පුදුවෛ රත්තිනතුරෛ කවියාගේ අනුවේදනීය හඬ

මේඉතිහාසය තුළ පුදුවෛ රත්තිනතුරෛ කියන කවියත් ජීවත් වුණා.  එපමණයි.  කවියෙකුට කියා උසස් ස්ථානයක් නෑ.  ඔහුට කියා සිංහාසනයක් නෑ.  ඔහු මේ සමාජයේ කොටසක්.  එහෙත් ඔහු, මේ සමාජයේ, ජීවත් වන යුගයේ හඬ.  ඒ හැර කවියෙකු ලෙස කිසිවකුට රැඳී සිටින්න බෑ.”

මේ පුදුවෛ රත්තිනතුරෛ කවියාගේ ම කටහඬ ය.  ඔහු මේ ඉතිහාසය තුළ ජීවත් වූ බව සත්‍යයකි.  එපමණක් නොවේ. ඔහු මේ මේ ඉතිහාසය තුළ අතරුදහන් කොට ඇති බවද සත්‍යයක් ම ය. කවියකුට කියා උසස් ස්ථානයක් අවශ්‍ය නැති බව ඇත්තකි. නමුත් ඔහුට සිදුවූයේ කුමක්දැයි සොයා බලන්නට සමාජයක් ලෙස අපට වගකීමක් නැද්ද?  වගවීමක් නැද්ද? ඔහු මේ සමාජයේ ම අවිච්ඡින්න කොටසකි. ආත්මීය ප්‍රකාශනයකි. සිංහාසනයක් නැතැයි ඔහු කීවද මම ඔබෙන් මෙසේ අසමි. පුදුවෛ කවියා ඉන්දවන්නට බංකුවක් වත් නැද්ද? තමා ජීවත් වන යුගයේ හඬ කවියා බව පුදුවෛ කියයි. ඔහු සඟවාලූයේ යුගයේ හඬ සඟවාලන්නටද?

දැන් මම යළිත් ඒ නිශ්චිත ප්‍රශ්නය අසමි. පුදුවෛ රත්තිනතුරෛ නම් වන හෘදයාංගම මිනිසාට කුමක් සිදුවීද? පීඩිත ජාතියක වේදනාව, අපේක්ෂාව මෙන්ම ආදරයද සජීව ප්‍රපංචයක් ලෙස සමජය හමුවේ අවදි කළ ඒ උත්තුංග කවියාට කුමක් සිදුවීද?

1970 සිට සංගෘහිතව දිගහැරුණු පුදුවෛගේ සමස්ථ කවිය නාභිතගතව තිබුණේ පවිත්‍රත්වය වෙත ය; ඒ කවි ගමන් කරමින් තිබුණේ පාරිශුද්ධත්ව ය වෙත ය. කවි කෙරෙන් පැන නැඟුණේ අලංඝනීය ස්වරයකි.

 

 

 

‘‘පුදුමයක් නෑ පුදුවෛ’’

 

පුදුවෛ වරක් මෙසේ ලීවේ ය.

”ශ‍්‍රී පාද කඳු මුදුනින් පමණි මා
හිරු උදාව දකින්නට ප‍්‍රිය කරන්නේ
එම අයිතිය මට අහිමි නො කරන්න ”

ශ්‍රී පාදයෙන් ඉර සේවය දකින්නට සිටි මිනිසෙක් ජාතික විමුක්ති අරගලයක අධ්‍යාත්මීය ශක්තිය මුදාහරින තත්වයකට පත්කරන ලද්දේ දකුණ යැයි මම ඔබට පවසමි.  කළකිරීම හා අපේක්‍ෂා භංගත්වය අතින් ගෙන දෙමළ ජාතික අරගලයට පිවිසෙන්නට පුදුවෛ ට පාර තනා දුන්නේ අතිමහත් ලෙස පටු වූ ‘‘ලාංකීය සිංහල කොමියුනිස්ට්වාදයයි‘‘. අසන්න පුදුවෛගේ හඬ.

‘‘මා කොමියුනිස්ට් පක්‍ෂයේ ඉන්න යුගයෙදි මම කීවා මම ශ‍්‍රී ලාංකිකයෙක් කියලා.  එතකොට සිංහල මහා ජාතිවාදය කීවා, නෑ උඹ ශ‍්‍රී ලාංකිකයෙක් නෙමෙයි, උඹ දෙමළෙක් කියලා.  මම නැවත නැවතත් කීවා, නෑ මම දෙමළෙක් නෙමෙයි, මම ශ‍්‍රී ලාංකිකයෙක් කියලා.  නෑ උඹ දෙමළෙක්, ඔවුන් කීවා.  පසුව මම කියන්න ගත්තා , ”ඔව් මම දෙමළෙක්” කියලා.   එතකොට ඔවුන් කියනවා, නෑ නෑ උඹ දෙමළෙක් නෙමෙයි, උඹ ශ‍්‍රී ලාංකිකයෙක් කියලා.‘‘

පුදුවෛගේ වචන වලට වඩා විශාල යාථාවක් ඔබ සතුව තිබේ නම් ඉදිරිපත් කරලන්නැයි මම ඔබට පවසමි.  ඉදින් ඔහු සමු ගත්තේ ය. දකුණනි.  මෙසේ කියමිනි.

‘‘පුංචිම පුංචි දූපතක්
රන්වන් රන් දූපතක්.
මොන තරම් පැහැසරව තිබුණි ද
අපේ මේ දූපත.
දුම්රියෙන් යද්දී දිස් වන
ඒ දසුන් පෙළ දුටුවත් ඇති
සා පිපාසා නිවෙයි.

කළු කපා අඳුර, වැටෙන විට ප‍්‍රභාතය
සීතලේ නික්මෙයි කොටුවෙන්
යාල්දේවී දුම්රිය.‘‘

 

ඔහු යාල්දේවියෙන් නික්ම ගියේ ය. වේදනාවෙනි. ඒ වේදනාවේ පදනම වාමාංශික මුහුණු පළඳාගෙන සිටි සිංහලයා ය. සිංහල බෞද්ධයා ය.  දකුණ හා අත්‍යන්තයෙන් ගැටගැහී සිටි බරපතලම අධ්‍යාත්මික මිනිසා දකුණට අහිමි වූයේ එලෙසිනි.  ඔහු සිංහල සමාජයේ යට කලිසම් තෙත් කළ දෙමළ විමුක්ති කොටියෙක් නොවී ය.  ඔහු දේශපාලන න්‍යාය දැන උගත්තේ ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයෙනි. පසුව පුදුවෛ එහිම චීන පාර්ශවයේ උද්යෝගිමත් ක්‍රියාකාරිකයකු විය.  ඔහු දකුණේ වාමවාදී දේශපාලනයෙන් මිදී උතුර හා ගැටගැහීමට නිශ්චිතම හේතුව වුණේ  දෙමළ ජනතාව මත පැටවුණු විශේෂිත පීඩනය කෙරෙහි ව්‍යාජ වම්මුන් දැක්වූ උදාසීන ආකල්පයයි.   ඉදින් පුදුවෛ ‘සුළඟ ඇවිත්‘‘ මැයෙන් ලියූ කවියත් සමඟ යාල්දේවී දුම්රියෙන් නික්ම ගියේ ය.

‘‘වලාකුළු විත් වසා ගත් අහස
සුළඟ ඇවිත් පලවා හරින එකයි හොඳ
සුළඟ එසේ නොකර
දෑස් පියා ගෙන ඉන්නේ නම්…..‘‘

ඔහු, තමන් කවියකු බව කවියකින් කියාලන්නේ 14 හැවිරිදි වයසේදී ය.  ඒත් 1970 සිට දිගහැරෙන ඔහුගේ කාව්‍යාවලිය ලෝ පුරා වන දෙමළ සාහිත්‍යයට කිසිසේත්ම මඟහැර යා නොහැකි ය.  එහි සංගෘහිත කෘති හයකි.  ‘වානම් සිවක්කරදු‘ (අහස රතුවෙයි), ‘ඔරු සෝලනින් කාදල් කඩිදම්‘( චෝලයෙකුගේ ප්‍රේම ලියමන), ‘නිනෛවලියා නාට්කල්‘( මතකයෙන් දුරු නොවන දවස්), ‘ඉරක්ත පුෂ්පංගල්‘ (සුරක්ත පුෂ්පයෝ) , ‘උලෛකලම්‘ ( සංග්‍රාම භූමිය), සහ ‘පූවරසම් වේලුයුම් පුලුනික් කුන්ජුකලුම්‘(පූවරසම් වැටයි – දෙමළිච්චියොයි) මෙකී කෘති හයයි.

ඊට අමතරව ඔහුගේ නිර්මාණ ගැයුණු කැසට් පටයක්ද වේ. ඒ 1989 තරම් ඈතක එළිදැක්වූවකි. ‘කලත්තිල් මලර්න්දවෛ‘  නම් වූ ඒ සංගීත-හඬ පටය, ස්වකීය උපන් බිමට දැක්වූ පවිත්‍ර ප්‍රේමයක හෘදය සාක්ෂිය සහිතව අඩදැණිව හමා එන නින්නාදයක් වැන්න . ඔහු ගීත ලියූ බව සැබෑවකි. නමුත් ඔහුගේ කවි ගැයිය හැකි බවත් ඒවා කෙතරම් දෙමළ ජනයාගේ සන්තානය කැළඹීද යන්නත් මහැදුරු සිවතම්බි තරම් සාක්ෂියක් නැත.

‘පුදුවෛගෙ කවියෙන් පැනනැඟෙන සමස්ථ බලපෑම හඳුනගන්න නම් ඒවා අනිවාර්යයෙන්ම ගීත ලෙස කියවගනිමින් ඇහුන් කන් දීමට සිද්ධ වෙනවා. අන්තිම සාමාන්‍ය මිනිස්සු ඔහුගේ කවි ඉතා සීරුවෙන් මෙන්ම සාවධානව ඇහුන්කන් දෙන හැටි මං ඇස් දෙකට දැකල තියෙනවා‘‘

මෙසේ සාක්ෂි සපයන්නේ දෙමළ පඬිවර මහැදුරු කාර්තිගේසු සිවතම්බීන් ය.  ඔහුගේ සෑම කවියක්ම පාහේ දෙමළ අධ්‍යාත්මය හා සංසාරගතව කා වැදුණු කෙළ සුවහස් විරිත් සමඟ ගණුදෙණු කළ බව මම පවසමි.  ඒ බොහෝ කවි ගැයිය හැකි වීම නිසා පීඩිත දෙමළ ආත්ම අතර නිෂ්පත්තිකර විය.  කලාවේ පරමාර්ථය සමාජය ඥානනය කිරීම නම් එය උපරිම ලෙස ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට පුදුවෛගේ කවියට හැකි විය. වරක් මහැදුරු සුචරිත ගම්ලත්තුහුද පුදුවෛගේ නිර්මාණවලියේ එන පුදුම එලවන සුළු මනුෂ්‍යත්වය ගැන සාක්ෂි දැරූ හ.  අප මෛත්‍රී වඩන්නේ මෙවන් අප්‍රමාණ කවියකු, අතිශයින් සංවේදී මිනිසකු අමතක කර දමන්නට හැකි ලංකාවක ය.

සාම සමාලාප අවධියේ යාල්පානමේ අප හමුවූ මොහොතක මම,  තහනම් කරන ලද මගේ කෘතියක් වන ‘මේරි නම් වූ මරියා‘ ඔහු අත තැබුවෙමි.  ඔහු ස්වකීය ‘උලෛකලම්‘ කෘතිය අතටගෙන කවියක කොටසක් ලියා අත්සන යොදා එය මා අත තැබූවේ ය.  පුදුවෛ මට දුන් ඒ කෘතිය පරිවර්තනය පිණිස මිත්‍රයකුට දුනිමි.  ඔහු විසින් පරිවර්තිත පුදුවෛගේ කවි මා මෙතෙක් නොදැක්කද,  ඒවා ඔහු පරිවර්තනය කරනු ඇතැයි මම තවමත් විශ්වාස කරමි. එසේම පුදුවෛ මට දුන් පොත ඔහු අත නිරුපද්‍රිතව ඇතැයිද අදහමි. ‘උලෛකලම්’ යනු පුදුවෛ විසින් අඛන්ඩව ‘විඩුදලෛ පුලිහම්‘ පත්තරයට ලියැවුණු කවියයි.  ඔහු එකී කවිය පත්තරයට ලියුවේ පුදුවෛ නමින් නොවේ, ‘වියාසන්‘ නමිනි.  පුදුවෛගේ කවියේ විශ්මය වන්නේ එය කෙතරම් ප්‍රවණතාත්මක වන්නේ වුව අපේක්ෂාව හා මානව ප්‍රේමය සම්මිශ්‍රණය වී තිබීමයි.  එසේම පුදුවෛගේ කවිය නිතරම තමන් හුස්ම ගන්නා වායුගෝලයට සමාන්තරව පැන නඟින්නේ වෙයි.

pudu

 

 

ඔහු දකුණ හා ගැට ගැසී සිටි අතීතයේ ඔහුගේ කවිය දකුණේ අධ්‍යාත්මය ස්පර්ෂ කරන්නේ විය. මේ ඔහුගේම වචනයි.

‘‘කොතැනක ජනතාව වධ බන්ධන වලට ලක් වෙනවද, ඒ සෑම තැනකම එයට එරෙහිව මම, මගේ හඬත් නඟනවා. 1971 ජවිපෙ කැරැල්ල ගැන පළමුවෙන්ම දෙමළ කවියක් ලිව්වෙ මම.

71 අවුරුද්ද
ශ්‍රී ලංකාවට
තීරණාත්මක වේ අතිශයින්ම……
ජනතා විප්ලවයකට
තිලකය තැබුවෙ 71යි…..

ඒ කවියේ එලෙස කියැවෙනවා. එය වැරදි විය හැකියි. ඒත් මෙම දේශයේ කම්කරු පංති විප්ලවයක් කළ හැකිය යන ආදර්ශ සිහිනයක් මගේ හිත තුළ තිබුණා.  පසුව නැවත නැවතත් අපේ සමාජයේ පවතින පීඩනයට එරෙහිව හඬ නැඟූ පුදුවෛ රත්තිනතුරෛ යන කවියාට අපේ දේශය තුළම තමන් නියෝජනය කළ ජාතිය, මහා ජාතිය විසින් පීඩාවට පත් කරන විට ඊට එරෙහිව හඬ නැඟීමේ අවශ්‍යතාවක් ඇති වුණා.’’

මා පුදුවෛ හමුවූයේ සටන් නැවතුණු මොහොතකය. එවන් මොහොතක කවිය කෙබඳු හැඩතලක් ගනු ඇද්ද?

‘‘කලාව හා සාහිත්‍යය ඒ ඒ යුග වල කැඩපත. යුද්ධය සඳහා සාහිත්‍යයක්, කලාවක් කියා දෙයක් කිසිවිටෙකත් නෑ. ඒ ඒ යුග වල සංවේදීත්වය කුමක්ද, සහෘදයන් සමඟ සංවාද කරන්නේ කෙළෙසද, ඒවා තේමා කරගත් නිර්මාණ බිහි වීමයි සිදු වන්නේ. යුද්ධය අපට බල කළොත් යුද්ධයට මුහුණ දීමට ඒ ආශ‍්‍රිත නිර්මාණ බිහිවීම වළක්වන්න බැහැ.  ඒකයි නිර්මාණකරණයේ ස්වරූපය.  දෙමළ ඉතිහාසය තුළ සෝල, පල්ලව කියා කාලවකවාණු තිබුණා. සෝල යුගයේ යුද්ධය ආශ‍්‍රිත දේ බිහි වුණා. පල්ලව යුගයේ බැතිය දනවන නිර්මාණයි බිහි වුණේ.

‘‘එක් කාලයක ශ‍්‍රී ලංකාව අපේ රට කියා කවි ලීවා.  ඒ කාලයේ යුද්ධය ගැන ලියවුණේ නෑ.  පස්සෙ කාලෙක ලංකාව දෙ කඩ විය යුතු නැතැයි ලිව්වා. ඒ අයිතිය අපට අහිමි කරලා යුද්ධයට අපව කැඳවූවා. ඊට පස්සෙ අපි අතින් ලියවුණේ යුද්ධය පිළිබඳ තේමාවන්. දැන් සාමය පිළිබඳ ඉඟියක් ලැබිලා තියෙනවා. මේ නිශ්චිත මොහොතෙ අපි තුළින් මතු වෙන්නෙ සාමය සඳහා වන තේමාවන් රැගත් නිර්මාණ. කාලය අපිට කුමක් කළ යුතු දැයි බල කරන විට අපි ලියන්නෙ ඒ ගැන.  රුසියානු විප්ලවය සිදු නො වුණා නම් රුසියාවෙ විප්ලවීය  සාහිත්‍යයක් නෑ.  චීන විප්ලවය සිදු නො වුණා නම් චීනය තුළ ද විප්ලවීය සාහිත්‍යයක් නෑ. සිදුවන දෙයට සමාන්තරවයි සාහිත්‍යයක් බිහි වෙන්නෙ. ඒක තේරුම් ගැනීම ඉතාම වැදගත්.’’

අතුරුදහන් කර දමා ඇත්තේ මෙවන් කවියෙකි.  ලංකාව වනාහී යුද අපරාධ සිදුකළ රටක් බව සාක්ෂි සහිතව තහවුරු වී ඇති රටකි. ඉතිහාසයේ බලය අත්පත් කරගන්නට නිර්ණායක සැපයුවේ අපරාධ හෙළිදරව් කරලීම ය. ඒත් දැන් දැන් මෛත්‍රී වඩන්නට සමාජය පෙළ ගැස්සවීමේ පූර්ව කොන්දේසිය අපරාධ හෙළිදරව් නොකිරීම ය.  ඊට හේතුවක් ඇත.  සංහාරය දෙමළ ජනතාවට එරෙහිව සිදුවීමයි.  යහපාලන සෙයියාවෙන් දූෂණ වංචා පසුපස ලුහුබඳින සමාජයට දෙමළ සංහාරය අමතක ය. අල්ලස් දූෂණ කොමිසම වෙත ෆයිල් කරගහගෙන යන විප්ලවවාදීන්ට මරාදැමූවන්ගේ සහ අතුරුදහන් කෙරුවන්ගේ ලැයිස්තු පිරුණු ෆයිල් අමතක ය. අමතක වීම සවිඥානික ය.  මන්දයත් අමතක කර දැමිය යුත්තේ ඒ දෙමළා ය. තමන් විසින්ම රතු හමුදාවන් හදා මරා දැමීමට තීන්දු කළ දෙමළා ය.

මම ඔවුන් වෙත එක අභියෝගයක් දෙමි. අවම වශයෙන් පුදුවෛ රත්තිනතුරෛ නම් කවියාට සිදුවූ දේ සමාජය හමුවේ හෙළිදරව් කරලීමට ක්‍රියා කරන්න.  විප්ලවවාදීන් වෙත යොමු කරන එකී අභියෝගය ‘පුරවැසි බලය‘ වෙතද ‘අලුත් පරපුර‘ වෙතද යොමුකරමි. ඔබේ මී ළඟ රැස්වීමකදී අවම වශයෙන් කලාකරුවකු වූ පුදුවෛ ගැන ඔබ අසනවාද?

Wilting Laughter  (මිලිනවන ප්‍රහාසය) මැයෙන් කෘතියක්ව, කීර්තිමත් සාහිත්‍ය ගුරුවරයකු මෙන්ම පර්වර්ථකයකු වූ මහාචාර්ය චෙල්වා කනගනායකම් විසින් ඉංග්‍රිසියට නැගුණු දෙමළ කවීන් තිදෙනා අතර පුදුවෛ සිටියේ ය. රුද්‍රමූර්ති චේරන්, ව.අයි.ස. ජයපාලන් සහ පුදුවෛ රත්තිනතුරෛ – දෙමළ කවියෙහි ත්‍රිමූර්තිය – මිලිනවන ප්‍රහාසය අතරමැද සිටියහ.  මෙකී දෙමළ කවීන් ලෝකයට රැගෙන ගිය කෘතිය එළිදැක්වූයේ 2009 අගොස්තුවේ ය. නමුත් පුදුවෛ කවියා2009 මැයි 18දා සිට ආගිය අතක් නැත.

 

චේරන් කවීන්ද්‍රයා

 

මම චේරන් ඇමතුවෙමි. පුදුවෛ ගැන ඔහුගෙ හඬින්ම අසනු පිණිසය. අසන්න! මේ චේරන් කවීන්ද්‍රයාගේ කටහඬ ය.

‘‘ජනතාව පුදුවෙයි නමින් දන්නා හඳුනන පුදුවෙයි රත්තිනතුරෙයි තිස් වසරකටත් එපිට කාලයක සිට මා හොඳින් දන්නා මගේ මිත්‍රවරයෙක්. ඔහුගේ ලිවීම ඇරඹුනේ ඔහු දැඩි මාක්ස්වාදියෙකුව සිටි 1970 ගණන්වලදි. විවිධ අවස්ථාවන්හිදී අපි එක්ව කවි ගායනා කළා. විවිධ සංවාද කළා. විවිධ වූ විෂයයන් කෙරෙහි අප තුළ එකඟතා තිබුණා. සමහර කරුණු ගැන අපි අඛන්ඩව වාද කළා.

‘‘නමුත් 2009 මැයි මාසෙදි ශ්‍රී ලංකාවෙ සන්නද්ධ හමුදාවන්ගේ අත්අඩංගුවට පත්ව අතුරුදන්වන තෙක්ම, සංසාරගත සහෘදකමකින් යුක්තව දෙමළ ජාතියේ නාමයෙන්, කවියේ නාමයෙන් අපි හැමවිටම මිතුරෝ වුණා.

‘‘පුදුවෙයිගේ භාවගීතයන් කෙරෙහි මා තුළ ඇති ප්‍රසාදය අප්‍රමාණයි. අනන්තයි. ඔහු විශිෂ්ඨම දෙමළ කවීන් හා ගීත රචකයින් අතර ආදරය දිනූ මිනිසෙක්. අවසන් වරට මට ඔහු මුණ ගැසුනේ 2007දී. මහාචාර්ය චෙල්වා කනගනායකම් අතින්ඉංග්‍රීසියට පරිවර්තනය වෙමින් තිබූ ඔහුගේ නිර්මාණ කියවීමට අතිමහත් උනන්දුවකින් එදා ඔහු පසුවුණේ. 2009දී එම කෘතිය ප්‍රකාශයට පත්වුණත් පුදුවෛට එය දකින්නට ලැබුන්නෑ. 2009 මැයි මස අත්ඩංගුවට ගැනුණු පුදුවෛ ඇතුලු අනෙකුත් අසීමිත පිරිසට සිදු වූ දේ පිළිබඳ දැනගන්නාතුරු අපේ හිත් වලට සහනයක් නෑ. සත්‍යය කුමක්දැයි අප දැනගත යුතුයි.  ඒක අපේ අයිතියක්. ‘‘

චේරන් කවියා සිටින්නේ පුදුවෛට පමණක් නොව ඔහු සමඟ බස් රථවලට නංවාගත් සියල්ලන්ටම සිදුවූයේ කුමක්දැයි වගකීම්සහගත ප්‍රකාශයක් නික්ම එන තුරු ය.  පුදුවෛ කවියා කෙරෙහි වන චේරන්ගේ ගෞරවය ඉමහති. අප තුළ පවා අප්‍රමාණව බැතිය වඩවයි.

මහැදුරු කනගනායකම් විසින් ඉංග්‍රීසියට නැගුණු ‘මිලිනවන ප්‍රහාසය‘ කෘතියේ වන අනෙක් කවීන්ද්‍රයා ජයපාලන්, පුදුවෛ ගැන කියන්නේ කුමක්දැයි අසන්නට මගේ හදවත නොඉවසිලිමත් ව පසුවිණ.  මම ජයපාලන්ගේ ඇමතුම එනතුරු බලා උන්නෙමි. ‍ ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ බලය විසින් දෙවතාවක්ම උපන් බිමෙන් පිටුවහල් කළ ජයපාලන් කවියා පුදුවෛ ගැන කතා කරන්නට වූයේ සුපුරුදු හෘදයාංගම කටහඬිනි.

‘‘මමයි සහෘද කිවියර පුදුවෛයි මුණගැහෙන්නෙ 60 ගණන්වලදි දෙමළ කුල ක්‍රමයට විරුද්ධව පැනනැඟෙමින් තිබුණු අරගලයක් අතරතුරදියි. භද්‍ර යෞවනයන් ලෙස අප සම්බන්ධවන්නේ එවකට කුල ක්‍රමයට විරුද්ධව යාපනේ පැවති කොමියුනිස්ට් විප්ලවයකටයි. අභාග්‍යයකට මෙන් ශ්‍රී ලාංකාවෙ කොමියුනිස්ට්වාදී යැයි සැළකුණු පක්ෂ ෆෙඩරල් ක්‍රමය පවා පිළිගත්තෙ නාමිකවයි. ඔවුන් තුළින් පිළිබිඹු වුණේ කවර හෝ ආකාරයකින් පීඩාකාරී ප්‍රවාහ සමග අත්වැල් බැඳගන්නා තත්ත්වයකුයි. 1981 යාපනේ පුස්තකාලය ගිනිතැබීම හා 1983 රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වුණු දෙමළ විරෝධී ප්‍රචන්ඩත්වය විසින් උග්‍ර ජාතිවාදී ආණ්ඩුවකට විරුද්ධව ආයුධ දැරීමට බොහෝ තරුණ කොමියුනිස්ට්වාදීන්ට බලකරනු ලැබුවා.

‘‘හයවැනි ඊළම් යුද්ධය අතරතුර  2009 මැයි 18 වැනිදා, මගේ මිත්‍රවරයා ශ්‍රී ලංකා හමුදාව විසින් අත් අඩංගුවට ගෙන අතුරුදන්කරනු ලැබුවා. එම කාලයේදී ඔහු විවිධ සෞබ්‍ය අසමබරතාවන්ගෙන් පෙළුණා. දරුණු හදවත් රෝගයක්ද ඇතුළුව. නිෂ්චිතවම තහවුරු කරන්න බැරි ආරංචි මාර්ගවලින් අප දැනගත් පරිදි බැසිල් රාජපක්ෂ පුදුවෛ මුණ ගැසී, රාජපක්ෂ පවුල්පාලනයට සහය දක්වන්නැයි ඉල්ලා තිබුණා. නමුත් පුදුවෛ, මගේ මිත්‍රයා ඒ ඉල්ලීමට තම හෘදයාංගම විරෝධය දක්වා තිබුණා‘‘.

ඉන් අනතුරුව පුදුවෛට අවශ්‍ය ප්‍රතිකාර සහ  ඖෂධ ලබා දීම තහනම් කොට තිබුණු බවත් එමඟින් ඔවුන් මරණය වෙත රැගෙන යාම සිදු වූ බවටත් අප සතු ව  පවතින තොරතුරු තවමත් තහවුරු කර ගන්නට බැරි ය. ජයපාලන් කවියා තවදුරටත් මෙසේ පවසයි.

‘‘පුදුවෛ හා සමානම කතාවක් සහෘද වී.බාලකුමාර් පිළිබඳවත් අපට සැළවී තිබෙනවා. දෙමළ ජනයා මේ සිද්ධීන්ට වගකිවයුත්තන්ගේ මංකොල්ලකාරී මුහුණු සහ හඬවල් අණාවරණය කරගැනීමේ අටියෙන් ඡන්දය පාවිච්චි කොට තිබෙනවා. පුදුවෛ, බාලකුමාර් ඇතුළු අනෙකුත් යුද සිරකරුවන් මුදා හරින්නැයි මා වත්මන් ආණ්ඩුවෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. අතුරුදන් වූවන් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටිනවා. යුද්ධයෙන් මියගියවුන් සැමරුමට දමා ඇති තහංචි ඉවත්කරන්නැයි ඉල්ලා සිටිනවා‘‘

ජයපාලන්ගේ කාව්‍යාත්මයේ හඬ මාරියාවක් සේ නැඟ එයි. මම ඔහු වළක්වාලමි. පුදුවෛ සොයා යනු පිණිස ය. බාර වූ පුදුවෛ ඇතුළු පිරිස බස්රථවල නංවාගෙන රැගෙන ගිය බවට පැහැදිලි සාක්ෂි තිබේ.   යෝගරත්නම් යෝගී ගේ බිරිඳ ජයවතී උගත් පාඩම් කොමිසමට ලබා දුන් ප‍්‍රකාශයන්හි සඳහන් පරිදි වට්ටුවාහල් හිදී හමුදා අත්අඩංගුවට පත් ප‍්‍රධානීන් අතර පුදුවෛ රත්නතුරෛ කවියාද සිටිය බව පැහැදිලි ය.  එදා යෝගී, පුදුවෛට අමතරව ලෝරන්ස් තිලකර්, බේබි සුබ්‍රමනියම් ඇතුළු විශාල පිරිසක් සිටි බව පැහැදිලි ය. දැන් ඉතින් ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි හෙළදරව් කළ යුතු නොවන්නේද?

මම ඔහු මෙනෙහි කරමි.  අතීතය ගොනු කරමි. විටින් විට කවි ලියමි.  එත් මට මගේ වරදකාරී සිංහල හෘදය සාක්ෂියෙන් මිදෙනු නො හැකි ය. කවියෙක් යනු කවරෙක්දැයි එදා මා ඇසූ පැනයට පිළිතුරු දීමට ප‍්‍රථම ඔහුගේ දෙතොල’තර නැඟුණු සෝපාහාසාත්මක මඳහස තවමත් මා සිත වේදනාවෙන් කළඔවාල යි. ඒ වේදනාවේ සිතුවිලි අතරින් ඔහුගේ නිරවුල් හටහඬ තවමත් නිනද වේ. පුදුවෛගේ ඒ සදාතනික කටහඬ මගේ සන්තානයෙන් පැහැර ගැනීමට කිසිවෙකුටත් නොහැකි ය.☐

මංජුල වෙඩිවර්ධන


© JDS

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.