පාසැලේ ගුරුවරියක දණගැස්වූ ආනන්ද සරත් කුමාරට ආනමඩුවසංවිධායක ධූරය මෛත්‍රී ගෙන්

ananda sarath kumaraජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂවත් නොකළ ලෙසින් 2013 ජුනි 14 වෙනිදා ආනමඩුව නවගත්තේගම නවෝද්‍යා පාසැලේ ගුරුවරියක දණගැස්සවීම නිසා අධිකරණයෙන් වරද කරුවෙකු කළ ආනන්ද සරත් කුමාරට ආනමඩුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූරය ලබා දී ඇත.

කලින් සිටි ආසන සංවිධායක ප්‍රියංකර ජයරත්න හිටපු රාජ්‍ය ඇමැතිවරයා රාජපක්ෂ පිල සමග කටයුතු කිරීම නිසා ඔහුව ඉවත් කර මෙම පත්විම සිදුකර ඇත.

එකල රට පුරා දැවැන්ත විරෝධයක් ඇති කළ ඒ අශීලාචාර ක්‍රියාව කළ ආනන්ද සරත් කුමාරට අධිකරණයෙන් දඩ ලෙස රුපියල් 50000 ක රජයේ ගාස්තුවක් ද, රුපියල් ලක්ෂ 3 ක් ගුරුවරියට වන්දි වශයෙන් ගෙවීමටද නියම කළ අතර වසර 2 ක සිර දඬුවමක්ද දී එය වසර 7 කට අත් හිටැවීය. එම අධිකරණ තීන්දුව දුන්නේ 2014 මැයි මාසයේ 12 වෙනිදා ය. එම දඬුවම දුන්නේ මහින්ද රාජපක්ෂගේ යුගයේ දී වන අතර එනිසාම මහින්ද රාජපක්ෂ ඔහුට ආසන සංවිධායක ධූරයක් ලබා නොදුන්නා පමණක් නොව ඊළඟ මැතිවරණයේ දී නාම යෝජනා ලබා දුන්නේ ද නැත. ආනන්ද සරත් කුමාර තවමත් ඉන්නේ අත් හිටැවු සිර දඬුවම් කාලය ගෙවමිනි.

 

මේ නීච ක්‍රියාව ශ්‍රී ලංකාවේ සමස්ථ ගුරුවරියන්ගේම පමණක් නොව සමස්ථ කාන්තා පරපුරේම මුහුණේ දැලි ගෑමක් සේ සලකන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසයි. ගුරුවරියක් දණ ගස්වා අධිකරණයෙන් සිර දඬුවම් සහ දඩ ගැසුම් කෑ එකෙක් ආසන සංවිධායක ධූරයකට පත් කළාට එරෙහිව රටේ සමස්ථ ගුරුවරියන් පෙළ ගස්වන බවද ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා ලංකා ඊ නිව්ස් වෙත පැවසීය. මෛත්‍රීපාල සිරිසේන මහතා මේ ආකාරයටම තමන් ශ්‍රීලනිපයේ නායක කම බාර ගැනීමෙන් පසුව මහින්ද රාජපක්ෂවත් නොකළ ආකාරයට කුඩු ලංසාටද ආසන සංවිධායක කමක් දුන් බවද ගුරු සංගම් ලේකම්වරයා මතක් කෙළේ ය.

මේ සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව සිවිල් සමාජ සංවිධාන අතරේ කතිකාවක් ඇතිවෙමින් තිබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.