පාර්ලිමේන්තුව ලබන සතියේ විසුරුවා හරීද?

 

 

 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ආණ්‌ඩුව තුළ මත ගැටුමක්‌ හටගෙන තිබේ. ඉක්‌මනින්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු යෑයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාපය ප්‍රකාශ කරන අතර ආණ්‌ඩුවේ ශ්‍රීලනිප ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, ඩිලාන් පෙරේරා, එස්‌. බී. දිසානායක ඇතුළු පිරිසක්‌ පවසන්නේ 20 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව යයි ආණ්‌ඩුවේ ආරංචි මාර්ග පවසයි.

කෙසේ වුවද පාර්ලිමේන්තුව මේ සතියේ විසුරුවා හැරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ජ්‍යෙෂ්ඨ කැබිනට්‌ ඇමැතිවරයෙක්‌ පැවැසීය.

මේ අනුව යෝජිත නව මැතිවරණ ක්‍රමය ඇතුළත් 20 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය, තොරතුරු දැන ගැනීමේ පනත, විගණන කොමිෂන් සභා පනත් කෙටුම්පත, සම්මත කර ගැනීම ඉදිරි මහ මැතිවරණයෙන් පසු තේරීපත්වන පාර්ලිමේන්තුවට පැවරෙනු ඇතැයි එම ඇමැතිවරයා කීය.

නව මැතිවරණ ක්‍රමය ඉක්‌මනින් සම්මත කර ගැනීම අවශ්‍ය වුවත් එයට සෑම පක්‍ෂයකින්ම පොදු එකඟතාවක්‌ ලබා ගැනීමට නොහැකිවී තිබේ. එබැවින් මෙම පාර්ලිමේන්තුව මගින් 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි වනු ඇත. අප්‍රේල් 23 දායින් පසු ආණ්‌ඩුවේ කාලය අවසන්වී ඇති බැවින් ඒ නිසා දැන් කළ යුතුව ඇත්තේ පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැරීම බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර පසුගිය සතියේ විදේශීය ජනමාධ්‍යවේදීන් සමග පැවැති හමුවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබුණේ මෙම පාර්ලිමේන්තුවට අලුතින් පනත් කෙටුම්පත් ඉදිරිපත් නොකරන බවයි.

 

විපක්‍ෂය විසින් මහබැංකු අධිපතිවරයාට සහ මුදල් ඇමැති වරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනා දෙකක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති අතර ඒවා ඉක්‌මනින් විවාදයට ගන්නා ලෙස හෙට (18) පැවැත්වෙන පක්‍ෂ නායක රැස්‌වීමේදී ඉල්ලා සිටීමට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය තීරණය කොට ඇත.

 

මෙම විශ්වාසභංග යෝජනාවලට මුහුණදීමට ද ආණ්‌ඩුවට වැඩි ඡන්ද සංඛ්‍යාවක්‌ නොමැති බැවින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඉක්‌මන් කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්‌සත් ජාතික පක්‍ෂයේ අදහස වී තිබේ.

 

මේ අතර පසුගිය බදාදා පැවැති කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැර ජුලි මාසයේදී මැතිවරණය පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවද ආණ්‌ඩුවේ ආරංචි මාර්ග කියයි. සමරවීර මහතා ජුලි මාසයේ මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා ඇත්තේ සැප්තැම්බර් මාසයේදී ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහි වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමට නියමිත බැවිනි. යුද අපරාධ පිළිබඳ එම වාර්තාව ආණ්‌ඩුවට අවාසිදායක විය හැකි බැවින් මැතිවරණය ඊට පෙර පැවැත්විය යුතු බව සමරවීර මහතා පවසා ඇත.

 

කෙසේ වුවද දැන් 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයටද කථානායකවරයා අත්සන් තබා ඇති බැවින් පාර්ලිමේන්තුව විසුරුවාහැරිය යුතු යෑයි ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන් විශාල පිරිසක්‌ ඉල්ලා සිටින බවද ඉහත කී ඇමැතිවරයා පැවැසීය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.