නික්ම ගිය පේරාදෙණි දාර්ශනික අරටුව

යේ අම්මා කතා කළාය.

සෝමවීර අයියා බේතකට පිච්ච කැකුළු සොයා බොහෝ තැන ගොස්, අන්තිමට අපේ ගෙදර පාර අයිනේ ඇති පිච්ච පඳුර ගැන ආරංචි වී, පිච්ච කැකුළුත් කඩාගෙන මගේ ගැන විස්තරත් අසා ගිය බව ඇය කීවාය. සෝමවීර අයියා අනුරාධ ගේ ලොකු බාප්පා වුවත් ඔහු හා මගේ ඇති දේශපාලන සබඳතාව අනුව ඔහු මට 1988 සිටම සෝමවීර අයියා විය. ඉතිහාසය, දේශපාලනය, සාහිත්‍යය ගැන ඔහු සතු මතකය හා විශ්ලේෂණය නිමල් අයියා සතුව තිබූ දැනුම තරම්ම අනම්‍ය පෘථුල එකකි.

අනුරාධ ගේ පොඩි බාප්පා වෙනස් පුද්ගලයෙකි, ඔහු මෘදු, සෝමවීර අයියා තරම් තියුණු වචන භාවිතා නොකරන, වෙනස් ආකාරයක සියුම් මිනිසෙකි. නමින් ජයසේකර වූ නිසා ඔහු සේකර අංකල් විය.

සමහර දිනෙක හවස සිට රාත්‍රිය තෙක්, දිප්පිටිය ටවුමේ මංගලසෝම වෙදමහතා ගේ නිවෙසත්, සේකර අංකල් ගේ නිවෙසත් වෙන් කළ අරණායක පාර මැද ඉඳගෙන ඔහු හා මා අතර ඇති වූ කතා හා වාද රාශියකි. ඔහු ඒවාට එළඹුණේ ‘සයිමන්’ කියවීම නිසා සාහිත්‍ය වේගයකට එළඹුනු ගැටයෙකුට පාර පෙන්නන ගුරුවරයෙකු ලෙසිනි. වෘත්තියෙන් ගුරුවරයෙකු වූ සේකර අංකල් සිය ගැටවර වියේ ‘කිං සච්ච ගවේසී’ වූ ආකාරය ගැන විවිධ කතා කීවා මතු නොව තමා සතුව තිබූ දුර්වර්ණ රෝනියෝ අත් පිටපත් මට දී ඒවා කියවන්නැයි දිරිමත් කළේය.

‘මුක්තිදායක කුවන් යින්’

මේ සංවාද අවසන් වුනේ 1994-95 කාලයේ දිනෙක පේරාදෙණියේ මහාචාර්යවරයෙක් ගේ නිවසේ තිබූ සංගීත සැසියකට ඔහු මා කැඳවා ගෙන යාමෙනි. මහාචාර්ය ඩබ්. එම්. ගුණතිලක ගේ නිවසේ සෙනසුරාදා දින වූ එම සැසියට නමක් වූ නමුත් එය දැන් මට මතක නැත. ගම්පොළ පාරේ අක්බාර් ශාලාවට ඔබ්බෙන් වූ කුඩා දෙමහල් නිල නිවසේ පෙනුම අපූරු එකකි. කවදාක හෝ එබඳු රූප එල්ලෙන නිවසක් තැනීමේ ආසාව ඇති වූයේ එදා ය. සාලාවේ බිත්තියේ එල්ලා තිබූ සුන්දර වර්ණවත් කුඅන්-යින් රූපය කෙදිනක හෝ ‘පෝතලක මුක්තිදායක කුවන් යින්’ රූපයක් ද එල්ලා තැබීමේ ආසාව ඇති කළේය.

සේකර අංකල් දුන් අත් පිටපත්වල තවත් මහාචාර්ය වරයෙකු ගේ නම විය, ඔහු ‘ගුණපාල ධර්මසිරි’ විය.

ලෝකයේ අකාරුණික බව නිසා සේකර අංකල් අභාවිතව වසර ගණනකි. ගුණපාල ධර්මසිරි මහතා අද අභාවප්‍රාප්ත වූ බව නංගී කෙටි පණිවිඩය ලියා එව්වාය. ඒ, පැතුම් පුංචිහේවා හා ධර්මසිරි සූරීන් හමු වීමට පිළිවෙලක් යොදා ගැනීමට කතා වී හරියටම සතියක් ගත වූ තැන දී ය. ඒ ගුණපාල ධර්මසිරි සූරීන් මහායානය ගැන අවබෝධයක් ලබා ගැනීමට හමුවිය යුතු ම යැයි දැනුනු නිසා ය.

මහායානය

මහායානය ලංකාවේ විවිධ අවස්ථාවල දී පැන නැගී වියැකී ගිය ධාරාවකි. ප්‍රඥාවේද ශ්‍රද්ධාවේද වෙනස්ම සංකලනයක් වන මහායානය, සූත්‍ර හා අභිධර්මයන් කෙරෙහි අනන්‍ය විශිෂ්ට වූ පිවිසුමක් වෙයි. කලින්ද ලියා ඇති පරිදි, අප සතු මගඟු සඟ මිණි වූ පොල්වත්තේ බුද්ධදත්ත, මොරටුවේ සාසනරතන, අත්තුඩාවේ රාහුල ආදී සංඝයා වහන්සේ සතර බ්‍රහ්ම විහරණයෙන් සජ්ජිතව ‘මහායානය’ වෙත සිය විභාගාක්ෂිය යොමු කළහ. උන් වහන්සේලා පුළුල් ව ද , කාලාවර්තීව ද කියා පෑ මහායාන විස්තරයේ  මහාද්වීපික විස්තරය කියා දීම ධර්මසිරි -ගුණතිලක සංයෝගයෙන් සිදු විය. 1976 මහගමසේකර අතින් විවර වූ කාව්‍ය දොරටුව නවකතාවට අල්ලා ගත් සයිමන් සේම දාර්ශනිකවද, භක්තිවන්තවද, න්‍යායිකවද විපුල මහායානය ගැන ලියා, පරිවර්තනය කර තැබුවෝ ඔවුහු දෙපොළම වෙති.

‘සංස්කෘත (ප්‍රත්‍යසමුත්පන්න) ධර්මයන්ගේ ශූන්‍යතාව ‘පුද්ගලයෙක් ඇත නැත’ යන දෙකම ප්‍රතික්ෂේප කරයි. ප්‍රත්‍යයන්ගෙන් හටනොගත් ධර්මයක් කිසිතැනක නැත. එබැවින් එය හැම කල්හි ම වෙනස් වෙයි. පුද්ගලාදිය ප්‍රඥප්තිමාත්‍රයකැයි නාගාර්ජුන තෙරණුවෝ කීහ.’ [ථේරවාදී බෞද්ධ දර්ශනය – පිට 40 -පොල්වත්තේ බුද්ධදත්ත ස්ථවිර]

සියලු ගූඪ ශාස්ත්‍රයන්ට පරිමිත සීමාවන් වෙති. භෞතිකය සදාකාලික අණුව හෝ එහි මැවුම්කරු සොයා යයි. ගණිතය අවසාන පරම සූත්‍රය සොයා යයි, රස විද්‍යාව අමරණීයත්වය උදා කරන ප්‍රඥා පාෂාණය හෝ අමෘතය සොයා යයි, ඖෂධවේදය කය ජරාවට යෑම වැළකීමේ උපක්‍රම තනයි. මාධ්‍යමිකයින්ගේ අග්‍ර වූ නාගාර්ජුනපාදයෝ ප්‍රඥාපාෂාණය සොයා රන් තනා ‘ඇල්කෙමි’ ශාස්ත්‍රය අවසන් කළ බව ද උන්වහන්සේ ඉහත අදහස ඇතුළත් ධර්මය සංස්කෘතයෙන් සූත්‍රගත කළ බවද, එකවිට සැළකීමෙන් වඩා වැඩ සලසන පෙර අදහස විසින් මහායානය ධර්ම සීමාවන් ඉක්මවා නොයන බව පැහැදිලි වෙතැයි මට සිතේ.

‘ශෝපන්හවර් හා නිට්ෂේ’

මෙසේ පුළුලැති මහායානය වෙත නැඹුරු වෙමින් එහි විවිධ සූත්‍ර, සුත්‍රාන්ත, අපදාන ආදිය පෙරලීමට පෙර, මහාචාර්ය කේ එන් ජයතිලකයන්ගේ -Early Buddhist Theory of Knowledge – ආස්වාදයෙන් ‘දාර්ශනික ප්‍රශ්න’ නමින් කෙටි නමුත් මගහැර යා නොහැකි අත් පොතක් රචනා කළ ධර්මසිරි සූරීන් අන් අයුරකින් අප වෙත බලපෑහ. ඒ 1980 දශකයේ තරුණ නැගිටීම් හා ඒවායේ පසු ප්‍රතිඵල කෙරෙහි අනුකම්පාවෙන් 1987 ලියා පළ කළ ‘ශෝපන්හවර් හා නිට්ෂේ’ නම් කුඩා පොත් පිංචෙනි. ඔහු එහි පෙරවදනෙහි ඉතා සාරවත් කාලාම සූත්‍රානුරූප ඡේදයක් බහාලයි.

“මේ දාර්ශනිකයින් දෙදෙනා කියවීමෙන් අපේ මූලික ප්‍රශ්න වලට ඔවුන්ගෙන් පිළිතුරු හිඟා කෑමට තැත් කිරීම අනුවණ කමකි. ඔවුන්ගේ දර්ශනයන් කියවීමෙන් ප්‍රශ්න පිළිබඳ ඉදිරිපත් කළ හැකි විවිධ දෘෂ්ඨිකෝණයන් පිළිබඳ අවබෝධයක් අපට ලැබෙයි. එම අවබෝධයෙන් ලබා ගත් පාඩම් අනුව අප චින්තනය ස්වාධීනව මෙහෙයවා අපේ ප්‍රශ්න වලට අපෙන්ම පිළිතුරු ලබා ගත යුතුය” – ශෝපන්හවර් හා නිට්ෂේ – පිට 13- ගුණපාල ධර්මසිරි –

මේ ඔහු පසුව ගැඹුරු ලෙස යෙදුනු බෞද්ධ විභජ්ජවාදය(විභජ්ජවාදෝ අහං නාහං ඒකංසවාදෝ) විසින් පවරන ලද වගකීම විය හැකිය. ඒ අනුව දාර්ශනික ප්‍රශ්න හි අවසාන පරිච්ඡේදයේ ඔහු බෞද්ධ චතුෂ්කෝටිකය [මේ කේ එන් ජයතිලක, ධර්මසිරි ආදීන්ගේ ධාරාව මිස දිවයින පත්තරේ චින්තන ධාරාව නොවෙන බව මට හැඟේ] මෙසේ දක්වයි,

1. ඒකංස ව්‍යාකරණීය ප්‍රශ්න – කෙලින්ම පිළිතුරු දිය හැකි ප්‍රශ්න : උදා ලෝකයේ දුකක් තිබේද ? ඔව්

2. පටිපුච්ඡා ව්‍යාකරණීය ප්‍රශ්න – කෙලින් පිළිතුරු දිය නොහැකි සාපේක්ෂ ප්‍රශ්න හෙවත් තවත් ප්‍රශ්නයකින් පිළිතුරු සැපයිය යුතු ප්‍රශ්න.උදා: ඔහු උසස් කෙනෙක්ද? කාට සාපේක්ෂවද?

3. විභජ්ජ ව්‍යාකරණීය ප්‍රශ්න- විශ්ලේෂණය කළ යුතු ප්‍රශ්න. උදා: සචේතනික කරුණු කිරීමෙන් දුක් විඳීමට සිදු වන්නේ ඇයි? මෙයට පිළිතුරු සැපයිය හැකි වන්නේ විශ්ලේෂණයකින් අනතුරුව පමණි.

4. ඨපනීය ප්‍රශ්න – පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න.: උදා : පහන නිවුන පසු දැල්ල කොහි ගියේද?

මේ ප්‍රශ්න පැනෙන තැන් ගැන ජයතිලකයන් සඳහන් කරන්නේ වසුබන්ධූ ආචාරීන් ගේ අභිධර්මකෝෂය යසෝමිත්‍ර ආචාරීන්ගේ ස්පුඨාර්ථාභිධර්මකෝෂව්‍යාඛ‍යා ආදීයෙනි (ජයතිලක ඉහත කී -පිට 282). පොල්වත්තේ මහා ස්ථවිරයන් වහන්සේ වසුබන්ධු, යසෝමිත්‍රාදී ආචාරීන්ගේ නිකායාදී භෙද නොසළකා එකී ග්‍රන්ථයන්ගේ සුත්‍රගත කරුණු කෙරෙහි අවධානය යොමුකරන්නේ පැසූණු තෙරනමකගේ අධ්‍යාය මේ යැයි විදහා පාමිනි. ජයතිලකයන් ශාස්ත්‍රඥයෙකු සේ ඒ කරුණු දකිද්දී, ධර්මසිරි සූරීහු උරහිස උඩින් නැමී බලා අමාරු දේ සරළව කියාදෙන ගුරුවරයෙකු ලෙස මිතුරු බසකින් කරුණු ගෙනහැර පාති.

‘අප්‍රමාද වීමේ’ අණ

ඩිමොක්‍රිටස් සිට ඩෝල්ටන් ආදීන් වෙන තෙක් විභජ්‍ය නොවෙන පරම අණුවක් ඇතැයි විස්වාස කෙරුණි. රිචර්ඩ් ලැමින් ගේ උප පරමාණුක වාදයන්ගේ සිට කොන්ටම් භෞතිකය දක්වා පරම අණුවක් නොවෙන බව ද පරම අණුව ද හිනාර්ථ වන බව ද බෝම්, ෆ්ලැන්ක් ආදී හු දැනගන්නට යෙදුනහ. හයිසන්බර්ග් ගේ අහඹුතා මූලධර්මය නිසා අනිත්‍ය තාවය ඉතා ක්ෂුද්‍ර මට්ටම් වලටද පොදු ධර්මතාවකැයි පෙන්නුම් කරයි. මහේක්ෂ විශ්වය මතු නොව අවිනාශී යැයි සැළකූ කළු කුහර පවා අනිත්‍ය බව ස්ටීවන් හෝකින්ස් හු ‘කළු කුහර පවා එතරම් කළු නොවේ’ යන පාඨයෙන් කියා පෑහ. ඇලන් ටියුරින් ශූරීහු ශෝපන්හවර් ගේ ‘අධිෂ්ඨානය’ [will] කළල විද්‍යාත්මකව [A M Turing – The Chemical Basis of Morphogenesis-1953] ස්වසංවිධානයේ ලා තෘෂ්ණාව යෙදෙන අයුරු හා අංගජනනය  ගැන ගණිතමය ව විශ්ලේෂණය කළ හ. බුදුහු කළල විද්‍යාව අංග ජනනය [Morphogenesis] තෙක් පටිච්ච සමුප්පාදයෙහි ලා විෂයය කර ගන්නේ ඉන්ද්‍රිය සය, ආයතන සය හා ස්කන්ධ පසේ උප්පාදය නොදැක නොකියා ඒවායේ අනාත්මභාවය කීමට නොහැකි නිසාය.[රේරුකාණේ චන්දවිමල මහනාහිමි – පටිච්ච සමුප්පාද විවරණය]

“ස්වභාවික වරණය පිළිබඳ ඩාවිනියානු ‘නියති වාදය’ හුදෙකලා ජානයන් ගේ ‘අහඹු’ විකෘති මත රඳා පවතී. රසායනයේ නියතිවාදය විග්‍රහ කරන රාමුව හුදෙකලා අණුවල චලිතයේ ‘අහඹුතාවය’ මත පරායත්ත වේ. මධ්‍යස්ථ සීමා න්‍යාය[Central Limit Theorem] ඉතා සාමාන්‍ය අපිළිවෙල මධ්‍යයෙහි ම පිළිවෙල පැන නගින බවට උදාහරණයකි” [Andrew Hodges- Alan Turing, the Enigma].

කෙතරම් මහේක්ෂ තලයකට ගිය ත්, කෙතරම් ක්ෂුද්‍ර තලයකට ගියත්, සමාජ තල සිට ජෛව තල දක්වා ගියත් ‘අනිත්‍ය: දුක්ඛ: අනාත්ම’ ත්‍රි ලක්ෂණ ධර්මතාව සාධාරණව ‘උප්පාද: තිථි: භංග’ වශයෙන් හමුවෙන බව එයද අහඹු බව[නිරීක්ෂකයා ට රිසි පරිදි නොපවතින බව] ‘ශූන්‍යතාවාදී ප්‍රඥාවට’ හසු වේ.

අඟුරු, වතුර, හුණු හා අල්පමාත්‍ර වූ අනෙකුත් රසායනද්‍රව්‍ය ‘ස්වයං සංවිධානය’ ව කර්ම රැස් කරන, සසර සැරි සරන ධර්මයද, ආශ්‍රවක්ෂය කිරීමෙන් නිර්වාණය නම් පරමාර්ථය සාධනය කිරීමේ ධර්මයද, බඹයක් වූ මේ කලේබරය මත පැනවූ මහා සන්‍යාසියා ගේ මාර්ගය අනෙක් අයුරකින් තේරුම් ගැනීමේ මග සැළසීම සිය ජීවිත ව්‍යාපෘතිය කරගත් ධර්මසිරි සූරීන් ගේ අභාවය ‘අප්‍රමාද වීම ට’ අපට අණ කරයි.

හෙට අම්මා ට කතා කළ යුතුය.

“අම්මේ ප්‍රොෆෙස ගුණපාල ධර්මසිරි අන්තරා වෙලා,” මට එසේ කිව හැකිය.

පිළිතුර අතීතය සම්බන්ධ එකකි. “අර ඉස්සර ඔයා අනුරාධ ගේ බාප්පා එක්ක මියුසික් අහන්න ගියේ එහේ නේද?”

“ඒ එහෙ නෙවෙයි, ඒ ගියේ ගුණතිලක සර් ගේ ගෙදර.”

“අර සෙනෙවිරත්න අයියා අරන් ගිය තිබ්බත මළපොත පරිවර්තනේ කරලා තිබුණේ එයාලා නේද?”

මේ ආදී සංවාදයක, ඒ පී ගුණරත්න සූරින් සිය මහත් වූ භාෂා කෞෂල්‍යයෙන් පරිවර්තනය කළ ‘වානරයා’ පොත වෙත මා යොමුකළේ තමන් බව ඇයට අමතක වී යනු ඇත. ඒ අමරදේව කියන මඩවල එස් රත්නායකගේ ‘නිල්මානෙල්’ ගීයේ මුල් කතාව පඤ්චසිඛ හා බුදුන් අතර ඇති වූ සංවාදයක නිමිත්ත වූ පඤ්චසිඛ ගේ ගීයක් විය හැකි බව මට කියූ අපේ ගෙදර උන්දෑට එහි මුලාශ්‍රය (කියවූ තැන) අමතක වූ වා සේ ම ය.

අමතක වී යාම මිනිස් ස්වභාවයකි. ..!

හෂිත අබේවර්ධන


© JDS

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.