දුටු ගැමුණු: ජයන්ත චන්ද්‍රසිරි ගේ කලාත්මක කම්මුල් පහර

 අපේක්ෂා කළ දුටු ගැමුණු නොදැකීමේ ප්‍රීතිය පිළිබඳ සටහනක්

ලියනගේ අමරකීර්ති

ආචාර්ය ලියනගේ අමරකීර්ති

මහරජ දුටු ගැමුණු බලන්නට මා ගියේ සිංහල-බෞද්ධ සංස්කෘතික ආධිපත්‍යය උලුප්පා දක්වන, සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ සංඥාර්ථ අධිඅවධාරණය කරන චිත්‍රපට මාලාවේ අලුත්ම එක සේම ප්‍රබලම එක බලන්නටය. 2009 යුද්ධයේ අවසානයෙන් මතු වූයේ එවැනි සිනමා කෘති ධාරාවකි. ජයන්ත චන්ද්‍රසිරි යටකී දෘෂ්ටිවාදය පිළිබඳ පවා බලා සිටින්නට හැකි රූපනාටයක් කරන බව මම දැන සිටියෙමි. එහෙත් මහරජ දුටුගැමුණු සිංහල බෞද්ධ ජයග්‍රහණවාදයවත්, මහජාතිවාදයවත් අතිසරල සේ උත්කර්ෂයට නංවන සිනමා පටයක් නොවේ. යුදවින්දන සිනමාව යැයි තරුණ සිනමා විචාරකයන් හැඳින් වූ සිනමා ධාරාව තුළ මහරජ දුටුගැමුණු සිනමා කෘතිය ඇතුළත් කරන්නට හදිස්සිවීමද අමාරුය. එපමණක් නොව මහරජ දුටුගැමුණු චරිතය මහින්ද රාජපක්ෂ සමග සසඳමින් උද්දාම වන්නට බලා සිටි ජාතිවාදීන් වැටී ඇත්තේද දෛවෝපගත දුෂ්කරතාවකය. එනම් නලින්ද සිල්වා, ගුණදාස අමරසේකර වැනි ජාතිවාදී චින්තකයන් තවත් අර්බුදයක වැටී ඇත. ඔවුන් වැටුණු පළමු අර්බුදය මහින්දගේ පරාජයයි. මේ සිනමා කෘතිය ඔවුන්ගේ මුහුණට එල්ල කරන ලද කලාත්මක අතුල් පහරකි.

ජයන්ත චන්ද්‍රසිරි යනු සිනමාත්මක අතිශයෝක්ති රීතිය පිළිබඳ විශ්වාස කරන සිනමාකරුවෙකි. ඒ නිසා ඔහුගේ සිනමාව බෙහෙවින්ම අතිනාටකීය වේ. ඒ නිසා සන්සුන් කලාත්මක සිනමාත්මකය ගැන විශ්වාස කරන අය චන්ද්‍රසිරිගේ සිනමා රීතියට අකමැති වන්නට පුළුවන. එහෙත් අතිශයෝක්ති අංගචලනය සහ දෙබස් උච්චාරණය උසස් කොට සලකන ජැක්සන් ඇන්තනී වැනි නළුවන් පවා මේ සිනමා කෘතියේ සෑහෙන තරම් හික්මවා ගන්නට චන්ද්‍රසිරි සමත් වී තිබේ.

maha-raja-gamunu-39-1024x768

සංස්කෘතික බෞද්ධකමක්

මේ චිත්‍රපටියේ එන මහරජ දුටුගැමුණු 2009 යුද්ධයෙන් පසුව මෙරට ඇති කරන ලද මහජාති කේන්ද්‍රීය ජයෝන්මාදය තවදුරටත් පෝෂණය කරන කෙනෙක් නොවේ. ඒ ජයෝන්මාදය නමැති විනාශක විෂට එරෙහිව මානසික විෂනාශකයක් සේ ක්‍රියා කළ හැකි රජකෙනෙකි. මේ දුටුගැමුණු රජු යුද්ධයට සූදානම් වන මොහොතේදීද යුද්ධය අතරතුරදීද යුද්ධය අවසානයේදීද විදහා දක්වන්නේ 2009 වර්ෂයෙන් පසු මහින්ද රාජපක්ෂ වැනි ප්‍රඥාවෙන් තොර නායකයන්ගෙන් නොදැකිය හැකි වූ ආචාරධාර්මික බෞද්ධකමකි. යුද්ධය නම් සංසිද්ධිය ගැනම පවා ගැමුණු කුමරාද ගැමුණු රජුද ප්‍රකාශ කරන්නේ රජුගේ අනුගාමිකයන්, සොල්දාදුවන් සහ මහ ජනයා මනුෂ්‍ය ජීවිතයෙහි වටිනාකම ගැන ගැඹුරු ආචාරධාර්මික තර්කනයක් කරා යොමු කරවන කියමන්ය. ඒ කියමන් කිසිම ප්‍රකට බෞද්ධ ග්‍රන්ථයකින් සෘජුව උපුටා දක්වන දේවල් නොවේ. සාමාන්‍ය බෞද්ධ ගැමියෙකු ලෙස ඔහු උපුටා ගත් දේවල්ය. ගැමුණු රජුගේ මෙම ආචාරධාර්මික චින්තනය කිසිම භික්ෂුවක් වෙතින් ඉගෙනගන්නා අවස්ථාවක් සිනමා පටයෙහි දක්නට නැත. ඔහුට චින්තනය සපයන පිරිසක් හැටියට භික්ෂූන් නොපෙන්නීම අර්ථසම්පන්න සිනමාත්මක උත්ප්‍රාසයකි.

Mahinda - Shiranthiමේ සිනමා කෘතියේ පෙනෙන හැටියට ගැමුණුගේ බෞද්ධකම ආයතනික ආගම විසින් උගත් දෙයකට වඩා ගැමි බෞද්ධ සංස්කෘතියෙහි ජීවත් වීමෙන් උකහා ගත්තකි. ඔහු රජ මාලිගයෙන් පැන ගොස් වී ගොවියෙකු සේ නිරාමිස වූද කාර්යශූර වූද ජිවිතයක් ගෙවන සැටිය අප වැඩි කාලයක් සිනමා කෘතියෙන් දකිනුයේ. ඒ නිසා රාජ්‍යයත්වයට පත් වූ රාජ කුමාරයෙකුට වඩා රාජ්‍යයත්වට පත් වූ දක්ෂ ගොවියෙකුගේ ස්වභාවය අපි ගැමුණු රජු වෙතින් දකිමු. ඒ අතින් බලන කල මේ සිනමා කෘතිය මහින්ද රාජපක්ෂ අතිශයෝක්ති රාජ සංදර්ශන ප්‍රිය කළ බාහිර බෞද්ධයෙකුගේ යුගයේ සාදන ලැබ අභ්‍යන්තරික බෞද්ධකමක් පෙන්වන මෛත්‍රීපාල සිරිසේන යුගයේ ප්‍රදර්ශනය වීම දෛවෝපගත සිද්ධියකි. මහින්ද රාජපක්ෂ යුගයේදී ඒ යුගයේ රුචියට ගැලපෙන කලා සංදර්ශනවලින් මිල මුදල්ථ, ගෙවල් දොරවල් හම්බ කරගත් පිරිසක් යොදාගෙන ඒ යුගයේ අධිපති චින්තන ස්වභාවයට අභියෝග කිරීමේ විභවතාව ඇති සිනමා කෘතියක් කිරීම මාර ගේමකි. රාජපක්ෂගේ පරාජයෙන් පසු ගත වූ සති කීපයේ ඔහු දැක බලා ගැනීමට මේ චිත්‍රපටියේ අහවලා අහවලා ගිය බව ඇතුළේම හිතවතෙකුගෙන් මට ආරංචි විය. ඒ අතින් බලන කල චන්ද්‍රසිරි ගසා ඇත්තේ මාරම ගේමකි!

ශික්ෂිත දුට්ඨගාමිණි

දුටු ගැමුණු චරිතය නිරූපණය කරන උද්දික ප්‍රේමරත්නගේ රංගනයද රූපකායද විදහා දක්වන්නේ ලේ පිපාසිත රණකාමියෙකුගේ හෝ රණකාමී ජාතිවාදියෙකුගේ හෝ ජීවිතයේ එකම වටිනාම දේ බුදුදහම යැයි ගන්නා සීමාන්තික බෞද්ධ බැතිමතෙකු හෝ නොවේ. ඔහුගේ රංගනය වෙතින් පළ වන්නේ ජැක්සන් ඇන්තනී වැන්නන්ගේ අධි රංගනයද නොවේ. එය එක්තරා ආචාර ධාර්මික බෞද්ධකමකින් හික්මවන ලද ස්වභාවයක් පෙන්වන රංගනයකි. පෞද්ගලික ජීවිතයේදී රාජ සභාවේදීද එක්තරා ඔහු එක්තරා නොඇලුණු ස්වභාවයක් පෙන්වයි.

maha-raja-gamunu-35-1024x768

මෙම චිත්‍රපටයේ එන සිනමාත්මක වක්‍රොක්තිය තුළ 2009 වර්ෂයේ අවසාන වූ ලංකාවේ යුද්ධයේ සිදුවීම් පිළිබඳ එක්තරා සිනමාත්මක විචාරයක්ද ඇතැයි කියන්නට පුළුවන. දුටු ගැමුණුගේ සේනා කරන යුද්ධයේදී මහියංගනයේ සිට අනුරාධපුරය දක්වා එළාරගේ බලකොටු ගණනාවක් බිඳ වැටේ. ඒ බලකොටු බිඳ වැටුණු පසු එළාරගේ පාලනය යටතේ ජීවත් වූ මිනිසුන්ට පලායාමට ඉඩ දීමත්, ඔවුන්ගෙන් පලිනොගැනීමත්, තමන්ට සහාය දක්වන ජනයාගේ සිත් තුළ ජාතිවාදී අදහස් වර්ධනය නොකිරීමත් තරුණ දුටුගැමුණු රජු වෙතින් දැකිය හැකි යහපත් ගුණයකි. එළාර රජුගේ සංගීතඥ දියණිය පවා දුටුගැමුණු වීරයෙකු සේ සැලකීමත්, එළාරගේ පරාජයෙන් පසු ඒ දියණියට අනතුරක් නොවීමත් පිළිබඳ දර්ශන විසින් අපට ප්‍රභාකරන්ගේ දරුවන්ට සිදු වූදේ සිහිපත් වේ. මේ වුකලි මහින්ද රාජපක්ෂ පවා මේ සිනමා කෘතියේ අකමැති වන්නට ඇති අංගයකි.

සිනමා කෘතියේ එළාර නිරූපණය තුළ එල්ටීටීඊය පිළිබඳ වක්‍රොක්ති විචාරයක්ද ඇත. එළාර වෙතින් පෙනෙන ආචාරධාර්මික පදනම ප්‍රභාකරන් වෙතින් දක්නට නොවිණ. ප්‍රභාකරන් තමන්ගේ යුද ශක්තිය සහ සීමාන්තික හිංසනය භාවිත කිරීමෙන් තම මාවත පාදා ගැනීම පිළිබඳ තැබූ ම්ලේච්ඡ වූද අමනෝඥ වූද විශ්වාසය මේ චිත්‍රපටයේ එන එළාර වෙතින් දකින්නට නැත. අධිරංගනය සිය රංග දිවියේ අනන්‍යතාව කරගත් ජැක්සන් ඇන්තනී පවා එළාර චරිතය නිරූපණය කරන්නේ සෑහෙන පරිපාලනයකින් යුතුවය. ඒ පරිපාලනය සඳහා ජයන්ත චන්ද්‍රසිරිට පිස්තෝල ගත් ජනාධිපති ආරක්ෂකයන් පවා යොදන්නට සිද්ධ වන්නට ඇත! ඒ කාලෙ එහෙම අය නොමිලේම ගන්නටත් හැකියාව තිබුණානෙ!

[vsw id=”/aggKC_crQ_o” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

ලේ කුපිත නොකරන යුද්ධ දර්ශන

දුටුගැමුණු -එළාර සටන සිංහල බෞද්ධයාගේ ලේ කුපිත කරවන සේ අතිනාටකීය කර නොතිබිණ. ඒ වුකලි මා අත්දුටු තවත් ආනන්දනීය අපේක්ෂා කඩවීමකි. මේ සිනමා කෘතිය තුළ වන මා මෙතෙක් විස්තර කළ ආචාරධාර්මික බෞද්ධකම නොවී නම් මේ යුද්ධ දර්ශනය කාලමය වශයෙන්ද රූපමය වශයෙන්ද විශාල කරන ලද අතිශයෝක්තියක් වන්නට ඉඩ තිබිණ. එසේ වී නම් අවිචාරවත් සිංහලයාගේ ලේ ජයෝන්මාදයෙන්ද ජාතිවාදයෙන්ද සන්ත්‍රාසගන්වා උමතු කර චිත්‍රපටය නරඹන දෙමළ ජනයාගේ සිත බියෙන් ත්‍රස්ත කර රිදවන්නට තිබිණ. ජයන්ත චන්ද්‍රසිරි හැරුණු විට මහින්ද රාජපක්ෂ යුගයේ හොද්ද බොරකරගත් අනික් ඕනෑම කලාකාරයෙකු ඒ යුද දර්ශනය සිංහල මනසට ලාභ සන්ත්‍රාසයක් ගෙන දෙන සේ ගොඩනගන්නට තිබිණ. එසේම තමාගේ හෙල්ල පහරින් මිය යන එළාරගේ හිස තම උකුලට ගෙන දුටුගැමුණු කරන සංවාදය 2009 යුද්ධයෙන් පසු මහින්ද දැමූ ලාභ ෂෝ එකට වඩා සපුරා වෙනස් විඥානයක් පෙන්වන්නකි. එළාර මිය යන්නේ ඇස් ඇරගෙනය. ඒ ඇස් දුටුගැමුණු විසින් වසා දැමේ. ඇස් ඇර ගෙන මිය ගිය එල්ටීටීඊ නායකයාගේ ඇරුණු ඇස් පසුගිය ඡන්දයේදී විකුණූ රටක මේ සිනමා කෘතියේ දුටුගැමුණු උගන්වන්නේ අපූරු සිනමාත්මක පාඩමකි.

ඒ නිසා මේ සිනමා කෘතිය 2009 වර්ෂයෙන් පසු බිහි වූ ප්‍රධාන ධාරාවේ සිනමා කෘති අතර පැලුණු සිත් සුවපත් කරන්නාවූද සිංහල කේන්ද්‍රීය අතීතකාමයක් වෙනුවට සියලු ජාතීන්ගේ සිත් සුවපත් වූ අනාගතයක් පෙරදකින්නා වූද චිත්‍රපටියකි. ප්‍රධානධාරාවේ කලාවක් නියෝජනය කරන ප්‍රධාන ධාරාවේ කලාකරුවෙකු අතින් මෙවැනි නිර්මාණයක් බිහිවීම අගය කරනු ලැබිය යුතුය. මහින්ද යුගයේ නිර්මාණය වී ජනාධිපති මහින්දගේ සහභාගිත්වයෙන් සහ ආශීර්වාදයෙන් කළඑළි දැක්වීමට සූදානම් වූ මෙම චිත්‍රපටිය බොහෝ අංශවලින් ගත් කල මහින්ද විරෝධී චිත්‍රපටියකි. එය දැනට අප දැකි ඇති මෛත්‍රීගේ විඥානයට ගැලපෙන චිත්‍රපටියකි. එසේ කීම යනු යළිත් වරක් මෛත්‍රීට සෙට් වී සල්ලි හම්බකරන්නට මෙහි රගපාන අයට අවසරදීමක් නොවේ!

අලුත් සංදර්භය

ඇතැම් විට කලා කෘතියක් රසිකයා හමුවට එන සංදර්භයද ඒ කෘතියේ අර්ථයට බෙහෙවින් බලපායි. මේ සිනමා කෘතිය ප්‍රදර්ශනය වන විට මහින්ද රාජපක්ෂ නැවත බලයට පත් වී සිටියේ නම් මේ සිනමා කෘතිය වෙනුවෙන් බිහි වූ තිබෙනු ඇත්තේ අතිශය සිංහල කේන්ද්‍රීය, ජාතිවාදී සංදර්භයකි. මහින්ද, විමල් වීරවංශ, ජැක්සන් යනාදීන් විසින් ඒ චිත්‍රපටය නැරඹීම පිණිස ගොඩ නගනු ඇත්තේ ජයෝන්මාදයට නැවත වරක් හසු වූ සිංහලයෙකි. නැවත වරක් බය කරන ලද දෙමළ ජාතිකයෙකි.

සිනමා කෘතියේ මංගල දර්ශනය වෙනුවෙන් ජාතික රූපවාහිණිය සහ ස්වාධීන රූපවාහිණිය යන දෙකේම එකවර විකාශනය වන සජීවී වැඩසටහනේදී රාජපක්ෂ පවුල දුටු ගැමුණුගේ ලේ නෑයන් බව ජැකා මුහුණේ මේද තට්ටු නටව නටවා කියනු ඇත. දුටුගැමුණුට පසු ලංකාවේ පහළ වූ විශිෂ්ටතම වීරයා මහින්ද බවද ඉන් පසු අනික් වීරයා ගෝඨාභය රාජපක්ෂ මැතිඳා බවද ජැකා තව දුරටත් කියනු ඇත. චන්නගේ කෙල්ලන් නට නටා පැමිණ වර්තමාන දුටුගැමුණුට මල් මාලා දමනු ඇත. උද්දික දුටුගැමුණු ඇඳුමෙන්ම පැමිණ මහින්ද අමතා “මහ රජාණෙනි තොපගේ ස්වර්ණමය දේහයේ දුවන්නේ මගේම රුධිරය” යැයි කියනු ඇත. මේ දැක රාජපක්ෂ පවුලම ආඩම්බර සිනාපාන සැටි අපට බලන්නට සිදු වනු ඇත. මේ විසූක දස්සනය වෙනුවෙන් විශාල බිලක් ගෙවන්නට මහජනයාට සිදුවනු ඇත. මේ රටේ සිංහල-දෙමළ- මුස්ලිම් ජනයා ඒ විසූක දස්සනය සිදුවීමේ ඉඩ ජනවාරි 8 වැනිදා අහුරාලූහ. ඒ නිසා උදා වී ඇත්තේ මේ සිනමා කෘතිය විවේක බුද්ධියෙන්ද මැදහත් සිතින්ද නරඹන්නට අවස්ථාවකි. මේ වූකලි එවැනි විඥානයකින් නැරඹිය යුත්තකි. එහි සිනමා කලාත්මක සීමා ගැන කතා කිරීම නියම සිනමා විචාරකයන්ට භාරය

The story of a humane hero, an unmatched sovereign of the great Sri Lankan nation enriched with the noble philosophy of Buddhism, The King Gamani Abhaya (Maharaja Gemunu) who vanquishes Elara, the sly invader from South India and re-establishes the Signhala Buddhist kingdom in Anuradhapura, Sri Lanka (BE 383 – 407).

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.