පමණට වඩා රජුන්ට ලංවීම විනාශයට මුලයි-රත්නපාල ගමගේ

 

throne2

 

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බලය අතහැර පසු බසින්නට සිදුවූ ප්‍රධාන කරුණුවලින් එකක් වූයේ ඔහු විසින් 78 ව්‍යවස්ථාවට එක් කරනු ලැබූ 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි.

සාමාන්‍යයෙන් අප අසා තිබෙන්නේ අංක විද්‍යාව අනුව ‘13‘ නපුරු බවයි. එසේ වුවද රාජපක්ෂ මහතාට විනාශය ගෙනදුන් නපුරු අංකය වූයේ 18 ය.

මේ 18 අංකය කොතරම් නපුරුද කිවහොත් එයට සම්මාදම්වූ තවත් දෙදෙනකුටත් ඔවුන් අත තිබූ බලය අතහැර ගෙදර යෑමට සිදුවිය. ඒ 43 වැනි අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සහ 44 වැනි අගවිනිසුරු යයි කියාගත් මොහාන් පීරිස් යන මහත්ම මහත්මීන්ය.

18 මොවුන්ට පමණක් නොව පාර්ලිමේන්තුවේදී එයට අත ඔසවා එකඟතාවය පළකළ මැති ඇමැතිවරුන්ටද ඔවුන් සිහිනෙන්වත් නොසිතූ විරූ ලෙස ඔවුන් සතුවූ බලය ඔවුන්ගෙන් ගිලිහී ගියේය.

18 අංකය ඇතුළත්වූ මේ සංශෝධනය මෙතරම් නපුරුවූයේ ඇයි? එය ජනතාවගේ පරමාධිපත්‍යය පිළිබඳ මූලිකම සංකල්පයක්වූ හෙයිනි. ජනතාවගේ පරමාධිපත්‍යය සමඟ සෙල්ලම් කිරීම ගිනිගොඩක් මැදට පැනීමක් වැනි යයි පසුගිය ජනවාරි 8 දින ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යයට උරුමකම් කියූ ජනතාව ලෝකයටම පෙන්වා දුන්හ.

18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් කියැවුණේ 78 ව්‍යවස්ථාවෙන් ස්ථාපනය කරනු ලැබූ ජනාධිපතිධූරය දැරිය හැකි උපරිම කාලය දෙවරකට පමණක් වූ කාල සීමාව ඉවත්කර සීමාවකින් තොරව ජනාධිපතිධූරයේ රැඳී සිටීමට ඇති නීතිමය අයිතියයි. මේ 18 වැනි සංශෝධනයට තවත් වැදගත් දෙයක් අන්තර්ගතවී තිබිණි. ඒ ජනාධිපතිවරයාගේ සීමාරහිත බලතල අඩුකිරීම සඳහා 2000 දී සම්මත කරනු ලැබූ 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමය. 17 වැනි සංශෝධනයෙන් කියැවුණේ ඉහළ අධිකරණවලට විනිසුරුවරුන් පත් කිරීම, රජයේ ඉහළ නිලධාරීන් පත් කිරීම, දේශපාලන බලපෑම්වලින් තොරවූ පොලිසිය, රජයේ නිලධාරීන් සහ මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහා ස්වාධීන කොමිසන් සභා පත් කිරීමය. 17 වැනි සංශෝධනය ආහෝසිවීමත් සමග 18 වැනි සංශෝධනය හරහා මෙම ආයතනවලට පුද්ගලයින් පත් කිරීමේ පරම අයිතිය ජනාධිපතිවරයාට හිමිවිය.

මේ 18 වැනි සංශෝධනය සම්මත කළේ සුවිශේෂී වටපිටාවක් රටේ පැවැති වකවානුවකදීය.

 

Mohan-Pierisert

2009 දී තිස් අවුරුදු යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසුව පැවැත්වූ ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව මහින්ද රාජපක්ෂ මහතා සිය දෙවැනි ධූර කාලය ඇරඹූවේ වැඩි ඡන්ද ලක්ෂ 18ක් සමගය. ඒ සමගම පැවැත්වූ මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුවේ 2/3 කට කිට්ටු බහුතර ආසන සංඛ්‍යාවක් හිමිවිය.

යුද්ධයේ ආශිර්වාදයෙන් ලැබූ ජයග්‍රහණයත් සමගම විපක්ෂයෙන් රජයට එකතු කරගත් මන්ත්‍රීවරු පිරිසක් සමග ජනාධිපතිවරයා ඉතා පහසුවෙන් 2/3 පාර්ලිමේන්තු බහුතර බලය ලබාගෙන පළමුවෙන්ම 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තේය.

මේ 18 වැනි සංශෝධනය කෙටුම්පත් කිරීමේදී ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කළේ එවකට නීතිපතිවරයාව සිටි මොහාන් පීරිස් මහතාය. ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න සොයා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණට ඉදිරිපත් කරනු ලැබීය. එය විභාග කරනු ලැබූයේ 43 වැනි අග විනිසුරුවරිය වූ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් වූ විනිසුරු මඩුල්ලක් මඟිනි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වූයේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය නීතිගත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3 බහුතර බලය පමණක් ප්‍රමාණවත් බවය.

මෙම තීන්දුව සමාජයේ විවිධ තලයන්හි අභියෝගයට ලක්විය. ජනාධිපතිවරයා ධූර කාල දෙකක් පමණක් රැඳී සිටීමට ව්‍යවස්ථාවෙන් පවරාදී තිබූ බලය වෙනස් කිරීමේ අයිතිය ඇත්තේ ජනතාවට බවට බොහෝ නීති විශාරදයන් තර්ක ඉදිරිපත් කළහ. ඒ සඳහා ජනතාවගෙන් විමසිය යුතු බවත් එයට ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවටත් එම නීතිවේදීන් තර්ක කළහ.

ජනතාවගේ පරමාධිපත්‍යයට බලපාන කරුණු නීතිගත කිරීමේදී පාර්ලිමේන්තුවේ 2/3 බහුතර බලයට අමතරව ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවටත් 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලි විධිවිධානයන් පනවා තිබුණි.

නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වූයේ ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත්, පාර්ලිමේන්තුවේ 2/3 බහුතර බලය ප්‍රමාණවත් බවටය.

18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමත් සමගම සමාජයේ කථා බහ පටන්ගන්නේ ඉතා මන්දගාමී ස්වරූපයකිනි. එයට හේතුවූයේ යුද ජයග්‍රහණයේ ආශ්වාදය විඳිමින් සිටි ජනතාව අතර 18 වැනි සංශෝධනය සමාජගත කිරීම ඉතාම දුෂ්කර වීමය.

 

doshirani

 

මෙම සංශෝධනය කෙටුම්පත් කළ මොහාන් පීරිස් මහතාත් ජනමත විචාරණයකින් තොරව 2/3 බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රී බලයෙන් කෙටුම්පත නීතිගත කළ හැකි බවට නිගමනය දුන් අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක යන දෙදෙනාම රජුන්ගේ උදහසට ලක්වී ඇති ආකාරය දෙස බලන විට අපට සිහිගැන්වෙන්නේ ඉපැරණි භාරතයේ ග්‍රන්ථයක් වන ‘පංච තන්ත්‍රයයි‘ එහි සඳහන්වන්නේ පමණට වඩා සමීප ඇසුරක් තබා නොගත යුතු චරිත 5 ක් ඇත. ඉන් එක් චරිතයක් වන්නේ රජුන්ය. පමණට වඩා සමීප ඇසුරක් ‘රජුන්‘ සමග පවත්වාගෙන යෑම විනාශයට මුල ලෙස එහි සඳහන්ය.

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පසුගිය වසර දෙකක කාලයක් තිස්සේ විඳින ලද කටුක අත්දැකීම් මේ උපදේශයට කදිමට ආදේශවේ. මොහාන් පීරිස් මහතා මේ වනවිටත් විඳිමින් සිටින කටුක අත්දැකීම් දෙස බලන විටත් එම උපදේශයෙන් ගත හැකි පාඩම් බොහෝය.

‘රජුන්‘ හා සමීප ඇසුරට ඔවුන් යොමුවූයේ කෙසේද?

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සාමාන්‍ය පවුලකින් උපත ලද ස්වෝත්සාහයෙන් අධ්‍යාපනය ලබා නීති ක්ෂේත්‍රයේ ඉහළටම ගිය කාන්තාවකි. ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ සහාය මහාචාර්යවරියක ලෙස සේවය කරන සමයේදී කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති පදවිය දැරූ මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ඇදුරු මඩුල්ලේද සිටියාය. මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා 1994 දී දේශපාලනයට පිවිස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ ඇමැතිවරයකුව සිටියදී ජී.එල්.පීරිස් මහතා විසින් ජනාධිපතිනියට හඳුන්වා දෙනු ලැබ පසුව 1996 දී ජනාධිපතිනිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරියක ලෙස පත්කරනු ලැබුවාය.

ඇයගේ මෙම පත්වීම අධිකරණ ක්ෂේත්‍රයට ආධුනික වූ නිසා දේශපාලන පත්වීමක් හැටියට හඳුන්වමින් ඇයගේ පත්වීමට එරෙහිව තදබල විරෝධයක් එකල සමාජගත විය. එම විරෝධය ශ්‍රේෂ්ඨාධිකරණය තුළට පවා ඇතුළු වී තිබුණි. එහෙත් පසු කාලයේදී එය ක්‍රමයෙන් සමනයවූ අතර ඇයද ක්‍රමයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුධූරයේ ස්ථානගත වූවාය.

මහින්ද රාජපක්ෂ මහතා දෙවැනිවරට ජනාධිපතිධූරය හිමිකර ගැනීමෙන් පසුව ඇය ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ධූරය හිමිකර ගත්තේ 2011 වසරේය. ඇයව මේ ධූරයට ජනාධිපතිට නිර්දේශ කරනු ලබන්නේත් ඇයගේ සමකාලීනයා වූ මහාචාර්ය ජී.ඇල්.පීරිස් විසිනි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයට සහ එහි අගවිනිසුරු ධූරයට පත් පළමු ශ්‍රී ලාංකික කාන්තාව ලෙස ඇය අධිකරණ ඉතිහාසයටද එක්වීමේ සුවිශේෂ වාසනාවද හිමිකර ගත්තාය.

මේ තනතුරු දෙකම ඇයට හිමිවූයේ ‘රජුන්‘ ගේ ආශිර්වාදය ඇයට හිමිවූ නිසාය. මෙයින් ඇය ප්‍රමෝදයට පත්වූවාට කිසිදු සැකයක් නැත.

ඇය අග විනිසුරු පදවියට පත්වන විට ඇගේ සැමියාට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති තනතුරද හිමිවිය. පසුව ඔහු ටික කලකින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයා විය. එම පත්වීම් දෙකම දේශපාලනය හා ඈඳුණු පත්වීම් විය.

මෙවැනි සිදුවීම් නිසා ශිරාණි බණ්ඩාරනායක මහත්මිය දැරූ අග විනිසුරු තනතුරේ ස්වාධීන භාවය පිළිබඳ කථා බහ නීති කෙටුම්පත් තුළත් සමාජය තුළත් දැඩිලෙස කථා බහට ලක්විය.

මෙම කථාබහේ බරපතලම පුපුරායෑම දක්නට ලැබුණේ ජනාධිපතිවරයාගේ පුත් නාමල් රාජපක්ෂ මහතා නීතිඥයකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේදී දිවුරුම් දුන් අවස්ථාවය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරුන් ලෙස දිවුරුම් දීම ගරු ගාම්භීර ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ උත්සව ශාලාවේදී සාම්ප්‍රදායකිව පවත්වනු ලබයි. අග විනිසුරු ප්‍රමුඛ තවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකු ඊට සහභාගී වෙති. දිවුරුම්දීමෙන් පසුව සියල්ලෝම විසිර යති. නමුත් නාමල් රාජපක්ෂ මහතා දිවුරුම් දීමෙන් පසුව දිවුරුම් ලබාගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සමඟ එකට හිඳ සමුහ ඡායාරූප ගැනීමත් ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසයේ කිසිදා සිදුවී නොමැත.

webgggg

අනික් අතට නාමල් රාජපක්ෂ මහතාගේ පියාවූ රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් ශිරන්ති රාජපක්ෂ මැතිනියත් සමගද ශිරාණි බණ්ඩාරනායක ප්‍රමුඛ විනිසුරු මඩුල්ල ඡායාරූපයකට පෙනී සිටියහ.

එපමණක්ද නොව නාමල් රාජපක්ෂ මහතා සමඟ දිවුරුම් දීමේ උත්සවයට සහභාගීවූයේද ආධුනික නීතිඥවරුන් පස්දෙනෙක් පමණි. එලෙස අඩු සංඛ්‍යාවක් දිවුරුම් දෙන්නේ නම් එය සිදුකරනු ලබන්නේ උත්සව ශාලාවේ නොව අග විනිසුරු නිල මැදිරියේය.

මේ සියලු සම්ප්‍රදායයන් කඩා වැටුණේ ‘රජුන්‘ සමඟ සමීප ඇසුර නිසා බවට සමාජය තුළ කථාබහට ලක්විය.

‘රජුන්‘ හා මේ සබඳතාවය එලෙස ගෙවීයද්දී ඉසෙඩ් ස්කෝර් ලකුණු ක්‍රමය අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශයට තෝරා නොගත් සිසුන් 4000ක් විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා ලෙස අග විනිසුරුවරිය දුන් නියෝගය රාජ උදහසේ ආරම්භය සනිටුහන් කළේය. ඒ සමගම රජයට ඉතාම අවශ්‍යව තිබූ දිවි නැගුම පනත් කෙටුම්පතේ වගන්ති කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නැති බවට කළ තීන්දුව හේතුවෙන් රාජ උදහස ඉහවහා ගියේය. වහාම දෝෂාභියෝගයක් අග විනිසුරුවරියට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. මේ අතර ඇගේ සැමියාද ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ මුදලින් කොටස් වෙළඳපොළ තුළ ආයෝජනයක් හේතුවෙන් සභාපති පදවියෙන්ද ඉවත්වීමට හේතුවිය. දෝෂාභියෝගය රෑ නොනිදා අලුයම වනතුරු රැස්ව වාර්තාවද සකස්කොට පසුදින පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කර සම්මත කරගත් අතර එම සම්මතය අනුව ජනාධිපතිවරයා විසින් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අග විනිසුරු ධූරයෙන් නෙරපනු ලැබීය. ඇයගේ නෙරපීමත් සමගම කිසිදු විවේකයකින් තොරව නිල නිවසින්ද පළවා හරිනු ලැබීය.

වසර 16ක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අග විනිසුරු ලෙස සේවය කළ ඇයට විශ්‍රාම වැටුප් සහ වෙනත් කිසිදු දීමනාවකින් තොරව හිස් අතින් ගෙදර යාමට සිදුවිය. වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇයට අහිමිකළ සියලු වරප්‍රසාද ලබා දුන්නේ පසුගිය 29 වැනිදාය. ඇය එදින ගෞරවනීය ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සමුගත්තාය. දින 745 ක් අතිශය කටුක අත්දැකීම්, මානසික වේදනා විඳි බව සමුදීමේ උත්සවයේදී ඇය සඳහන් කළාය.

ඇය අග විනිසුරු ධූරයෙන් නෙරපීමෙන් පසුව අග විනිසුරු ලෙස පත්වන්නේ මොහාන් පීරිස් මහතාය. ඔහු ජනාධිපති නීතිඥවරයෙකි. ඔහු නීති වෘත්තිය ආරම්භ කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට බැඳී රජයේ නීතිඥයකු ලෙසය. එහි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දක්වා කටයුතු කළ අතර අපරාධ නඩු පිළිබඳ දක්ෂ නීතිඥයකු විය. පසුව ඔහු නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත්වී පෞද්ගලික නීති වෘත්තියේ නිරතවිය. භක්තිමත් කතෝලිකයෙක් විය. ඔහු සාමාන්‍ය ජීවිතයේ නිවුණු ගති ඇති නිරහංකාර චාම් පුද්ගලයෙක් විය.

ඔහු කිසි දින දේශපාලනයට ගෑවී සිටි බවක් පෙනෙන්නට නොතිබීමද ඔහු කෙරෙන් දක්නට ලැබුණි. ඒ 2005 ට පෙරය.

2005 මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීති උපදේශකයා ලෙස කටයුතු කිරීමත් සමඟම ඔහු දේශපාලන ප්‍රවාහයට නිරායාසයෙන්ම ගසාගෙන ගියේය. ආරක්ෂක අමාත්‍යංශය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකරන මූලික අයිතිවාසිකම් නඩුවලදී ඔහු පෙනී සිටියේ ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙනි.

2008 වසරේදී නීතිපතිවරයාව සිටි සී.ආර් ද සිල්වා මහතා විශ්‍රාම ගැනීමෙන් පසු මොහාන් පීරිස් මහතා නීතිපතිවරයා ලෙස පත් කරනු ලැබීය.

යුද අපරාධ සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත්වූ ලංකාවට එරෙහි යෝජනාවලදී ඔහු ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා ලෙස රජය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළේ රජය ආරක්ෂා කර ගැනීමටය. ඒ සඳහා ඔහු හට සීමාවද ඉක්මවා යමින් මානව හිමිකම් කවුන්සලයේදී ඔහු අතුරුදන්වී ඇති මාධ්‍යවේදියකු වන ප්‍රගීත් එක්නැලිගොඩ සරණාගතයකු ලෙස ජීවත්වන බවද කියා සිටියේය.

මෙවැනි ප්‍රකාශයක් ඔහු කළේ සැබැවින්ම රජය ආරක්ෂා කර ගැනීමේ චේතනාවෙනි. මේ ප්‍රකාශයෙන් ඔහු කෙතරම් අමාරුවේ වැටුනාදැයි කිවහොත් හෝමාගම මහේස්ත්‍රාත් උසාවියට ගොස් කියා සිටියේ තමාට කිසිවකු කළ ප්‍රකාශයක් අනුව එය කී බවත් ප්‍රගීත් එක්නැලිගොඩ ඉන්නා තැනක් දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණක් බවත් යනුවෙනි.

නීතිපති පදවියෙන්ද විශ්‍රාම ගත් පසුව ඔහු දිගින් දිගටම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ සමීපතම මිතුරා බවට පත්වෙමින් තිබිණි. සෙලින්කෝ සමාගමේ හටගත් මූල්‍ය අර්බුදය හේතුවෙන් එම සමාගමට අයත් සෙලාන් බැංකුවේ සභාපති ලෙසද කටයුතු කළ මොහාන් පීරිස් මහතා ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අග විනිසුරු පදවියෙන් ඉවත් කිරීමෙන් පසුව 44 වැනි අග විනිසුරුවරයා ලෙස පත්විය.

ඔහුගේ පත්වීම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අභියෝගයට ලක්විය. අග විනිසුරුවරයා පිළිගැනීම සඳහා පවත්වනු ලබන සාම්ප්‍රදායික උත්සවයේදී පිළිගැනීමේ කථාව පවත්වන්නේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා විසිනි. නමත් ඔහුගේ පත්වීම දේශපාලන පත්වීමක් බවට ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය එම උත්සවය වර්ජනය කළේය.

එයින් පසුව වුවද මොහාන් පීරිස් මහතා රජය සමඟ සබඳතා පවත්වන බවට බොහෝ තොරතුරු සමාජගතවී තිබුණි.

සාමාන්‍යයෙන් අග විනිසුරුවරයකු දේශපාලනඥයින් සමග ප්‍රසිද්ධියේ ගැවසෙන්නේ අවස්ථා දෙකකදී පමණි. ඉන් එකක් අග විනිසුරුවරයා ලෙස දිවුරුම් දෙන අවස්ථාවේදී සහ ශ්‍රී ලංකාවේ නිදහස් දින උත්සවයේදීය. එයට පරිබාහිරව රටට පැමිණෙන රාජ්‍ය අමුත්තෙක් පිළිගැනීමේ නිල උත්සවයන්ටද සහභාගී වෙති. නමුත් රජයේ ප්‍රධාන බල අධිකාරීන් සමග විදේශ සංචාරයන්හි යෙදීම කෙසේවත් සිදුනොවේ. නමුත් එම සම්ප්‍රදාය කඩා බිඳ දමමින් ශුද්ධවූ ප්‍රැන්සිස් පාප් වහන්සේට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසට වූ නිල ආරාධනය පිළිගැන්වීම සඳහා ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ නියෝජිතයින් සමග අග විනිසුරුවරයා වතිකානුවට ගියේය.

මොහාන් පීරිස් මහතා මහින්ද රාජපක්ෂ මහතා අතරවූ මේ දේශපාලන සබඳතාවයේ උච්චතම අවස්ථාව සටහන් වන්නේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දැරූ අවසන් හෝරාවේදීය.

ජනවාරි 8 දින පැවැත්වූ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබියදී 9 දින අලුයම් කාලයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ දැනුම් දීමක් අනුව විපක්ෂ නායකව සිටි රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයට යද්දී අග විනිසුරු මොහාන් පීරිස් මහතා එහි සිටි බව රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශ කර තිබේ.

ඔබ මෙහි කුමක් කරන්නේදැයි ඇසූවිට නීති උපදෙස් දීම සඳහා එහි පැමිණි බව ප්‍රකාශ කළ බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත්වීමටත් පෙර ජනවාරි 9 දින හිමිදිරියේම මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති පදවියෙන් සමුගත්තේය. ඔහුගේ සමුගැනීමත් සමගම මහින්ද රාජපක්ෂ මහතා වටා සිටි බලකණු එකින් එක බිඳ වැටුණු අතර අවසානයේ ඉතිරි වූයේ අග විනිසුරු මොහාන් පීරිස් මහතා පමණිත ඔහු දැන් හුදෙකලාව අන්තිම සටනකට මැදිවී සිටියි.

එහි ආරම්භය සටහන් කළේ ජනවාරි 9 දින මෛත්‍රිපාල සිරිසේන මහතා නිදහස් චතුරශ්‍රයේ ජනපති ලෙස දිවුරුම් දෙන අවස්ථාවට මොහාන් පීරිස් මහතා කැඳවා නොගැනීමය. මෛත්‍රිපාල සිරිසේන මහතා දිවුරුම් දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයාවූ කේ. ශ්‍රී පවන් මහතා ඉදිරියේය.

මොහාන් පීරිස් මහතාට එතැන් සිට තම පදවියෙන් ඉවත්ව යන ලෙසට දිගින් දිගටම දන්වා සිටියත් ඔහු අවසානයේදී එක් ඉල්ලීමක් කළේය. පාප් වහන්සේගේ පැමිණීමේ අවස්ථාව එනතෙක් පදවියේ රැඳී සිටීමට අවසර දෙන ලෙසය. ඔහුට එම අවස්ථාවත් ලබාදුන් නමුත් ඔහු පදවිය අතහැරීමක් සිදු නොවීය.

මේ අතර කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ අග විනිසුරු පදවියෙන් ඉල්ලා අස්වන බවට මොහාන් පීරිස් මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පොරොන්දු වී ඇති බවය.

එම ප්‍රකාශනයෙන් පසුව අග විනිසුරුගේ මාධ්‍ය ප්‍රකාශක යැයි කියාගත් නීතිඥවරයකු මාධ්‍යවේදීන්ට කියා සිටියේ අග විනිසුරු ඉල්ලා අස්නොවූ බවත් ධූරයේ කටයුතු කරන බවත්ය.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් පසුවත් හදිසි නීතිය යොදා බලයේ රැඳී සිටීමට කුමන්ත්‍රණයක් කළ බවට රහස් පොලිසියට ලැබුණු පැමිණිල්ලක්ද කරළියට විත් තිබේ. ඒ අනුව 9 දා අලුයම අරලිය ගහ මන්දිරයේ සිටි බව කියන මොහාන් පීරිස් මහතාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කර ඇති බවත් වාර්තාවේ.

මෙය ශ්‍රී ලංකාවේ මෙතෙක් සිටි අග විනිසුරුවරුන් 44 දෙනාගෙන් රහස් පොලිසිය විසින් ධූරයේ සිටියදී චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමකට ලක්වූ ප්‍රථම අග විනිසුරුවරයා ලෙසද අධිකරණ ඉතිහාසයට එක්වේ.

මොහාන් පීරිස් මහතාට මෙතරම බලපෑම් එල්ල වෙමින් තිබියදීත් ඔහු පදවිය අත නොහැර තවදුරටත් පදවියේ රැඳී සිටීමේ භූමිකාව අපට සිහිගන්වන්නේ ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ අවසන් හෝරාවේ කළ අවසන් සටනය.

ආයුධ අතහැර යටත් වන ලෙසට කළ හමුදා නියෝගය නොතකා තමන්ගේ සියලු බළ මුළු සමූල ඝාතනය වී තිබියදීත් හුදෙකලාව සිදුකළ සටනකින් පසු ප්‍රභාකරන් මැරුම් කෑවේය.

මොහාන් පීරිස් මහතාටත් දැන් සිදුවී ඇත්තේ එවැනි ඉරණමකි. ඔහු ඉල්ලා අස්නොවී සිටියදීම ශිරාණි බණ්ඩාරනායක මහත්මිය යළි අග විනිසුරු පදවියේ යාවත්කාලීන කිරීමය. ජනාධිපති නියෝගය අනුව පසුගිය 28 දින ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණි ඇය අග විනිසුරු ලෙස රාජකාරී ආරම්භ කර පසුදින ගෞරවනීය ලෙස තම පදවියට සමුදුන්නාය. 29 වැනි දින මධ්‍යම රාත්‍රියෙන් පසුව ඇයගේ නව අනුප්‍රාප්තිකයා දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරාවූ කේ. ශ්‍රී පවන් මහතාය.

ජනාධිපතිවරයාගේ දැනුම්දීම අනුව ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ඉවත් කිරීම නීත්‍යනුකූල නොවේ. ඉවත්කළ දින සිටම ඇය තනතුරේ රාජකාරී කළාසේ සැලකේ. එවිට මොහාන් පීරිස් මහතාගේ පත්වීම ශුන්‍ය වේ. ඒ අනුව දැන් මොහාන් පීරිස් මහතාට සිදුවී ඇත්තේ ශිරාණි බණ්ඩාරනායක මහත්මියට සිදුවූ දෙයමය. විශ්‍රාම වැටුප් වරප්‍රසාද සහ වෙනත් දීමනා කිසිවක් නොමැතිව හිස් අතින් ගෙදර යෑමටය.

ශිරාණි බණ්ඩාරනායක මහත්මියට ඇයගේ අහිමිවූ දේ යළි ලබා ගැනීමට වසර දෙකකට වැඩි කාලයක් බලා සිටීමට සිදුවිය. මොහාන් පීරිස් මහතාටත් ඔහුට හිතවත් රජයක් පැමිණෙන තෙක් බලා සිටීමට සිදුවනු ඇත.

මේ ශිරාණි – මොහාන් වෘත්තාන්තය මේ රටේ දේශපාලනඥයින්ටත්, රජයේ ඉහළ සිට පහළට නිලධාරීන්ටත් කදිම පාඩමක් කියාදෙයි.

පංච තන්ත්‍රයේ සඳහන් පරිදි රජුන් හා සමීප ඇසුරක් පැවැත්වීමට යෑමෙන් විනාශය ගෙන දේ යන උපදේශයද අපට යළි යළිත් සිහි ගන්වයි.

දේශපාලනඥයින්ද තමන්ගේ දේශපාලන අවශ්‍යතා කෙසේ හෝ ඉටුකර ගැනීමට රජයේ නිලධාරීන් අධිකරණයේ නිලධාරීන් ත්‍රිවිධ හමුදාව පොලිසිය අනිසි බලපෑම් මඟින් යොදවා ගැනීමෙන් තමන්ගේ අවශ්‍යතා ඉටුකරගත්තද අවසානයේ විනාශවී යන්නේ මේ කීර්තිමත් පුද්ගලයින් බව සිහි තබා ගැනීම අගනේය.

කෙසේ හෝ වසර 66 ක් තරම් පැරණි නිදහස් ශ්‍රී ලංකාවේ ස්වාධීනව පැවැති අධිකරණයට මේ කාල පරිච්ඡේදය මූලාශ්‍ර කරගෙන ඇතිවූ කළු පැල්ලම ලෙහෙසියෙන් මකා දැමීමට නොහැකිය. එයින් මිදීමට තව දිගු කාලයක් බලා සිටීමට අපට සිදුවනු ඇත.

web-2

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.