දෙමළ ජනතාව තාමත් උපේක්ෂාවෙන්-හිටපු BBC වාර්තාකාරිණි ෆ්‍රාන්සස් හැරිසන්

සියාව පිළිබඳ අත් දැකීම් බහුල මාධ්‍යවේදිනියක් වශයෙන් පිළි ගැනීමට පාත්‍රව සිටින ෆ්‍රාන්සස් හැරිසන් මලයාසියාවේත්, පාකිස්ථානයේත්, බංග්ලාදේශයේ මෙන්ම ඉරානයේත් ජීවත්වෙමින් වාර්තාකරණයේ යෙදුණු මාධ්‍ය දිවිය අරඹන  ලද්දේ 1993දී ය. බීබීසී ලෝක සේවයේ වාර්තාකාරිය ලෙස 2000 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණෙන ඇය පුරා සිව් වසරක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ ජන දිවිය වෙළාගත් අනවරත ව්‍යසනයන්ද, නොතිත් සංතාපයන්ද, සාමූහික ප්‍රහර්ශයන්ද ගැන නිම නොවන කතාන්දර ලෝකයට වාර්තා කළාය.

සිය කාර්යය නිමාකර පෙරළා බ්‍රිතාන්‍යයට ගියද, 2009 යුද්ධයේ බිහිසුණු අවසාන දවස් පිළිබඳ අඛණ්ඩ අවධානයෙන් පසු වූ ෆ්‍රාන්සස් ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයන් සහ සාක්‍ෂි සම්පිණ්ඩනය කොට සිය පළමු කෘතිය වූ ‘Still Counting the Dead: Survivors of Sri Lanka’s Hidden War ග්‍රන්ථය 2012 දී පළ කළාය. මේ වසරේදී සිංහල භාෂාවෙන්ද පළ කීරිමට නියමිත එම කෘතිය සඳහා ඇය විසින් කරන ලද විමර්ශනයන් පශ්චාත් යුද කාලීන ලංකාවේ මානව හිමිකම් තත්ත්වය කෙරෙහි ඇයගේ අඛණ්ඩ උනන්දුව අවුළුවාලීමට ඉවහල් විය.

 

 

frances

 

 

 

යුද්ධය අවසාන වී සය වසරකින් පසුත් ඇසෙන ඝෝර සැහැසිකම් පිළිබඳ ගවේෂණය කිරීමේ වෙහෙසකර කටයුත්තෙන් විරාමයක් ගැනීමේ අවශ්‍යතාවයෙන් ෆ්‍රාන්සස් ඇතැම් විටෙක පෙළෙයි. “නමුත් මේ බිහිසුණු අත්දැකීම් හරහා ගොස් ජීවිත ගළවාගෙන ආ සිය ගණනක් මිනිස්සු හෙළි කළ කතාන්දර ගැන මතකය හැම වෙලාවෙම මා තුළ ජීවමාන දෙයක්” ඇය කියයි.

කේම්බ්‍රිජ් සරසවියේත්, ලන්ඩන් විශ්ව විද්‍යාලයට අනුබද්ධ ප්‍රාචීන සහ අප්‍රිකානු අධ්‍යයනයන් පිළිබඳ පාසලේත්, ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලයේත් උගත් ෆ්‍රාන්සස් 2011 වසරේ දී කෙටි කලක් ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනයේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කළාය. මුල්ලිවයික්කාල් හි සිදු වූ අවසන් මිනිස් සංහාරයෙන් සය වසක් ගෙවෙන මේ මැයි මාසයේදී ලංකාව පිළිබඳ බාහිර නිරීක්‍ෂකයෙකුගේ ඇසින් දකින්නට අපි ඇය හා කතා කළෙමු.

සේයා රූ: අනුරුද්ධ ලොකුහපුආරච්චි

 

 

 


නිල වශයෙන් සළකතොත්, ඔබ ශ්‍රී ලංකාවේ බීබීසී වාර්තාකාරිය වශයෙන් ඉටු කළ භූමිකාව 2004 වසරේදී නිමාවට පත් වුණ පසු ඉරානයේත්, ඊට පෙර රටවල් කිහිපයකමත් නේවාසිකව වාර්තාකරණයේ යෙදී තිබෙනවා. නමුත් ලංකාව සමග තියෙන සම්බන්ධය තව දුරටත් පවත්වාගෙන යන්න බලපාන හේතුව මොකක්ද?

ෆ්‍රාන්සස් හැරිසන්: ඒක සම්පූර්ණයෙන්ම අහඹු සිදුවීම් ගණනාවක් මත තීරණය වුණු දෙයක්. වන්නියේ ජීවත් වූ ජනයා සමගත්, ලංකාවේදී දැන හඳුනාගත් නමුත් පසුව පිටුවහලේ  ජීවත්වන්නට සිදු වූ මාධ්‍ය වෘත්තියේ නියැලුණු සගයන් සමගත් මගේ සම්බන්ධතා පවත්වාගෙන යාමේ හේතුවෙන් ලංකාවේ යුද්ධය ගැන පොතක් ලියන්නට මම පෙළඹෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට අත් අඩංගුවේදී වද බන්ධන පැමිණවීම් ගැන වාර්තා චිත්‍රපටියක් කරන්නට තරම් ප්‍රමාණවත් තවත් විස්තර මට ලැබෙනවා. මගේ අඛණ්ඩ සම්බන්ධය මේ දක්වා තීරණය වුණේ මේ වැනි පූර්ව සැළැස්මක් නැති අහම්භ සිද්ධි මාලාවකිනුයි. තවත් දැනගත යුතු දෙයක් නැහැයි කියලා මම හිතන හැම වෙලාවකම, වඩා දරුණු සහ නරක දේවල් ගැන මට දැනගන්නට ලැබෙනවා. මම ඇත්තටම කැමතියි දැන් මේ කරමින් ඉන්න වැඩේ නවත්වා ඒ සඳහා මැදිහත්වෙන වෙනත් කෙනෙකුට ඒ කටයුත්ත කරගෙන යන්න ඉඩ දෙන්න. මම කරමින් ඉන්න කටයුතු අභිරුචියෙන් විඳින්න පුළුවන් ආස්වාදනීය දෙයක් නෙවෙයි, වෙහෙසකර සහ ගොරතර දෙයක්.

යුද්ධයෙන් දිවි ගළවාගත්තවුන්ගේ සාක්‍ෂි සම්පිණ්ඩනය කරමින් කෘතියක් ලියූ ඔබ ඉන් අනතුරුව යුද්ධයේ අවසාන අධියරේදී සිදු වූ දේ විමර්ශනය කිරීමටත්, අනාවරණය කිරීමටත් අඛණ්ඩව දායක වුණා. කුප්‍රකට ‘සුදු කොඩි සිදුවීම’ හෙවත් සුදු කොඩි රැගෙන යටත් වීමට ආ අයට වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ සිදුවීමත් මීට ඇතුළත්. ලංකාවේ උතුරේ මෙන්ම දකුණේ සිටි අය සමගත්, රටින් පිටත සිට ක්‍රියා කළ බාහිර නිරීක්‍ෂකයන් සමගත් යුද්ධයේ අවසාන දවස් දක්වාම නිරන්තර සබඳතා පැවැත් වූ අයෙක් වශයෙන් අවසාන දවස් ගැන ඔබ දන්නා දෙය පැහැදිලි කරන්න පුළුවන්ද?

ෆ්‍රාන්සස්: අවසාන දවස් පිළිබඳ විවිධ පැතිවලින් ලබාගත් වැදගත් සාක්‍ෂි මම ලියපු කෘතියේ ඇතුළත් කරන්නට මට පුළුවන් වුණා. නමුත් ‘සුද කොඩි සිදුවීම’ ගැන ඔබ විමසූ නිසාම ඒ ගැනත් මා දන්නා දෙය කියන්න මම කැමතියි. එල්ටීටීඊ සංවිධානයේ දේශපාලන අංශයේ නායකයන්ගේ යටත් වීම ගැන මේ වෙනකොට විශ්වාසනීය සහ බහුවිධ සාක්‍ෂි ලැබී තිබෙනවා. මම දන්නා තරමින් ඔවුන් යටත් වීම සඳහා පොළඹවාගෙන අනතුරුව ඉතාම ඉක්මණින්ම ඝාතනය කර තිබෙනවා. ඔවුන් යටත් වනවා ඇසින් දුටු  බොහෝ සාක්‍ෂිකරුවන් මේ වනවිට ආරක්‍ෂිතව රටින් පලා යාමට සමත්ව ඇති නිසා මේ තොරතුරු වඩාත් පිළිගත හැකි සාක්‍ෂි සහිතව මතුව ඇවිත් තියෙනවා.

නමුත් මේ කාරණාව දේශපාලන අංශ නායකයන්ට විතරක් අදාළ දෙයක් නෙවෙයි, එල්ටීටීඊ සංවිධානයේ පරිපාලන සහ යුදමය අංශවලට සම්බන්ධ සියයකට වැඩි පිරිසකුත් 2009 මැයි 18 වැනිදා මෙසේ යටත් වූ අයට ඇතුළත්. මින් සැළකිය යුතු පිරිසක් ෆ්‍රැන්සිස් ජොස්ප් පියතුමාගේ මාර්ගයෙන් හමුදාවට යටත් වූ අයයි. මේ සියලු දෙනා, ෆ්‍රැන්සිස් පියතුමා සමගම, කිසිම හෝඩුවාවක් ඉතිරි නොකොට අතුරුදහන් වූ බවක් තමයි පෙනෙන්න තියෙන්නේ. නීත්‍යානුකූල ආණ්ඩුවකට යටත් වූ පිරිසක් විනාශ කොට දමන්නට හැකියාවක් නැහැ. ඔවුන්ගේ දේශපාලනය කුමක් වුණත්, ඒ හැම කෙනෙක්ම මනුෂ්‍යයන්.

අලුතින් පත් වූ ආණ්ඩුව අතුරුදහන් වූ රාජ්‍ය වත්කම් ගැන වගේම මුදල්, යාන වාහන, මන්දිර ගැන විශාල වශයෙන් පරීක්‍ෂණ ආරම්භ කොට තිබෙනවා. නමුත් අතුරුදහන් වූ මනුෂ්‍යයන් ගැන ගන්නා ක්‍රියාමාර්ගය මොකක්ද? මගේ ප්‍රශ්නය මේකයි: මේ දෙකෙන්, රටක ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමේ සාර්ථකත්වය මැන බැලිය හැකි වඩාත් ශිෂ්ට හා පිළිගත් නිර්ණායකය මොකක්ද? 1980 ගණන්වල ඔබේ රටේ දකුණේ ඇති වූ සිදුවීම් පිළිබඳ අත්දැකීම් ආශ්‍රයෙන් මම මතු කරන මේ ප්‍රශ්නයට පිළිතුරු සපයන්න උත්සාහ කර බලන්න. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වැදගත්ම පියවරයන් වශයෙන් ඔබ ඒ වකවානුවේදී ප්‍රමුඛතාව දුන්නේ මේ දෙකෙන් කුමන කාරණාවටද?

යටත් වූ පිරිස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වගකීම මීට පෙර පැවති ආණ්ඩුව පැහැදිලිවම ප්‍රතික්‍ෂේප කළ කාරණාවක්. ඇතැම් බටහිර නිරීක්‍ෂකයන් පවා මේ සුදු කොඩි සිදුවීම අතිශයෝක්තියක් වශයෙන් හැඳින්වූ අවස්ථා තියෙනවා. උදාහරණයක් වශයෙන් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක පරිවාරකයා වශයෙන් කලක් ක්‍රියාකළ ලුතිනන් කර්නල්  ලෝරන්ස් ස්මිත්, 2011 වසරේ කොළඹ පැවති ආරක්‍ෂක සමුළුවක දී කියා සිටියේ සුදු කොඩි සිදුවීම වැනි දෙයක් ඕනෑම යුද්ධයකදී ඇතිවන නොපැහැදිලි සහ ව්‍යාකූල තත්ත්වය (fog of war) යටතේ ඒ තරම් විරල සිදුවීමක් නොවන බවයි. ඒ ගැන ඔබේ අදහස?

ෆ්‍රාන්සස්: ඒ කතාව මම දකින්නේ අර්ථ ශූන්‍ය ප්‍රලාපයක් විදියටයි. වඩ්ඩුවාකල් පාලම උඩ සටන් සහමුලින්ම නැවතිලා, එල්ටීටීඊ සංවිධානයේ නායකයන් පැමිණෙන බව සියළු පාර්ශ්වයන් දැනුවත්ව හිටපු ඒ උදේ වරුව වෙනකොට,  යුද්ධය නිසා හටගත් නොපැහැදිලි සහ ව්‍යාකූල තත්ත්වයක් තියෙන්නේ කොහොමද? අදාළ පණිවුඩය හුවමාරු වූ ආකාරය ගැන සියළු විස්තර සාක්‍ෂි සහිතව දැන් වනවිට අනාවරණය තිබෙනවා. වඩ්ඩුවාකල් පාලමත්, එයින් දකුණේ වූ භූමි ප්‍රදේශයත් ඒ වෙනකොට ඉතාම පැහැදිලිව රජයේ බල ප්‍රදේශයක් වශයෙන් ස්ථාවර වී අවසන්. ඒ සිදුවීම කලින් සැළසුම් කළ ආකාරය ගැනත්, එදා උදය වරුවේ සිදුවීම ගැනත් දැන් වනවිට දැනුවත් පිරිස් අතර කිසිම දෙගිඩියාවක්, සැකයක් නැහැ.

 

 

 

 

2009 මැයි මාසයෙන් පසු, යුද්ධයෙන් දිවි ගළවාගත් දෙමළ වින්දිතයන් සම්බන්ධයෙන් ඔබ දිගින් දිගටම විමර්ශනයන්වල නියැලුණු බව කවුරුත් දන්නා කරුණක්. ඔබේ අත්දැකීම් ඇසුරෙන් සළකා බැලූ විට, අවි ගැටුම් අවසන්ව හය වසරකට පසු දිවි ගළවාගත්තවුන්ගේ තත්ත්වය ගැන ඔබට කියන්නට ඇත්තේ මොනවාද?

ෆ්‍රාන්සස්: ඇත්තෙන්ම හරියටම අද මට ස්තූති කාඩ් පතක් ලැබුණා වද බන්ධනයන්ට ලක් වුණු සිංහල කෙනෙක්ගෙන්, ඔහුගේ දරුවන්ට උපකාර කිරීම සම්බන්ධයෙන් කෘතවේදීත්වය පළ කරලා. සිංහල සහ මුස්ලිම් වින්දිතයන් ඉක්මණින් හඳුනාගත හැකි නිසාත්, ඒ හේතුවෙන් ඒ අයගේ පවුල්වල අයට පළිගැනීම්වලට මුහුණ දීමට සිදුවෙන්න ඉඩ තියෙන නිසාත් ඔවුන්ගේ කතාවලට වැඩි ප්‍රසිද්ධියක් ලැබෙන්නේ නැහැ. නමුත් එවැනි වින්දිතයන් සිටින බව දැන සිටීම වැදගත්. මේ ආකාරයෙන් විදේශවලට පලා එන්නට සිදු වූ එවැනි අය දැන හෝ නොදැන එල්ටීටීඊ සංවිධානයට ආධාර කිරීමට දායක වූ අයයි. සිංහල සහ මුස්ලිම් අයගේ විඳවීම වැඩි වෙන්නේ, ඒ අයට ආධාර කළ හැකි ප්‍රජා සංවිධාන ජාලයක් විදේශවල නැති නිසායි. ඒ වගේම, තමන්ට මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්නට සිදු වේ යැයි ඒ බොහොම දෙනෙක් කල්පනා කොට නොතිබීමත් එක් හේතුවක්.

ඒ කරුණ අමතක කරලා කතා කරනවා නම් මම දකින්නේ යුද්ධයෙන් වගේම වද බන්ධනවලින් ගැළවුණු අය කිසියම් සැනසුමක්, සාමයක් ලබා ගන්න තවමත් අරගල කරන බවයි. මම බොහෝ විට දකින්නේ අපේක්‍ෂා විරහිතභාවයේත්, හුදකලාවේත්, දිවි තොර ගැනීමේ උවමනාවේත්,  චිත්ත පීඩාවේත් මායිමේ ජීවත්වන මිනිස්සුයි.

යුද්ධයෙන් දිවි ගළවාගත්තවුන්ට තියෙන එක්තරා ගැටළුවක් තමයි, විශාල පිරිසක් මිය ගිය පසු ජීවත්වීමට ලැබීමෙන් ඇතිවන වරදකාරීත්වය. සාමාන්‍යයෙන් එවැනි මානසික අර්බුදවලින් ගොඩ එන්නට සාම්ප්‍රදායිකව උපකාර කළ හැකි තමන්ගේ පවුල්වලිනුත් ඈත්ව ජීවත්වන්නට සිදුවීම ඇත්තෙන්ම ඉතාම අසීරු තත්ත්වයක්.

වද බන්ධනවලින් ගැළවුණ අයගෙන් සමහර දෙනෙක් තමන්ගේ යහළුවන්ගේ ගෙවල්වල ආලින්දවල නිදාගන්නවා, තමන්ගේ දුර ඥාතීන්ගේ තදබද නිවෙස්වල තාවකාලිකව ලැගුම් ගන්න ලැබුණු ඇරයුමට වැඩි කාලයක් එහි රැඳී ඉන්නවා, අන්තිමේදී රටින් බැහැර ආරක්‍ෂිත තැනකට සේන්දු වුණාම සැළකිය යුතු පිරිසක් දිවි හානි කරගන්න උත්සාහ කරනවා. ඒ අවසානයේ කියපු තත්ත්වයට පත් වෙන්නේ බොහෝ දුරට ඔවුන්ගේ පවුලේ සාමාජිකයෙකු අත් අඩංගුවට හෝ අවදානමට පත් වූ බව දැන ගත්තාමයි. තමන්ගේ පවුල්වල පිරිස් අවදානමට හෙළීම ගැන තමන්ට වරද පටවා ගන්නා ඒ අයට ඒ වරදකාරීකමත් එක්ක ජීවත්වෙන්න  අමාරු වෙනවා. ඇතැම්විට මට එහෙම ඉච්ඡා භංගත්වයට පත් වුණු අයගෙන් හිටි හැටියේ රෑ මැද එස්එම්එස් පණිවුඩ ලැබෙනවා. ඔවුන් අසනීප වුණාම ඔවුන්ට නිදාගන්න අපහසුව වැඩි වෙන්නේ ඔවුන් දිගින් දිගටම දකින භයානක සිහින නිසායි. තමන් සන්සුන් කරන්නත්, තමන්ව විශ්වාස කරන්නත්, තමන්ට අනාගතයක් තියෙනව බවට තමන් තුළම බලාපොරොත්තුවක් ඇති කරන්නත් ඔවුන්ට බාහිර කෙනෙක්ගේ උපකාරය අවශ්‍යයි.

frances_harrison_crop_1_jdsමම මෙතැනදී කිව්වේ අපේක්‍ෂා භංගත්වයට පත් වූ අය ගැනයි. නමුත් ලිංගික අපහරණයට හෝ වද බන්ධනයන්ට පාත්‍ර වී දිවි ගැළවුණු බොහෝ දෙනෙක් හැම බාධකයක්ම මැඩගෙන තමන්ගේ ජීවිත ගොඩ නඟාගෙන සිටින බවත් මම දන්නවා. එහෙම කරන්න අසාමාන්‍ය ශක්තියක් අවශ්‍යයි. ඔවුන් කෙරෙහි විශාල ගෞරවයක් මට තියෙන්නේ ඒ නිසායි. ඔවුන්ට උපකාර කරන යහපත් මිනිස්සු බොහෝ දෙනෙක් ඉන්නවා. ලිංගික හිංසනයට ලක් වුණු ස්ත්‍රීන් සම්බන්ධයෙන් තියෙන සාම්ප්‍රදායික සමාජ අපවාදයන් නොතකා ඔවුන් හා විවාහ වී, ආදරයෙන් රැක බලාගෙන, දරු මල්ලන් හැදූ දෙමළ පිරිමින් ගැන මම දන්නවා. ඒ වගේම, සම්පූර්ණයෙන්ම ආගන්තුක අයවලුන් වෙනුවෙන් උපකාර කරන්නට ඉදිරිපත් වන ඩයස්පෝරාවේ සාමාජිකයන් අනන්ත පිරිස් ඉන්නවා. මේ කියූ ආකාරයේ අය ඇත්තටම මම දකින්නේ දේව දූතයන් හැටියටයි.

වද හිංසාවන්ට පාත්‍ර වූ දෙමළ වින්දිතයන් ගැන ඔබ සිදුකළ විමර්ශනයන් මගින් කළ අනාවරණයන් ඇත්තෙන්ම ඕනෑම කෙනෙක් කම්පනයට පත් කරන සුළුයි. නමුත් ඇතැම් පිරිස් මේ තොරතුරු සහමුලින් අසත්‍ය බවටත්, ඒවා ප්‍රචාරකවාදී ප්‍රබන්ධ බවත් කියන අවස්ථා එමටයි. ඒ සම්බන්ධයෙන් ඔබට තියෙන පිළිතුර මොකක්ද?

ෆ්‍රාන්සස්: මම  හෝ වෙනත් ස්වාධීන, විශ්වාස කටයුතු ඕනෑම කෙනෙක්, ඇයි එහෙම කළ යුත්තේ? ලංකාවට විරුද්ධ ප්‍රචාරක කටයුතුවලට අපේ කාලය නාස්ති කරන්න අපිට අවශ්‍ය ඇයි?පෞද්ගලිකව කියනවා නම්, මට ඊට වඩා යෙදෙන්න ඕනෑතරම් වැදගත් කටයුතු තිබෙනවා. මාධ්‍යකාරියක් විදියට මට මගේ වෘත්තීය අවංකභාවය වැදගත්. දශක කිහිපයක් තිස්සේ හොඳින් ස්ථාපිත හා ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන මාධ්‍යකාරියක් විදියට මට මොකක්ද තියෙන අවශ්‍යතාවය මගේ කාලයයි, මුදලුයි වැය කරගෙන මේ කටයුතුවල යෙදෙන්න? මේ චෝදනා කරන අය ප්‍රදර්ශනය කරන්නේ ලෝකය ගැන තමන්ට තියෙන අඩු සහ පටු අවබෝධයයි.

ලිංගික අපහරණයන්ට සහ වද හිංසාවන්ට පාත්‍ර වූ අය දේශපාලන රැකවරණ ලබා ගන්න එහෙම කියන බව සමහරු ප්‍රකාශ කරන බව මම දන්නවා. නමුත් දේශපාලන රැකවරණ අයැදුම් කරමින් පශ්චාත් යුද කාලීන ලංකාවෙන් පලා එන දහස් සංඛ්‍යාත මිනිසුන් සහ ගැහැණුන් ප්‍රමාණවත් සහ විශ්වාසනීය සාක්‍ෂි ඉදිරිපත් නොකරනවා නම් ඔවුන්ට රැකවරණය සපයන්න යුරෝපයේ ඉතාම දැඩි නීති යටතේ ක්‍රියාත්මක වන සංකමණිකයන් පිළිබඳ බලාධිකාරීන් කිසිසේත්ම කටයුතු කරන්නේ නැහැ.

මට එල්ල කෙරෙන චෝදනා ගැන නම් මට කියන්නේ තියෙන්නේ එක දෙයයි: ඔබ අහලා නැතිද අමිහිරි ඇත්තට ඇහුම් කන් දෙනවාට වඩා පණිවුඩකරුවාට වෙඩි තියලා දාන එක පහසුයි කියන කතාව?

ලංකාවේ මෑතකාලීන ආණ්ඩු වෙනසත් සමග, ලංකාව සම්බන්ධයෙන් මෙතෙක් තිබුණු ජාත්‍යන්තර අවධානය කිසියම් දුරකට අඩු වෙමින් තියෙන බව පෙනෙන්න තියෙනවා. නමුත් ඔබට ලංකාව ගැන තියෙන අවබෝධය සහ අත්දැකීම් ඇසුරෙන් කල්පනා කර බැලුවාම, මේ කියන ආකාරයේ සැබෑ වෙනසකට තියෙන ඉඩකඩ කොයිතරම් යථාර්ථවාදී ද?

ෆ්‍රාන්සස්: අයුක්තීන්ට පාත්‍ර වුණු මහ ජනතාවට අවශ්‍ය ඔවුන්ගේ ගැටළුවලට පිළිතුරු සහ යුක්තියයි. මේ සම්බන්ධයෙන් ඒ තරම් සාධනීය උත්තරයක් නම් තවමත් මට ඇහෙන්නේ නැහැ. ඒ වෙනුවට, ආණ්ඩුවේ ඇතැම් පුද්ගලයන් කරන්නේ 2009 සිදුවීම්වල අතිමහත් සාහසික භයංකාරත්වය තව දුරටත් ප්‍රතික්‍ෂේප කරන එකයි. ඒ වගේ පිළිවෙතකින් වෙන්නේ තුවාලය තව දුරටත් පැසවන්න ඉඩ හැරීම විතරයි.

මේ ගතවුණු සතියේත්, මුල්ලිවයික්කාල්වලදී මිනිස්සුන්ට බයක් නැතුව, නිදහසේ තමන්ගේ මළවුන් වෙනුවෙන් ශෝක වෙන්න ඉඩ ලැබුණේ නැහැ. නමුත් ඒ වෙනුවට තමන්ගේ මළවුන් සැමරීම සඳහා උත්කර්ෂවත් ආචාර පෙළපාලි පවත්වන්න හමුදාවන්ට අවකාශ තියෙනවා.

දිවි ගළවාගෙන රටින් පලාගිය අයගේ පවුල් සාමාජිකයන් තවමත් හිංසා පීඩාවන්ට පාත්‍ර කෙරෙනවා. එහෙම තත්ත්වයන් නොවෙනස්ව පවත්වාගෙන යන අතරතුර වගඋත්තරදායීත්වය ගැන දේශීයව අනුගමනය කරන පිළිවෙත් සම්බන්ධයෙන් ඔවුන් විශ්වාසය තියෙන්නේ කොහොමද?

ලංකාවේ ජීවත් වෙමින්, වෘත්තීය කටයුතුවල යෙදුණු කෙනෙක් හැටියටත්, සිංහල – දෙමළ සහ මුස්ලිම් යන සියළු ප්‍රජාවන්ට අයත් මිතුරන් තවමත් ළඟින් ඇසුරු කරන කෙනෙක් හැටියටත් ශ්‍රී ලංකාවේ අනාගතය ඔබ දකින්නේ කොහොමද?

ෆ්‍රාන්සස්: ලංකාව විශාල ප්‍රචණ්ඩත්වයකට ගොදුරු වූ රටක්. දැන් එළඹ තියෙන්නේ ඒ සිදුවීම්වලට පැකිලීමකින් තොරව මුහුණ දී සිදු වූ දේ ගැන විවෘතව පිළි ගනිමින්, ඊට වග උත්තරකාර පාර්ශ්වයන්ට නීති මගින් කටයුතු කිරීම හරහා ඉදිරියට යාමයි. ඒ සඳහා මේ සන්ධිස්ථානයේදී අසාමාන්‍ය ඉදිරි දර්ශනයක් සහ නායකත්වයක් අවශ්‍යයි. සත්‍යය පදනම් කොට නොගත් ප්‍රතිසන්ධාන වෑයම් කියන්නේ වින්දිතයන්ට  කරන අවමානයක්.

මට හමු  වූ දිවි ගළවාගත් ඇතැම් දෙමළ ජනයා ඒ තරම් සන්සුන්ව ඉන්නේ කොහොමද කියලා මට ඇත්තටම වැටහෙන්නේ නැහැ. ඔවුන් කිසිවිටක පළිගැනීම් ගැන කතා කරන්නේ නැහැ. එසේ කළ යුතු යැයි මම යෝජනා කරනවා නෙවෙයි, නමුත් ඔවුන් අත්විඳ තියෙන බිහිසුණු ඉරණම්වලට ඇහුම් කන් දුන්නාම මට හිතාගන්න බැහැ ඔවුන් එවැනි උපේක්‍ෂාවක් ඇති කරගත්තේ කොහොමද කියලා.

උදාහරණයක් විදියට දිගු කාලයක් එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයෙක්ව සිටීම නිසා යුද්ධයෙන් පසු අත් අඩංගුවට ගෙන දරුණු වද හිංසාවන්ට පාත්‍ර වූ අයෙක් මට පසුගිය සතියේ මුණ ගැහුණා. තමන් අත් විඳි ඉරණම ගැන මට දීර්ඝව පැහැදිලි කිරීමෙන් පස්සේ, සියළුම හමුදා සෙබළුන් අමානුෂික නැති බවත්, ඔහු හමුවුණු ඇතැම් දෙනෙක් මානුෂීයව තමන්ට සැළකූ බවත් ඔහු කියා සිටියා. ඔහු විඳපු වචනයෙන් කිව නොහැකි තරම් වන වධ හිංසා ගැන පැය කිහිපයක් තිස්සේ කළ කතාවට සවිස්තරාත්මකව ඇහුම් කන් දීමෙන් මානසික වෙහෙසට පත්ව සිටි මට ඔහුගේ උපේක්‍ෂා සහගත නිගමනය විස්මයක් ඇති කළා. ඒකට හේතුව, ඒ සියළු වධ හිංසාවන්වලින් පසුවත් මනුෂ්‍යත්වය ගැන ඇති විශ්වාසය පවත්වාගෙන යන්න ඔහුට තිබුණ හැකියාවයි. ඒ මගින් ඇත්තටම ඔහු කළේ තමන් තුළ වූ මනුෂ්‍යත්වය පවත්වාගෙන යාමයි. යුද්ධය නිමා වුණාට පස්සෙත්, බිහිසුණු වද හිංසා අත් වින්ද ඔහුට හොඳ සොල්දාදුවන් සහ නරක සොල්දාදුවන්  අතර වෙනස දකින්න හැකිව තිබුණා. අසීරුවෙන් පැහැදිලි කළ වද හිංසා ගැන විස්තරයෙන් පස්සේ, අවශ්‍ය නම් සියළුම සිංහල සෙබලුන් දුර්ජනයන් යැයි කීම ඔහුට පහසුවෙන්ම කළ හැකිව තිබූ දෙයක්. නමුත් ඒ වෙනුවට හොඳ සහ නරක අතර වෙනස ගැන අවබෝධයකින් කතා කිරීමට ඔහුට පුළුවන්කමක් තිබුණා.

ලංකාවේ අනාගතය ගැන මට බලාපොරොත්තු ඇති කරන්නේ මේ උපේක්‍ෂාවයි.☐

© JDS

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.