දුමින්දට සහනයක්

Duminda Silvaමරණීය දණ්ඩනය නියමව දැනට බන්ධනාගාර ගතකර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට දරුණු ස්නායු ආබාධයක් ඇති බව ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බලා වාර්තාවක් සැපයු වෛද්‍ය කමිටු තීරණයෙන් අනතුරුව ඔහුට සහන රැසක් ලබා දීමට තීරණය කොට ඇත. මේ අනුව ඔහුට වැඩි නිදහසක් ලැබෙනු ඇත.

අධිකරණ නියෝගයකට අනුව කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගෙන් සමන්විතව පත් කළ කමිටුව සිය වාර්තාව මඟින් මේ බව දක්වා තිබේ. මෙම කමිටුවට සමන් වඩනම්බි, දීපාල් අත්තනායක, පද්මා ගුණරත්න,සුනේත්‍රා සේනානායක, සුනීතා වීරකෝන්, සුදත් ගුණසේකර, මහාචාර්ය නවීන් හන්වැල්ල, අජිත් තෙන්නකෝන්, තුෂාර මැටිවලගේ යන වෛද්‍යවරු ඇතුළත්ව සිටිති. ඔවුන් විසින් නිකුත් කළ වෛද්‍ය වාර්තාවට අනුව එම වෛද්‍ය කමිටුවේ පරීක්ෂණවලට දුමින්ද සිල්වාගේ පූර්ණ සහාය ලැබුණු බව ද සඳහන් වේ.

ඔහුගේ මොළයේ ඇටකටු කැබලි හා ලෝහ කැබලි ඇති බව පසුගිය පෙබරවාරි 23 වැනිදා සිදු කළ ස්කෑන් පරීක්ෂණයකින් හෙළි කරගත හැකි වූ බව ද එහි දැක්වේ. එසේ මොළයේ කැබලි ඇති ස්ථානයන්හි දකුණුපස ඇති ස්ථානයේ කිඳා බැසීමක් ඇති බවක් දක්වා ඇති වෛද්‍යවරු ඔහුගේ මොළයේ ඉදිමීමක් ඇතැයි ද කියා සිටිති. එසේම දුමින්ද සිල්වා මහතා පරීක්ෂා කිරීමේ දී හිස් කබල ආශ්‍රිතව සිදු කරන ලද විශාල සැත්කමක සලකුණු ද දක්නට ලැබුණු බව එම වෛද්‍ය වාර්තාවේ සඳහන් වේ.

මීට අමතරව ඔහුට අපස්මාරය රෝගය ඇති වීම වැළැක්වීමට නම් දැනට ලබා දෙන ඖෂධ තවදුරටත් ගත යුතු බවත්, එය වර්ධනය වීමේ තත්ත්වයක් ඇති වුවහොත් සය මසකට වරක් ස්නායු වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර පරීක්ෂාවකට ලක් කළ යුතු බවත් එම වාර්තාවේ දැක්වේ. එසේම අවශ්‍ය නම් රාත්‍රියේ දී හුස්ම ගැනීමේ යන්ත්‍රය භාවිත කරන ලෙස ද උපදෙස් දී ඇත.

විත්තිකරුවා වැනි මානසික ආතතියට ලක් වූවෙකු වෙතින් ශරීරයේ පණ නැති ගතිය, හිසරදය, බොඳ වී පෙනීම හා කරකැවිල්ල යන ලක්ෂණ දක්නට ලැබෙන බවත්, එම මානසික ආතතියේ දරුණු බව අනුව එම රෝග ලක්ෂණ ද අඩු වැඩි විය හැකි බවත් සඳහන් කරන එම වාර්තාව, මෙය මානසික රෝගයක් නොව මානසික ප්‍රතික්‍රියාවක් බව සඳහන් කර සිටියි. මොළයට හානි සිදු වූ පුද්ගලයකු තුළ මෙම ප්‍රතික්‍රියාව වැඩි වශයෙන් ඇති විය හැකි බව ද එහි වැඩිදුරටත් සඳහන් කර ඇත. බන්ධනාගාරගතව සිටි දුමින්ද සිල්වා මහතා මේ දිනවල කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.