පේරාදෙණියේ අරුණාචලම් හි කල් ගෙවූ චීන ඇදුරා

මට මුලින්ම මින් හමු වුනේ අරුනාචලම්  කනියේදී, එදා ඇරඹි ඇසුර ඔස්සේ චීන ජනදිවියේ අහු මුළු හොයා බලන්න මග පෑදුවා.මින් සමග සිටි අනෙක් චීන මිතුරා චීන ගුවන් විදුලි සේවාවේ.මේ දෙදෙනාම කතා කලේ ලියන භාෂාවට සමීප සිංහලයක්.ඒ නිසා ඒ කථා බහ අපිට අපුරුවක් ගැන දුන්නා.

අන්තර් ජාලයේ පේරාදෙණි අතීතය හොයා බලන  මේ සටහන දුටු විට මතක් වුනේ අරුණාචලම් පරිප්පු හොද්ද සමග පාන් භාගයක්  කමින් අප කළ කතා බහ.

මේ වන විට අක්බාර් පාලම යටින් බොහෝ ගං දිය ගලා යන්නට ඇත.එහෙත් ඒ මිහිරි මතක කාලයට යට නොවේ.

10536712_616152405166497_609520511089095094_o

 

”මට ශ‍්‍රී ලංකාව උපන් බිම වාගෙයි. දැන් මම වැඩිපුර ම ආශ‍්‍රය කරන්නේ ලාංකිකයෝ. මෙහේ ඉන්න අය මට සලකන්නේ චීන ජාතිකයෙක් විධියට ම නෙමෙයි, භාගයක් සිංහල වෙච්ච අයකුට වගෙයි. අපි දකින විධිහට මෙහෙ මිනිස්සු හරිම සංවර භාවයෙන් යුතු, ආගන්තුක සත්කාර ඉතා ඉහළින් ම කරන අයයි. බෞද්ධ ශිෂ්ටාචාරය මත ගොඩ නැගුණු සිංහල ජාතිය හරි ම කරුණාවන්තයි”.

”ඒ වාගේ ම ලංකාවේ මිනිස්සුන්ගේ සාක්ෂරතාවත් ඉතා ඉහළයි. විශේෂයෙන් මේ වගේ පොඩි රටක නිදහස් සෞඛ්‍යය සහ නිදහස් අධ්‍යාපන පහසුකම් ගත්තහම ලෝකයේ අනිත් රටවලටත් ආදර්ශයක්. සමාජවාදී රටක් වූ චීනයේ පවා උසස් පෙළ, විශ්වවිද්‍යාල අධ්‍යයන පහසුකම් මුදල් ගෙවලා තමයි ලබා ගන්න තියෙන්නේ”. යැයි ඔහු ඉතා අපූරුවට සිංහල වචන උච්චාරණය කරමින් පවසයි.
ඔහුගේ නම ‘හව් වේ මින්’ ය. දැනට සබරගමුව විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ චීන භාෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා ඔහු ය. ඔහු ප‍්‍රථම වතාවට ශී‍්‍ර ලංකාවට පැමිණෙන්නේ 1983 දෙසැම්බර් මාසයේ දී යි. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂා සාහිත්‍යය සහ බුදුදහම හැදෑරීමට අධි ශිෂ්‍යත්වයක් ලැබිමේ ප‍්‍රතිඵලයක් ලෙස යි.

”මේ මගේ රට ම යි, මේ මිනිස්සු මගේ ම අය”, මින් ගේ සිතට පාළුවක් නොදැණිනි. අරුණාචලම් ශාලාවේ තනි කාමරයක් ඔහුට
ලැබුණු අතර ඔහුගේ ආහාර පිළියෙල කර ගත්තේ ඔහු විසින් ම ය. මහාචාර්ය පී. බී. මීගස්කුඹුර, මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න, මහාචාර්ය වරකාවේ ධම්මාලෝක හිමි, මහාචාර්ය මයිකල් ප‍්‍රනාන්දු, මහාචාර්ය පියසීලි විජේමාන්න, මහාචාර්ය ඩබ්ලිව්. එම්. ගුණතිලක, මහාචාර්ය ආරිය රාජකරුණා, මහාචාර්ය උදය ප‍්‍රශාන්ත මැද්දේගම, වැනි මහා වියතුන්ගෙන් සිංහල භාෂාව ඉගෙන ගත් ඔහුට මහාචාර්ය ලිලී ද සිල්වා, මහාචාර්ය චේතිය විතානාච්චි, මහාචාර්ය යතගම ධර්මපාල හිමි වැනි වියතුන්ගෙන් පාලි භාෂා සාහිත්‍යය සහ ථෙරවාද බුදුදහම පිළිබඳ දැනුම ලැබුණි.

මේ කාලයේ මින්ට මහාචාර්ය සරත්චන්ද්‍ර හඳුනා ගැනීමට අවස්ථාව ලැබුණු අතර චීන සාහිත්‍යය පිළිබඳ මින් විසින් ලියන ලද ලිපි සරත්චන්ද්‍රයන්ගේ පැසසීමට ලක් විය. ”මින් සිංහල අගේට ලියනවානේ, කතා කරනවානේ” යැයි සරත්චන්ද්‍ර මහතා සතුටින් කීවේ ය.

 

අරුනාචලම් මතකය

 

3_gallery_pic_4

 

 

සාර්ථක ව අධ්‍යාපනය හැදෑරූ මින් නැවත 1985 දෙසැම්බරයේ දී චීනය බලා පිටත් වන්නේ සිංහල ඩිප්ලෝමා සහතිකය ද පාලි හා බෞද්ධ සාහිත්‍ය සහතිකය ද ලබා ගෙන ය. නැවත ‘පෙයිචිං’ විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සේවයට යන ඔහු සිංහල අංශයේ අංශ ප‍්‍රධාන, උප පීඨාධිපති, විශ්වවිද්‍යාල පර්යේෂණ හා පශ්චාත් උපාධි පාලක ආදි තනතුරු රාශියක් හොබවයි.

ඔහු උපන්නේ 1955 පෙබරවාරි මස 4 වැනිදා ය. ඒ උතුරු චීනයේ කහ ගං ඉවුරේ පිහිටි පැරණි නගරයක් වූ ‘ශිආන් (Xian)’ නම් ප‍්‍රදේශයේ ය. ඔහුගේ පියා ‘හව්සංෆු’, වෘත්තියයෙන් ගමනා ගමන මණ්ඩලයේ කළමනාකරුවෙක් විය. මව පෙහෙ කම්හලක සේවය කළ අතර. මින් උපන් පසු ඇය සේවයෙන් විශ‍්‍රාම ගියා ය. මින්ට සහෝදරියක් සහ සහෝදරයෙක් ද සිටිති.

වර්ෂ 1949 දී චීනය රදළ ධනපති අත්වලින් මිදී පොදු ජන අයිතියට පැවරෙමින් තිබූ අතර, 1949ට පෙර ඔහුගේ මවගේත් පියාගේත් ජීවිත දුකින් පිරී තිබුණි. එකල මාවෝ සේතුං නමැති ශ්‍රේෂ්ඨ ජන නායකයා පීඩිත පන්තියේ යහපත උදෙසා සටන් වදින බව දැන ගත් මින්ගේ පියා වයස අවුරුදු 14 දී ජපන් ආක‍්‍රමණිකයන්ට හා චීන රදළ ධනපතීන්ට එරෙහි ව විමුක්ති හමුදාවේ භටයකු වී තුවක්කුව අතට ගත්තේ ය. කොමියුනිස්ට්වාදය පීඩිත ජනතාවගේ එක ම විමුක්ති දහම ලෙස දුටු ඔහු, කොමියුනිස්ට්වාදය හදාරමින් පීඩිතයෙන්, සූරාකෑමෙන් තොර සමාජයක් උදෙසා කැප වූයේ ය. එකල මින්ගේ මව ද විමුක්ති හමුදාවේ සෙබළියක් වූවා ය.
හව් වේ මින් කුඩා කල පදිංචි ව සිටි නිවස අවට කම්කරුවන්, වැඩ මූලිකයන්, කළමනාකරුවන් මෙන් ම රජයේ සංස්ථා ප‍්‍රධානින්ගේ නිවාස ද විය. මේ සෑම දෙනෙක් ම ඇඳුමෙන් ආහාර පානවලින් හැසිරීමෙන් සමාන වූහ. ධන තන්හාවත්, තරගයත් එකල ජනතාව අතර නොතිබිණි.

පුංචි හව් වේ මින් මුලින් ම පාසල් ගියේ ‘ශ්යැන් යං’ නුවර පිඟන් කම්හලට නුදුරින් පිහිටි පාසලට ය. පිඟන් කම්හලේ දස දහස් ගණනක් වූ සේවකයන්ගේ දරුවන් වෙනුවෙන් ඒ පාසල පිහිටුවා තිබිණි. 1961 සිට 1964 දක්වා අවුරුදු 03ක කාලයක් මින් ඒ පාසලෙන් අධ්‍යාපනය ලැබිය. එම වසර 03 දී ම ඔහු පන්තියේ දක්ෂතම ශිෂ්‍යයා විය.

පසු ව ‘ශිආන්’ නුවර මධ්‍යම මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ දි ඔහුට උසස් සාහිත්‍ය ගූරුවරයකු ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණු අතර එමගින් ඔහුට චීන මහා ලේඛක ‘ලූ ශූන්’ ගේ පොත්පත් කියවීමට අවස්ථාව ලැබිණි. සමාජ යථාර්ථය මතු කෙරුණු එම පොත් කියවීමෙන් ඔහු මහත් ආශ්වාදයක්, ධෛර්යයක් ලැබී ය. 1966 දී ඇරඹු චීන සංස්කෘතික විප්ලවයට මධ්‍යම මහා විද්‍යාල ශිෂ්‍යයකූ වු හව් වේ මින්ට ද මුහුණ දිමට සිදු විය. ඔහු තම සහෝදර ශිෂ්‍යයන් සමග කම්හලට ගොස් කම්කරුවන් සමග එක් ව වැඩ කළෝ ය. උපන් දා සිට කම්කරු පවුල් සමග වැඩුණු මින්ට මෙය අමුත්තක් නොවී ය.

විශ්වවිද්‍යාල ප‍්‍රවේශ පරික්ෂණයෙන් සමත් වූ මින්ට විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමට අවස්ථාව ලැබිණි. එහෙත් සංස්කෘතිය සහ භාෂාව පිළිබද ව විෂයයන්ට ඇඵම් කළ ඔහුගේ වාසනාවට ‘පෙයිචිං’ විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ තේරිම් කණ්ඩායම එම සතියේ ම ‘ශිආන්’ නගරයට පැම්ණි අතර, හව් වේ මින් ද ඔවුන් විසින් ඒ සදහා තෝරා ගත් එක් අයකු විය.
එහි දී අරාබි, පෘතුගීසි සහ සිංහල යන භාෂාවලින් එකක් තෝරා ගැනීමට ඔහුට සිදු විය. සිංහල, චීන බසින් උච්චාරණය වූයේ ‘සංචාලෝ’ යන නමිනි. මේ වචනය ඇසුණු මොහොතේ ම මින්ට සිහි වූයේ සංඝයා වහන්සේලා ය. ‘සංචා’ යනු සංඝයා ය. සංඝයාට බැඳුණු භාෂාවත් බුදු සමයට බැඳුණු භාෂාවත් යන අදහස ඔහු තුළ ඇති විය. බුදු දහම පිළිබඳ ඇල්මකින් සිටි ඔහු ඒ නිසා සිංහල භාෂාව තෝරා ගත්තේ ය. ඔහුගේ දෙ වන විදේශ බස ඉංග‍්‍රිසි වූ අතර දර්ශනය හා ඉතිහාසය ද ඔහුගේ විශ්වවිද්‍යාල විෂය මාලාවට ඇතුළත් විය.

 

 

එම විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ප‍්‍රමුඛාචාර්යවරයා ලෙස කටයුතු කළ සිරිපාල ලිලාරත්න මහතා යටතේ ඉතා උද්යෝගයෙන් සිංහල ඉගෙන ගත් මින් ඉතා ඉක්මනින් ඇසීම, කතා කිරීම, කියවීම, ලිවීම සහ පරිවර්තනය කිරීම ආදියට මහත් රුසියෙක් විය.

1977 දී මින් සිංහල ශාස්ත‍්‍රවේදි ගෞරව උපාධිය පළමු පෙළ සාමර්ථ්‍යයක් ලබා ගනිමින් විශ්වවිද්‍යාල ජීවිතය අවසන් කරන ලදි. එහෙත් ලීලාරත්නයන් විසින් ඔහුට සරසවියෙන් ඉවතට යාමට නුදුන් අතර, සිංහල අංශයේ සහකාර කථිකාචාර්ය තනතුරක් ඔහුට ලැබිණි. එහි දී ඔහු වඩාත් සිංහල සම්භාව්‍ය සාහිත්‍ය හැදෑරූ අතර එනිසා ම තමා තුළ ආධ්‍යත්මික වෙනසක් ඇති වෙනවා ඔහුට දැනිණි. මේ නිසා ම සිංහල භාෂාවට ඔහුගේ ආදරය වැඩි විය. ඒ කාලයේ දී ලීලාරත්න මහතා ප‍්‍රමුඛ සෙසු ආචාර්යවරුන් සමග එක් වූ මින් ‘සිංහල චීන ශබ්ද කෝෂය’ සහ ‘සිංහල පාඨමාලා ග‍්‍රන්ථ’ නිපදවූයේ ය.

පසු ව 1981 දී කථිකාචාර්ය හව් වේ මින් මහා විද්‍යාලයක ඉංග‍්‍රිසි ගුරුවරියක වූ ‘ත්සව්යැන්’ සමග විවාහ වූ අතර ඔවුන්ට දුවක් ද උපන්නා ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සාර්ථක ව අධ්‍යාපනය ලබා චීනයේ පෙයිචිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සේවයට ගිය මොහුට නැවත ශ‍්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව උදා වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් තම ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ය. ඔහුට ඒ සඳහා චීන රජය සහ හොංකොං බෞද්ධ සංවිධානය විසින් ශිෂ්‍යත්වයක් පිරිනැමිණි. කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු සහ මහාචාර්ය තිලක් කාරියවසම් යන මහත්වරුන්ගේ උපදෙස් ලබමින් ඔහු තම ආචාර්ය උපාධිය ලබා ගැනීම සඳහා තොරතුරු එක් රැුස් කරන්නට විය. ඔහු ථෙරවාදී සම්ප‍්‍රදායයන් හඳුනා ගැනීම සඳහා ලංකාව පුරා සංචාරය කළේ ය. වෙසක් පොසොන් උත්සව නැරඹුවේ ය. ධර්ම සාකච්ඡුා, ශීල ව්‍යාපාරවලට සම්බන්ධ වූයේ ය. සුප‍්‍රකට අප‍්‍රකට බෞද්ධ ආරාම නැරඹුවේ ය. පුරා වස්තු පරීක්ෂා කළේ ය. සිංහල පාලි දහම් පොත් හැදෑරුවේ ය. අලූත් දැනුම චීන යුන්නන් පළාතේ ථෙරවාදය සමග සැසදුවේ ය. ලංකාවේ ථෙරවාදී බුදු දහම පිරිසිදු ව ආරක්ෂා වි ඇති ආකාරය ඔහුට පෙනිණි.

ඔහුගේ උපාධි නිබන්ධය කැලණිය විශ්වවිද්‍යාලය විසින් පිළිගනු ලැබිමෙන් අනතුරු ව ඔහුට එම විශ්වවිද්‍යාලයේ ම චීන භාෂා ආචාර්යවරයා ලෙස පත්විමක් ලැබෙයි. ඔහු එතැන් පටන් අද දක්වා ම අපේ රටේ විශ්වවිද්‍යාල කිහිපයක ම චීන දර්ශනය, චීන මූලාශ‍්‍ර පරිශීලනය, චීන බුදු දහම, චීන භාෂාව ආදී විෂය ක්ෂේත‍්‍ර ගණනාවක ම කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරයි. එමෙන් ම ඔහු චීන ශ‍්‍රී ලංකා සංස්කෘතික කේන්ද්‍රයේ චීන භාෂා පාඨමාලාවේ කථිකාචාර්යවරයෙක් ලෙස ද කටයුතු කළේ ය. එසේ ම බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ, ශ‍්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සහ සංචාරක මාර්ගෝපදේශකයන්ගේ සංගමයේ ද චීන භාෂාව උගන්වයි. තරුණසේවා සභාවේ සහ බස්නාහිර පළාත් අමාත්‍යාංශය විසින් සංවිධානය කළ චීන භාෂා පාඨමාලාවල ද ප‍්‍රමුඛාචාර්යවරයා වූයේ ද ඔහු ය. ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, සංචාරක මණ්ඩලය ආදී මෙරට ආර්ථිකයට ඝෘජු ලෙස සම්බන්ධ වන ආයතනවල වෙබ් අඩවි, මාර්ගෝපදේශන අත්පොත් ආදිය සැකසීමෙහි දී චීන භාෂාව පිළිබඳ උපදේශකවරයා වෙමින් අපේ රටේ දියුණුවට මහත් වූ සේවයක් මහාචාර්ය හව් වෙ මින් විසින් සිදු කර ඇත.

මීට වසර 06කට පමණ පෙර සබරගමුව විශ්වවිද්‍යාලයේ චීන භාෂා පාඨමාලාව ආරම්භ කිරීමට ඔහු පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන ලදී. මේජර් සහ මයිනර් වශයෙන් පැවැත්වෙන මෙම උපාධි පාඨමාලා සඳහා සිසු සිසුවියන් 100කට වැඩි පිරිසක් ඇතුළත් වී සිටිති.

චීන සාහිත්‍ය කෘති සිංහලට නැගී ඇත්තේ ඉතා අල්ප වශයෙන් බව මින් පවසයි. ලේඛකයන් කිහිප දෙනකු විසින් ග‍්‍රන්ථ සහ ලිපි සුළු ප‍්‍රමාණයක් සිංහලට නගා ඇති මුත් චීන සාහිත්‍ය කෘති විශාල ප‍්‍රමාණයක් ඇති බවත්, ඒවා සිංහලට මෙන් ම සිංහල කෘති චීන බසටත් නැගිය යුතු යැයි ඔහු පවසයි.

 

 

 

‘දිය කඩ ඉම’

 

මේ කාර්යභාර්ය තම දෙවුරට ගත් ඔහු, ඩබ්ලිව්. එම්. ගුණතිලක, අශෝක පේ‍්‍රමරත්න, දර්ශන රත්නායක, වැනි මහාචාර්යවරුන් සහ සේනාරත්න වීරසිංහ, වරුණ චන්ද්‍රකීර්ති යන අය සමග එක් වී කෘති රැුසක් සිංහලයට නගා ඇත. මේ කෘති අතරින් ‘සුන් ත්ස’ තුමාගේ ‘යුද්ධ කලාව’, ‘ලා ඕ ත්ස’ තුමාගේ ‘තා ඕ තචිං’, කොන්ෆියුසියස්තුමාගේ ‘ලූන් යු’ සහ ‘ශා ඕ චිං’ ග‍්‍රන්ථ ද්වය ද, ‘චීන පැරණි උපමා හා උපහාස කතා’ ආදිය විශේෂ තැනක් ගත් කෘති වේ. එමෙන් ම සිංහල භාෂාව සහ බුදු දහම පිළිබඳ විශ්වවිද්‍යාල ග‍්‍රන්ථ රාශියක් චීන බසට නගා ඇත. ‘ශුයි හු චුඅන්’ නම් කොටස් 43කින් යුක්ත චීන රූපවාහිණී ටෙලි නාට්‍ය ‘දිය කඩ ඉම’ නමින් සිංහලට පරිවර්තනය කර ඇත්තේ ද මහාචාර්ය මින් විසිනි.

ඔහු දැනට චීන භාෂාව උගන්වන, ‘ලූං හුවා’ නමින් සංස්කෘතික ආයතනයක් පවත්වා ගෙන යයි. රාජ්‍යතාන්ත‍්‍රික කටයුතුවලට, සංචාරක මාර්ගෝපදේශක-අධ්‍යාපනික කටයුතුවලට, ව්‍යාපාරික කටයුතුවලට හෝ වෙනත් කාරණාවලට චීනයට යන සහ චීනයේ සිට මෙරටට පැමිණෙන බොහෝ දෙනා පළමු ව පැමිණෙන්නේ මොහු වෙත ය. ඔහුගෙන් භාෂාව ඉගෙන ගැනිමට එන අයවලූන්ට චීන සමාජ, සංස්කෘතික දැනුම ද ලබා දීමට මහාචාර්ය මින් ලෝබ නො වේ. චීන ශ‍්‍රී ලංකා මිත‍්‍ර සබඳතා, තව දුරටත් ශක්තිමත් කිරීම උදෙසාත් චීන භාෂාව, සංස්කෘතිය හා සමාජය පිළිබඳ මනා අවබෝධයක් ඇති කරලීම උදෙසාත් චීන ත‍්‍රිපිටක බෞද්ධ ග‍්‍රන්ථ පිළිබඳ අවබෝධයක් ඇති කරලීම උදෙසාත් ‘චීන අධ්‍යයනය’ නමින් නව ශාස්තී‍්‍රය සඟරාවක් එළි දැක්වීමට ඔහු කටයුතු යොදමින් සිටින අතර, ඒ සඳහා මෙරට මෙන් ම චීනයේ ද විද්වතුන් රාශියක් එක්රොක් වී සිටින බව මින් මහතා පවසයි. අපේ රටේ විද්වතුන් රට හැර යන යුගයක බලවත් චීන දේශයේ සිට මේ පුංචි ලක්දිවට පැමිණ සිංහලූන් සමග කටයුතු කරමින් සිංහලෙන් කතා කරමින් දේශයේ රාජ තාන්ත‍්‍රික බැඳීම්වලට සම්බන්ධ වෙමින් කටයුතු කරන මෙවැනි විද්වතුන් අපට මහත් ආඩම්බරයක් සේ ම ඔවුන් රැක ගැනීම අප සතු යුතුකමක් මෙන් ම වගකීමක් ද වන්නේ ය. ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි. ආතර් සී ක්ලාක් වැනි මහා ප‍්‍රාඥයින් නොරටින් මෙරටට පැමිණ සිදු කළ මහා මෙහෙවර අපේ රටේ සමාජ පන්තියේ නව චින්තන ධාරාවක් ඇති කරලීමට සමත් වූවා මෙන් ම අපේ රට ලෝකයා ඉදිරියේ ඔසවා තැබීමට මහගු මෙහෙවරක් වු බව ඕනෑ ම කෙනකුට සරල ව වටහා ගත හැකි ය. අවුරුදු 20කට අධික කාලයක් මෙරටෙහි සිසු සිසුවියන්ගේ ඇස් පාදමින් ගුරුහරුකම් දෙමින් සිටින මේ මහාචාර්යතුමා ව තවමත් මෙරටෙහි පුරවැසියකු නො වන අතර සම්මාන පුරවැසිකමක් හෝ ලබා දෙමින් ඔහු ව රැුක ගැනීමට කටයුතු කිරීම අදාළ බලධාරීන්ට දෑස් විවර වේවා යන්න මගේ පැතුම යි.

සටහන

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.