ප්‍රසන්නට පාර්ලිමේන්තුවේ වැඩ – වංචා නඩුව කල් යයි

තර්ජනය කොට ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග ඔහුගේ බිරිඳ හා ව්‍යපාරිකයකුට එරෙහිව චෝදනා 15 යටතේ ගොනු කර තිබූ අධි චෝදනා නඩුව විභාග කිරීම ලබන ඔක්තෝබර් 26 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා පෙරේදා (23) තීරණය කර තිබේ.

නඩුව ඊයේ සිට දින තුනක් දිගටම විභාගයට ගැනීමට නියම කර තිබු අතර විත්තිකාර පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතාට ඉදිරි දිනයන්හි පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාර සඳහා සහභාගී වීමට අත්‍යවශ්‍ය බවට පාර්ලිමේන්තු මහලේකම් විසින් නිකුත් කළ ලිපියක් සැලකිල්ලට ගනිමින් කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා විසින් නඩු විභාගය මෙදිනට කල් තැබීමට තීන්දු කර ඇත.

නඩු විභාගය සඳහා සූදානම්ව අධිකරණය මඟින් සාක්කිකරුවන් පනස් දෙනෙකුට සිතාසි නිකුත් කර තිබුණු අතර නඩුවේ පළමු සහ දෙවන සාක්කිකරු හැර සෙසු සියලු සාක්කිකරුවන් හට නැවත දැන්වූ විට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා අවවාද කර තිබේ. එම සාක්කිකරුවන්ගේ නම් හා ස්ථිර ලිපිනයන් නම් කරන ලද පොලිස් නිලධාරියෙකු වෙත අධිකරණ පරිශ‍්‍රයේදීම ලබා දෙන ලෙසටද නියම කර ඇත.

කොළොන්නාව, මීතොටමුල්ල ප‍්‍රදේශයේ ඉඩමක පදිංචි අනවසර පවුල් 24ක් ඉවත් කොට එම ඉඩම ලබා දෙන බව පවසා ව්‍යාපාරිකයෙකු ගෙන් රුපියල් මිලියන හැට හතරක මුදලක් තර්ජනය කරමින් ලබා ගත් බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ මෙරින් ස්ටෙලා රණතුංග, ව්‍යාපාරිකයකු වන හරේෂ් කුමාර් යන අයට එරෙහිව නීතිපති විසින් මෙම නඩුව පවරා තිබිණි.

ඒ අනුව නඩු විභාගය ලබන ඔක්තෝබර් 26 වැනිදා යළි කැඳවේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.