නික්ම යන සිසිර

දයාවන්තය අනේ දවසක
ඔබේ හදවත ගොළුවුණා

සිසිර හෙට අවසන් ගමන් යයි
මගෙ හද අඹරේ හඳ පානයි ඔබ
අඳුරු මගේ දිවි එළිය කෙරූ
කඳුළු ගඟේ මම පාවී යන්නෙමි
යළි ඔබ මට මුණගැසෙන තුරූ…
දෙවියනි යළි ඔබ මට මුණගැසෙන තුරු…

වසන්තය ළං වෙද්දී සිසිර සමු ගත්තේය. ගී ලොව පොබැයූ සිසිර සේනාරත්න හෙට අවසන් ගමන් නික්‌ම යයි.

sisi1මෙ ලෝකේ නවාතැන වේ
දෙදිනය මේ වාසේ…
ජීවිතයේ අස්‌ථිර බව සිසිර “පොඩි පුතා” චිත්‍රපටයෙන් ගායනයට එක්‌වෙමින් කීවේය.

සිසිර සේනාරත්න දැන් අප අතර නැත. ඔහු සදහටම වෙන්ව ගොසිනි.

හඳපානේ මල් පිපුණා
කිරි මුහුදේ රැල් නැගුණා
අප දෙන්නා ඒ වගේ…
බැඳුනෙ ආදරේ….

සෙවණැල්ල ලෙසින් හැමදාම පසුපස සිටි ප්‍රිය බිරිය ඉන්ද්‍රානි, සුභානි දියණී, සංජය, සමීර පුතණුවන් දෙදෙනා ආදරණීය මුණුබුරන් විතරක්‌ද… නැත. ඔහුට ළෙංගතුව සිටි සහෘද රසික කැළ… සියල්ලෝ අතැර සිසිර සදාකල් නින්දට ගොසිනි.

තිබේ පියකරු දසුන් අපමණ
අනන්තයටම මෙදියතේ
ඔබේ ශදවත තරම් ලස්‌සන
හදවතක්‌ මා දැක නැතේ

සිසිරගේ හදවත කොතරම් පිවිතුරුද… ලස්‌සනද… ඒ හදවත ලස්‌සන බවට සාක්‍ෂිය ඔහුගේ පියකරු මුහුණය. සිසිර බෙහෙවින් සුන්දර පෙනුමැති මිනිසෙකි.

සිසිර ගායන ලොවට ආවේ පොඩි පුතා චිත්‍රපටයේ ගීත ගයමිනි. එහෙත් ඔහු ඉන්ද්‍රානි විඡේබණ්‌ඩාර නම්වූ යෞවනිය සමඟ පෙමින් බැඳුණේ රේඛාව චිත්‍රපටය නිසාය. ඒ උඩු ගුවනේදීය.

සුදු සඳ එළියේ නළ මත පොපියන
හිරිමල් කැකුළක රොන් කෙමියේ

“රේඛාවේ” සංගීත අධ්‍යක්‍ෂවරයා වූ සිසිර සේනාරත්න සමග ඒ පළමු ගුවන් ගමන ඉන්ද්‍රානිට තවමත් මතකය.

සිසිර සමග එයාර් සිලෝන් ගුවන් යානයකින් මදුරාසිය බලා පිටත් වූ මොහොත අදත් මැවී පෙනෙනවා. මගේ පළමු ගුවන් ගමනද එයයි. ගමන අරඹා මඳ වේලාවකට පසු ගුවන් යානයේ සිටි හැම මගියෙකුටම කාඩ්පතක්‌ ලැබුණා. මෙය පුරවන්න මගේ දැනුම මදි නිසා අසල සිටි සිසිරගේ සහාය පැතුවා. නිහතමානීව ඔහු එය ඉටුකර දුන්නා. අපි දෙන්නාගේ මුල්ම හමුවීම එයයි. දෙදෙනා පිළිබඳ තොරතුරු දෙදෙනාම හුවමාරු කර ගත්තා. දුටුවන් සිත් ඇද ගන්නා ආකර්ෂණීය කඩවසම් බවක්‌ පළ කළ සිසිර තැන්පත් ගති ඇත්තෙකි. යෞවනයෙකු වූ ඔහුගේ ඇසුර යෞවනියක වූ මම ප්‍රිය කළා. ගීත පුහුණුව අතරදී ඇතිවන කතා බහට ආදරය සම්බන්ධ දැ අනිවාර්යයෙන්ම ඇතුළත් වුණා.

ඔබගේ සෙවණැල්ල ලෙසේ
එන්නෙමි සැම දාම මෙසේ
මේ දෛවේ තීරණේ
මතු අනාගතේ…

ඉන්ද්‍රානිගේ ඒ කෙටි ප්‍රකාශය තුළ සිසිර ගැන බොහෝ දැ ඇතුළත්ය. සිසිර ඉන්ද්‍රානි එක්‌වීම සංසාරගත බැඳීමකි. සිසිර අභාවප්‍රාප්ත වූ පුවත දැනගත් මා ඒ මොහොතේම ඉන්ද්‍රානි සේනාරත්නයන්ගෙන් විමසුවෙමි.

අනේ මගේ සිසිර මාව දාලා ගියා. දැන් ඉතින් සිසින්ද්‍රා නෑ… දැන් මගේ සිසිර නෑ… අනේ එයා මේතරම් ඉක්‌මනට මාව දාලා යයි කියලා මම හිතුවේ නෑ. එයා මට රජෙක්‌. ඈ හඬමින් පැවැසුවාය.

සිසිර ඉන්ද්‍රානි පෙම කිසිදා වෙනස්‌ නොවූ ප්‍රේමයකි. අවුරුදු පනහකට අධික කාලයක්‌ ගී ගයමින් අපේ සංගීතයට අපේ සිනමාවට සිසිර කළ සේවය, කැප කිරීම මිල කළ හැකිද…?

ගතවූ වසර පනහකට අධික කාලය තුළ සිසිරගෙන් ඉන්ද්‍රානිට, දරුවන්ට පමණක්‌ නොව ක්‍ෂේත්‍රයේ සහෘදයන්ටද කිසිදු වරදක්‌ සිදුව නැති බව සියල්ලෝ දනිති.

මුළු ලොවම අමතකයි ඔබ ළඟ සිටින වෙලාවේ…
ඒ මොහොතක මගෙ අවසානය ළඟා වුණාවේ…
අවසන් හුස්‌ම ගියාවේ….

සිසිර කාලයක සිට අසනීපෙන් පසු වූවේය. ඉන්ද්‍රානි ඔහු අසලින්ම හිඳ ඔහුට උවටැන් කළාය.

ගුරුතුම දවසක්‌ මා හට තැලුවා
දැක මට මතකයි ඈ හැඬුවා
මා අසනීපෙන් සිටි එම දවසේ
ඇඳ ළඟ ඈ මුළු රෑ සිටියා

සිසිර කියන්නේ හරිම නිවුණ ගති තියෙන නිහතමානී කෙනෙක්‌. හරියට පොඩි ළමයෙක්‌ වගේ. හරිම සංවේදී හිතක්‌ තියෙන්නේ. ඕනෑම කෙනෙක්‌ කෙරෙහි ආදරය කරුණාව දයාව සිසිරගේ සිතේ උපදිනවා. සිසිරගේ හදවත තරම් ලස්‌සන හදවතක්‌ මම නම් දැකලා නෑ. ඉන්ද්‍රානි තම ආදරණීය සැමියා ගැන හිතන්නේ ඒ ආකාරයටය.

සීන සැබෑ වන්න මෙසේ
පෙරුම් පුරා ආවෙදොa
මා උපන්නෙ ප්‍රේම ලොවේ
ඔබ පතා ප්‍රියේ… ඔබ නිසා ප්‍රියේ

සිසිර කලක්‌ රේගු දෙපාර්තමේන්තුවේ සේවය කළේය. ඒ නිසාම පසුගිය දිනෙක රේගු නිලධාරීන් සිසිරට උපහාර පුද කළේය. ඒ සිසිර සහභාගි වූ අවසන් උත්සවය වන්නට පිළිවන. ඔහු පුදලද අවසන් උපහාරයද වන්නට පිළිවන.

“සිසින්ද්‍රd” ප්‍රසංගය සමග සිසිර ඉන්ද්‍රානි යුවළ ලෝකය පුරා ගියෝය. එතෙර සිටින ශ්‍රී ලාංකිකයෝ සිසින්ද්‍රd ගී රස විඳිමින් සතුටු වූහ.

මාගෙ පුතුට මල්
යහන සදන්නේ…
දැස සිහින වැල්
පාවී එන්නේ
රෝස කැලේකින් හමුවූ වැන්නේ
මට මේ කුමරුන්…
කවුදොa දුන්නේ

සිසිර මේ ජනප්‍රිය ගීය ප්‍රසංගයකදී ගයද්දී ප්‍රේක්‍ෂකාගාරයේ සිටින පුංචි පුතෙකු වේදිකාවට කැඳවාගෙන එන්නට ද අමතක නොකරන්නේය.

සිසිර ගැයූ ගීත ඔහු තනු හැදූ ගීත රැසකි. ඒ සියල්ලම ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම පිවිස ඇත.

පිදුරු සෙවි කළ පැල්පතේ ඇති
සාමෙ නැත මහ මන්දිරේ
ටිකිරි හසරැලි බොළඳ සිතුවිලි
මෙහි තිබේ හොඳ ආදරේ…

මේ ගීය මුමුණා නැති කෙනෙක්‌ සොයා ගත හැකිනම් ඒ ඉතා අපහසු කටයුත්තකි.

අනියත ජීවිතේ නියත වූ මරණයට මුහුණ දෙන්නට සිසිරට ද සිදු විය.

කිංකිණි සිහින හඬින් මසුරන් වැනි
ගැයූ ගී මට සිහි වෙනවා
දෙසවන මී පැණි වැනි ඒ ගී හඬ
සුළඟේ අද මුමුණනවා…
ගීයට ගීයෙන් බැඳි හද බිඳුණා
දෑසට කඳුළැලි එනවා…
මම තනිවම වැළපෙනවා

හෙට සවස්‌ යාමයේ සිසිර අප හැරදා සදහටම සමුගනී. ඔහු නැති අඩුව ඉන්ද්‍රානිට, දරු තිදෙනාට, මුණුබුරන්ට පමණක්‌ද නැත. අපටත් ඒ අඩුව දැනෙනු ඇත. මින් මතු අපට ඔහු නොපෙනුණද ඔහුගේ හදවත ගොළු වුවද ඒ හඬ අප අතරය.

ආදරෙයි මම ආදරෙයි
දම්මි තවමත් ආදරෙයි
ආදරය එක අතක ප්‍රේමය
තව අතක මා තනි වුණා
සාගරය වැනි වේදනාවක
අහෝ හිතවත තනිවුණා
අහෝ හිතවත තනිවුණා
දයාවන්තය… ඔබට නිවන් සුව…!

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.