන තන්ත්‍රය ඉදිරියේ ඇති ප්‍රධානම හා අසීරුම අභියෝගය වන්නේ මෙන්න මේ දෙමුහුන් ඡන්ද ක්‍රමය ඇති කිරීමයි. පසුගිය පාර්ලිමේන්තුවේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද මැතිවරණ ප්‍රතිසංස්‌කරණ පිළිබඳ තේරීම් කාරක සභාවේ නිර්දේශය අනුව සැලසුම් කොට තිබුණේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 140 ක්‌ ආසන මට්‌ටමෙන් තෝරා ගැනීමටත් සහ ඒ ඒ දිස්‌ත්‍රික්‌ක වල ඡන්ද කොට්‌ඨාසවල පරාජිත අපේක්‍ෂකයන් අතරින් වැඩිම ඡන්ද ප්‍රමාණය ලබාගත් අය දෙවැනි වටයේ දී සමානුපාතික පදනම මත පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගැනීමටත්ය. සමානුපාතික පදනම මත පාර්ලිමේන්තු ආසන 70 ක්‌ ජනානුපාතය වැනි විවිධ කාරණා සැලකිල්ලට ගෙන ඒ ඒ දිස්‌ත්‍රික්‌ක වලට බෙදා දීමට නියමිත විය. ඉතිරි ආසන 15 ජාතික ලැයිස්‌තු ආසන විය. නමුත් මෙකී ක්‍රමයට සෘජුවම අනුමැතියදී ඇත්තේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පක්‍ෂ පමණි. මුස්‌ලිම් කොංග්‍රසය, ජනතා විමුක්‌ති පෙරමුණ වැනි කුඩා පක්‍ෂ මේ ක්‍රමයට සෘජුවම විරුද්ධ විය. එක්‌සත් ජාතික පක්‍ෂය ද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාවට අත්සන් නොතබා සිටියේ කුඩා පක්‍ෂවල මතය තවදුරටත් සැලකිල්ලට ගත යුතු බව කියමිනි.

නව පාලන තන්ත්‍රයට තිබෙන ප්‍රධානම අභියෝගය වන්නේ මේ මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීමේ ප්‍රශ්නයයි. දිනේෂ් ගුණවර්ධන කමිටුවෙන් යෝජනා කරන ලද දෙමුහුන් මැතිවරණ ක්‍රමය හඳුන්වා දුන්නොත් ජනතා විමුක්‌ති පෙරමුණ හා මුස්‌ලිම් කොංග්‍රසය වැනි කුඩා පක්‍ෂවලට බරපතළ අවාසියක්‌ වනු ඇත. මුස්‌ලිම් කොංග්‍රසයට අම්පාර දිස්‌ත්‍රික්‌කයෙන් පිට කිසිදු අසුනක්‌ නොලැබී යැමට ඉඩ ඇත. ජ.වි.පෙ.ට මුළු රට පුරාම එකදු අසුනක්‌ හෝ හිමි නොවීමට ඉඩ ඇත. රිෂාද් බදියුදීන්ගේ පක්‍ෂයට ද වන්නි දිස්‌ත්‍රික්‌යෙන් මන්ත්‍රීවරු නොලැබී යැමට ඉඩ ඇත. සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දුන් දා සිට මේ රටේ පැතිර ගිය ජාතිවාදී හා ආගම්වාදී දේශපාලන පක්‍ෂ සම්ප්‍රදායට දෙමුහුන් ඡන්ද ක්‍රමය පැහැදිලි අභියෝගයක්‌ වනු ඇත. වර්තමාන සමානුපාතික ක්‍රමය යටතේ ජාතිවාදී දේශපාලනය පැතිර යැමට හොඳ උදාහරණයක්‌ වන්නේ නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයයි. එම දිස්‌ත්‍රික්‌කයේ දෙමළ ඡන්ද දායකයන් තම මනාප තුනම දෙන්නේ දෙමළ අපේක්‍ෂකයන්ට පමණි. ඒ හේතුවෙන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ලැයිස්‌තුවේත් එජාප ලැයිස්‌තුවේත් වැඩිම මනාප ලබාගත් අපේක්‍ෂකයන් තිදෙනාම දෙමළ ජාතිකයෝය. මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ද 2010 මැතිවරණයේ දී රවුµa හකීම් මහතා එජාප ලැයිස්‌තුවෙන් තරග කළ අතර එම දිස්‌ත්‍රික්‌කයේ මුස්‌ලිම් ඡන්ද දායකයින් තම මනාප තුනම මුස්‌ලිම් අපේක්‍ෂකයන්ට පමණක්‌ දීමෙන් මුස්‌ලිම් මන්ත්‍රීවරුන් තිදෙනෙක්‌ තේරී පත්වුණි. මහනුවර දිස්‌ත්‍රික්‌කය කවදත් එ.ජා.ප.යේ බල කඳවුරක්‌ වුවත් එම දිස්‌ත්‍රික්‌කයේ එජාපයට ඡන්දය දුන් උඩරට සිංහලයන් නියෝජනය කිරීමට සිටින්නේ ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පමණි.

කොළඹ නගරයේ එජාපයට තිබුණු දෙමළ ඡන්ද සියල්ලම පාහේ අද වනවිට මනෝ ගනේෂන්ට නතුවී එජාපයෙන් ඈත් වී ඇත. නමුත් ආසන මට්‌ටමෙන් මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ ක්‍රමයකට නැවතත් අප ගමන් කළොත් මේ ජාති හා ආගම් ප්‍රවනතාවය එක්‌වරම නවතිනු ඇත. එයට හේතුව යම් කිසි ඡන්ද කොට්‌ඨාසයකින් අපේක්‍ෂකයෙක්‌ තේරී පත්වීමට තමා එම ඡන්ද කොට්‌ඨාසයේ සිටින සියලුම ජාතීන් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට සිදු වීමයි. 1977 ට පෙර යුගයේ හාරිස්‌පත්තුව වැනි මුස්‌ලිම්වරුන් සැලකියයුතු සංඛ්‍යාවක්‌ ජීවත්වන ආසනයක සංවිධායකවරයා හැටියට ඒ. සී. එස්‌. හමීඩ් පත් වුවද ඔහුට එම ආසනයේ බහුතර ඡන්දයක්‌ දිනා ගැනීමට නම් අනිවාර්යයෙන්ම සිංහල බහුතරයේ ඡන්ද ද දිනා ගැනීමට සිදුවිය. එවැනි තත්ත්වයක්‌ පැවතීම නිසා උතුරු නැගෙනහිරින් පිට පළාත් වල සුලු ජාතික ජාතිවාදය පැතිරීම බොහෝ දුරට වැළකුණි. එකල සුළු ජාතික ජාතිවාදය බොහෝa දුරට උතුරු නැගෙනහිර දෙමළ ආසනවලට පමණක්‌ සීමා විය. නමුත් අද දෙමළ මුස්‌ලිම් ප්‍රශ්නය එම ජාතිකයන් සුළු වශයෙන් ජීවත් වන දිස්‌ත්‍රික්‌කවලට පවා ව්‍යාප්ත වී ඇත. යම් දිස්‌ත්‍රික්‌කයක දෙමළ හෝ මුස්‌ලිම් ජනතාව ජීවත් වන්නේ නම් ඔවුන් අතර ද ජාතික හැඟීම් වපුරා තම ගොඩ වැඩිකර ගැනීමේ ප්‍රවණතාවයක්‌ සුළු ජාතික පක්‍ෂ පෙන්වා තිබේ.

මේ කාරණා නිසා මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීමට එරෙහිව මුස්‌ලිම් කොංග්‍රසය හා මනෝ ගනේෂන් ගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ වැනි සුළු ජාතික දේශපාලන පක්‍ෂ පමණක්‌ නොව ජ.වි.පෙ. ද දැඩි ලෙස විරෝධය පානු ඇත. නමුත් මේ මැතිවරණ ක්‍රමයේ වෙනස විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට අත්‍යාවශ්‍ය වන්නා සේම ජයග්‍රාහී අපේක්‍ෂකයාගේ දින 100 වැඩ පිළිවෙළේ වැදගත්ම අංගයක්‌ ද විය. එපමණක්‌ ද නොව දෙමුහුන් මැතිවරණ ක්‍රමය හඳුන්වා දීමෙන් ශ්‍රී ල.නි.ප.යටත් එජාපයටත් විශාල වාසි සැලසෙනු ඇත. මේ නිසා සුළු පක්‍ෂවල විරෝධය නොතකා ප්‍රධාන පක්‍ෂ දෙක එකතු වී මැතිවරණ ක්‍රමයේ මේ වෙනස සම්මත කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

නව පාලන තන්ත්‍රය මුහුණ දෙන්නා වූ දෙවැනි අභියෝගය වන්නේ 17 වැනි සංශෝධනයේ සඳහන් ස්‌වාධීන පොලිස්‌ කොමිසම, මැතිවරණ කොමිසම හා රාජ්‍ය සේවා කොමිසම වැනි ආයතන ඇති කිරීමය. 17 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රශ්න දෙකක්‌ පැවතුනි. ඉන් එකක්‌ වන්නේ රටේ සියලුම වැදගත් තනතුරුවලට පත්වීම් සිදුකරන ව්‍යවස්‌ථා දායක මණ්‌ඩලයේ අනවශ්‍ය ලෙස සංකීර්ණ සංයුතියයි. ව්‍යවස්‌ථා දායක මණ්‌ඩලයට පුද්ගලයන් පත් කිරීමේ දී ඇති වූ ව්‍යාකූලතා නිසා අවසානයේ දී මුළු ව්‍යවස්‌ථාදායක සභාවම අකර්මන්‍ය විය. නමුත් 18 වැනි සංශෝධනයෙන් එකී ව්‍යවස්‌ථාදායක සභාව වෙනුවට හඳුන්වා දුන් “පාර්ලිමේන්තු සභාව” ඉතා සරල ආයතනයක්‌ විය. එය සමන්විත වූයේ අගමැතිවරයා සහ ඔහු විසින් පත් කරන තවත් මන්ත්‍රීවරයෙක්‌ හා විපක්‍ෂ නායකවරයා හා ඔහු විසින් පත්කරනු ලබන තවත් මන්ත්‍රීවරයෙක්‌ හා කථානායකවරයාගෙන් පමණි. මෙවැනි කුඩා කණ්‌ඩායමකට අෙන්‍යාන්‍ය අවබෝධය මත රටේ ඉහළ තනතුරුවලට පත්වීම් සිදු කිරීම පහසුය.

17 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ඇති වූ ඊළඟ ප්‍රශ්නය වූයේ ඒ යටතේ ඇති කරන ලද ස්‌වාධීන කොමිෂන් ජනතාවටවත් පාර්ලිමේන්තුවටවත් වග නොකියන තත්ත්වයක්‌ පැවතීමයි. පාර්ලිමේන්තුවේ නියෝජනය තිබෙන සියලුම පක්‍ෂ මෙවැනි තත්ත්වයක ආදීනව තේරුම් ගත් අතර පාර්ලිමේන්තුවේ පොදු පෙත්සම් කාරක සභාවේ නියෝජනය වූ සියලුම පක්‍ෂ 2008 දී පෙත්සමක්‌ අත්සන් කරමින් කියා සිටියේ (ජ.වි.පෙ., දෙමළ ජාතික සන්ධානය හා මු.කො. ඇතුළු පක්‍ෂද ඇතුලුව) සියලුම ස්‌වාධීන කොමිෂන් පාර්ලිමේන්තුවට වගකියන පරිදි ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙන ආ යුතු බවත් එවැනි ඕනෑම කොමිසමක්‌ විසින් ගන්නා ලද තීන්දුවක්‌ විභාග කිරීමටත් අවශ්‍ය නම් නිශ්ප්‍රභ කිරීමටත් පාර්ලිමේන්තුවේ පොදු පෙත්සම් කාරක සභාවට බලය තිබිය යුතු බවය. එම නිසා මෙම දෙවැනි කාරණය සම්බන්ධයෙන් නම් දැනටම දේශපාලන පක්‍ෂ අතර එකඟත්වයක්‌ ඇතිවී තිබෙන නිසා එය අලුත් නීති කෙටුම්පතට ඇතුළත් කර ගැනීම ප්‍රශ්නයක්‌ නොවනු ඇතැයි සිතිය හැක.

 

business-increase-profits (2)

අලුත් පාලන තන්ත්‍රයේ තුන්වැනි අභියෝගය වන්නේ පසුගිය රජය පවත්වාගෙන ගිය ආර්ථික විශ්වාසනීය භාවය පළමු දින 100 අවසන් වන තුරුවත් කෙසේ හෝ පවත්වාගෙන යැමයි. පසුගිය ආණ්‌ඩුව ඉතාමත්ම පහත් බැංකු පොලී අනුපාතයක්‌ පවත්වාගෙන ගියේය. එයට අමතරව ඔවුන් බඩුමිල වැඩි වීම යම් පාලනයකට යටත් කළ අතර ආදායම් බදු ද ඉතා පහත් මට්‌ටමක පවත්වාගෙන ගියේය. ඩොලරයේ මිල රුපියලට සාපේක්‍ෂව එක්‌තරා නිශ්චිත මට්‌ටමක වසර ගණනාවක්‌ මුළුල්ලේ පවත්වාගෙන ගියේය. අඩු පොලී අනුපාතය නිසා බොහෝ ව්‍යාපාරිකයන් පමණක්‌ නොව සාමාන්‍ය ජනතාවද වාහන හා ගෙවල් මිලදී ගැනීම සඳහා නොබියව ණය ගත්තේය. ආදායම් බදු අඩු නිසා ව්‍යාපාරිකයන්ට ආයෝජනය කිරීමට මුදල් වැඩියෙන් තිබිණි. විනිමය අනුපාතය ස්‌ථාවර වු නිසා උද්ධමනය පාලනය වූවා පමණක්‌ නොව ව්‍යාපාරික ප්‍රජාවට ආදායම් හා වියදම් පිළිබඳ නිශ්චිතභාවයක්‌ ද තිබිණි. ඒ නිසා මේ අඩු පොලී අනුපාතය, අඩු ආදායම් බද්ද, ස්‌ථාවර විනිමය අනුපාතය හා බඩු මිල වැඩිවීම පාලනය කිරීම යන මූලික දර්ශක හතර පෙර පැවැති තත්ත්වයෙන්ම පවත්වාගෙන යැම අලුත් පාලන තන්ත්‍රයේ ප්‍රධානම අභියෝගයක්‌ වන්නේය. මේවා මෙලෙසම පවත්වාගෙන ගියේ නැත්නම් රටේ මහා ආර්ථික කලබැගෑනියක්‌ ඇතිවීමට ඉඩ ඇත. රාජපක්‍ෂ පාලනය වසර 9 ක්‌ මුළුල්ලේ මේ ආර්ථික කළමනාකරණය ඉතා දක්‍ෂ ලෙස කළ බව කිව යුතුය. රාජපක්‍ෂ ආණ්‌ඩුව විසින් ගෙනගිය මේ දක්‍ෂ කළමනාකරණය ඊට අඩු මට්‌ටමකින් හෝ පවත්වාගෙන යැමට හැකි වත්මන් පාලන තන්ත්‍රය තුළ සිටින එකම බලවේගය වන්නේ මේ ආර්ථික ක්‍රමයේ නිර්මාතෘවරයා වූ එජාපයයි.

සී. ඒ. චන්ද්‍රප්‍රේම

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.