පාපතර පුතු මරා දැම්මත් කම්නැත – සැකකරුගේ මව

giribawaපසුගිය 23 වැනි දින දහවලදී තම නිවෙසේදී පාපතරයකුගේ ග්‍රහණයට ලක්ව අකාලයේ මියගිය ගිරිබාව සාලිය අසෝකපුර පදිංචිව සිටි දහහත් හැවිරිදි සන්ධ්‍යා මධුෂානි පාසල් දැරියගේ අවසන් කටයුතු දහස් ගණනකගේ සහභාගිත්වයෙන් පෙරේදා (26දා) සාලිය අසෝකපුර පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි. ආගමික කටයුතු ගිරිබාව ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි වක්කුණුවල සරණංකර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මහා සංඝරත්නය විසින් සිදුකරන ලදී.

‘උදේ සවස බුදුන් වඳිමින් නිරන්තරයෙන් පන්සල හා සම්බන්ධව කටයුතු කරමින් ආගම දහමට ඉතාමත් ළැදිව සිටි මේ දියණියගේ හදිසි වියෝව බුද්ධ චීවරය දරා සිටියත් දුක වේදනාව ඉවසාගන්න අමාරුයි. ඇය ගැන ඇයගේ ගතිගුණ ගැන මා දන්නා ඉතාමත් යහපත් දේ පිළිබඳව වචන රාශියක් ගොනු කරන්න පුළුවන්. ඒ තරමට මේ දියණිය නිහතමානීයි. එහෙත් සිදුවිය යුත්ත දැන් වෙලා ඉවරයි. අපට ඉතිරිව ඇත්තේ ඇය වෙනුවෙන් පින් පමුණුවීම පමණයි’ යනුවෙන් වක්කුණුවල සරණංකර හිමියෝ පැවැසූහ.

රාජාංගණය රතනවංශ හිමියන් අනුශාසනාවක් කරමින් ‘අසීමිත ආශාවන්ගෙන් වැඩිවුණු ලෝකයක අද ජීවත් වන අපට ජීවිත ආරක්ෂාව සපයා ගන්නේ කෙසේද කියලා මේ දියණියගේ අභාවයත් සමඟ බොහෝදුරට සිතන්න ඕන කාලය එළැඹිලා තියෙනවා. මේ දියණියගේ අවාසනාවන්ත මරණය සිදුවෙලා දින දෙකක් යෑමටත් පෙර රක්වාන ප්‍රදේශයේත් මෙවැනිම දියණියකට වූ ඉරණම ඇසුවම මේ බෞද්ධ රටේ මේ තරම් අපරාධ සිදුවීම් ඉතාමත් අභාග්‍ය සම්පන්න සිදුවීම් ලෙසයි සංඝරත්නය දකින්නේ. මේ තරම් බණ කියන බණ අහන රටක් ලෝකේ වෙන කොහේවත් නැහැ. එවැනි රටක මේ වගේ අපරාධ වෙන්නේ ඇයි කියන එක අද විශාල ප්‍රශ්නයක්.

මේ අවස්ථාවේදී මේ ඝාතනය සිදු කළ සැකකරු වන අසල නිවෙසක පදිංචිව සිටි සමන් තිලකරත්න යන අයගේ මව වන කුසුමාවතී යන අය විසින් තම පුතා එල්ලා මරා දමන ලෙස සඳහන් කරන ලද ලිපියක් රාජාංගණයේ රතනවංශ හිමියන් විසින් ඉදිරිපත් කරන ලදී.

එහි අවසානයේ, ‘මෙහි රැස්ව සිටින ලොකු කුඩා සෑම දෙනකුගේ ඇස්වලින් වැටෙන සෑම කඳුළු බිඳුවකටම පාපතර පුතෙක් බිහි කළ පවට මා සමාව අයැද සිටිමි. තවද මේ සාහසික මිනීමරුවා එල්ලා මැරීමට මාගේ කිසිම අකැමැත්තක් නොමැති බවට ඔබ සියලු දෙනාටත් ගරු අධිකරණයටත් ප්‍රකාශ කර සිටිමි’ යනුවෙන් සඳහන් කර මෙයට අපරාධකරුගේ මව කුසුමාවතී යනුවෙන් අස්සන් කර තිබිණි.

සන්ධ්‍යා මධුෂානිගේ අවසන් කටයුතු සිදුකරන මොහොතේ අතිවිශාල ජනකායක් එයට සහභාගි වී සිටිය අතර ගිරිබාව හා තදාසන්න ප්‍රදේශයන්හි සියලු වෙළෙඳ ව්‍යාපාර වසා දමා තිබිණි. කලබලකාරී තත්ත්වයක් ඇති වේ යැයි යන සැකය මත විශේෂ පොලිස් ආරක්ෂාවද යොදා තිබිණි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.