පොලිස් පහරදීමෙන් මියගිය ශ්‍යාමන්ට සාධාරණය ඉටුවේද?

shamanඅත් අඩංගුවේ සිටියදී තැලුම් තුවාල ලබා මියගිය දෙදරු පියකුගේ මරණය සම්බන්ධයෙන් සැකපිට පොලිස් නිලධාරීන් පස් දෙනකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. පෑලියගොඩ පොලිසියේ අපරාධ අංශයේ අත්අඩංගුවේ සිටි තම සැමියා මිය ගොස් ඇත්තේ පොලිසිය විසින් පහර දීමෙන් බව මරණ පරීක්ෂණයෙන් පසු බිරිඳ ප්‍රකාශ කර සිටියාය.

පෑලියගොඩ පොලීසියේ අපරාධ අංශය මගින් විසින් අත් අඩංගුවට ගන්නා ලද රාත්‍රියේම කඩුවෙල නවගමුව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි චදික් ශ්‍යාමන් වික්‍රමාරච්චිගේ මළ සිරුර කොළඹ ජාතික රෝහලට ගෙනවිත් තිබෙන බව වෛද්‍ය වාර්තාවලින් හෙළිවේ. විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස් ඩී චන්න පෙරේරා විසින් 26 ඉරිදා පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් පරිදි 25 සෙනසුරාදා රෝහලට ගෙනෑවිත් ඇත්තේ මළ සිරුරයි. වික්‍රමාරච්චි මියයාමට හේතුව ලෙස නිගමනය කොට ඇත්තේ බරපතල තැලුම් හේතුවෙන් ශරීරයේ රුධිර සංසරණය අඩුවීමයි.

අත් අඩංගුවේදී තම සැමියා මියගොස් ඇත්තේ පොලිසිය විසින් පහර දීමෙන් බව චදික් ශ්‍යාමන් වික්‍රමාරච්චිගේ බිරිඳ මාධ්‍යවේදීන් හා කියා සිටියාය. මරණය සිදුවී ඇත්තේ මොට ආයුධයකින් පහරදීමෙන් යයි අධිකරණ වෛද්‍ය නිලධාරියා කී බවයි ඇය ප්‍රකාශ කළේ.

පහළොස් වසරකින් මෙපිට මෙවන් පහරදීමකින් වූ මරණයක් සම්බන්ධයෙන් තමන් පරීක්ෂණ පවත්වා නැතැයි වෛද්‍ය නිලධාරියා ප්‍රකාශ කළ බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඇය විලාප දෙමින් පැවසුවාය.

“දරුණු විදියට ගහලා තියෙන්නේ,” යි ඇය කියා සිටියාය. “පොලිසියේ සිවිල් ඇඳගත්තු එක්කෙනෙක් ඇවිත් අරන් ගිහින් උදේ ඉස්පිරිතාලේ ගිහින් බලනකොට මරලා දාලා. ඔලුවෙත් වැලි. මුළු ඇඟේම වැලි.”

මරණය සම්බන්ධයෙන් සැකපිට පෑලියගොඩ පොලිසියේ නිලධාරීන් පස් දෙනකු මාර්තු 6 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

පෑලියගොඩ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු පසුගිය 25 දා රාත්‍රියේ පැමිණ කටඋත්තරයක් ගැනීම සඳහා අවශ්‍ය බව පවසමින් චදික් ශ්‍යාමන් වික්‍රමාරච්චි ගෙන ගිය බව ඥාතීහු පවසති. පසු දා උදෑසන ඔවුන්ට දැනගන්නට ලැබී ඇත්තේ මියගිය දෙදරු පියා පොලිස් ස්ථානයෙන් කොළඹ ජාතික ‍රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි.

උප පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරුන් සිව්දෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සඳහන් කරන්නේ. සැකකරු පොලීසිය තුළදී රෝගී වී ඇති බවත් පසුව ඔහු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පවසන පරිදි මංකොල්ල කෑම්වලට සම්බන්ධ සැකකරුවකු සිදුකළ ප්‍රකාශයක් අනුව අත්අඩංගුවට ගත් මියගිය තැනැත්තාට පහරදී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිදරව් වී තිබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.