පළාත් සභා ඡන්ද ප්‍රමාද කරන සැලසුමක්

electionවසර දෙකකට ආසන්න කාලයක් පලාත් පාලන ඡන්ද විමසීම කල් දැමූ ආකාරයටම පළාත් සභා ඡන්ද විමසීම ද, දින නියමයක් නොමැතිව කල් දැමීම සදහා රජය මේ වන විට සැලසුම් සකස් කරමින් සිටින බව දිවයිනේ ප්‍රමුඛතම මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් චෝදනා කරයි.

දිවයිනේ සියලුම පළාත් සභා ඡන්ද විමසීම් එකවර පැවැත්වීමට අවශ්‍ය බව කියමින් ලබන අගෝස්තු මස කාලය අවසන්වීමට නියමිත නැගෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත් සභා ඡන්ද විමසීම් කල් දමා ගැනීම සදහා රජය සැලසුම් සකස් කරමින් සිටින බවයි කැෆේ සංවිධානය හෙවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වු ජනතා ව්‍යාපාරය පවසන්නේ.

‍පළාත් සභා ඡන්ද විමසීම් පනතට අනුව නියමිත කාල සීමාව අවසන්වීමෙන් පසුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම අනිවාර්ය වන අතර පළාත් සභා ඡන්ද විමසීම කල් දමා ගැනීමට නම් පාර්ලිමේන්තුව මගින් තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් නව පනතක් සම්මත කර ගත යුතු බව එම සංවිධානය පෙන්වා දෙයි.

එසේ තිබිය දී, පළාත් සභා ඡන්ද විමසීම කඩින් කඩ පැවැත්වීම සිදු නොකළ යුතු බව පවසමින් නැගෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත් ඡන්ද විමසීම් කල් දමා ගැනීමට දේශපාලන පක්ෂ කිහිපයක් සුදානම් වෙමින් සිටින බවයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කැෆේ සංවිධානය පවසන්නේ.

පසුගිය පාර්ලිමේන්තුව මැතිවරණයෙන් පසුව කිසිදු ආකාරයේ ඡන්ද විමසීමක් පැවැත්වීම රජය ඉතා සැලසුම් සහගත ලෙස කල් දමමින් සිටින අතර එය ජනතා පරමාධිපත්‍යය පමණක් නොව මහජනතාවගේ කැමැත්ත අනුව මහජන නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සදහා ඇති අයිතිය අහිමි කිරීමක් ලෙසයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කිර්ති තෙන්නකෝන් පෙන්වා දෙන්නේ.

එය එක්සත් ජාතීන්ගේ ප්‍ර‍ඥප්තිය පමණක් නොව මෙරට ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව ද උල්ලංඝණය කිරීමක් වන අතර, එසේ තිබිය දී, පළාත් සභා ඡන්ද විමසීම ද කල් දමා ගැනීමට උත්සහ දැරීම කිසි ලෙසකින් හෝ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී ව්‍යවහාරයක් නොවන බවද ඔහු තවදුරටත් සදහන් කරයි.

රටේ නීතියටත්, ජාත්‍යන්තර ප්‍ර‍ඥප්තීන්ටත් එරෙහි වෙමින් අත්තනෝමතික ලෙස දිගින් දිගටම මැතිවරණ කල් දමා ගැනීමට රජය දරණ උත්සාහය පුරවැසියන් සතු මුලික අයිතිය උල්ලංඝණය කිරීමක් ලෙස කැෆේ සංවිධානය වැඩි දුරටත් පෙන්වා දෙයි

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.