පොහොට්ටුව පිපෙන්න අර අදින අතර ඕප දුප ගොඩයි

prasanna-ranathungaපොදු ජන පෙරමුණේ අය ජයටම වැඩ පටන් ගෙන් ඇත. ප්‍රතිචාරත් හොඳය.පස්‌සර ආසන සම්මන්ත්‍රණ පසුගිය ඉරිදා කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග, ඉන්දික අනුරුද්ධ සහ චාමික බුද්ධදාසගේ සහභාගිත්වයෙනි පස්‌සර වයිට්‌ හවුස්‌ හෝටලයේ දී පැවැත්විණි. ඒ ගමනේ රස මුසු තැන් වාර්තා කරන ‘දිවයින’ දේශපාලන වාර්තාකරු රැස්‌වීමට සහභාගී වීමට යන අතරතුර මන්ත්‍රීවරුන් රැගත් රිය පෙළ පස්‌සර නගරයේ දී ලොකු වාහන තදබදයකට අසුවිය. තදබදය අඩුවන තුරු නතරව සිටිය දී රථයේ සිටි ප්‍රසන්න දුටු පිරිසක්‌ රථය වටකර ගත්හ. කිහිපදෙනෙක්‌ වීදුරුවට තට්‌ටු කරනු දුටු ප්‍රසන්න වීදුරුව විවෘත කළේය.

“අනේ මන්ත්‍රීතුමා, පේනවා නේද අපට තියෙන කරදරේ. පුළුවන් නම් මේ පාර හදලා දෙන්නකෝ” පිරිස අතර සිටි අයෙක්‌ ප්‍රසන්නගෙන් ඉල්ලීමක්‌ කළේය.

“පාර හදාගන්න නම් වෙන්නේ යහපාලනේ කට්‌ටියට කියලා තමයි. මොකද දැන් තියෙන්නේ අපේ ආණ්‌ඩුවක්‌ නෙමේනේ” ප්‍රසන්න කීවේය.

“අපෝ එයාලට නම් කියලා වැඩක්‌ නැහැ. පාරක්‌ තියා බෝක්‌කුවක්‌වත් හදන අය නෙමේනේ දැන් ආණ්‌ඩු කරන්නේ. කයිවාරුව විතරයි” කිහිපදෙනෙක්‌ම කීහ.

“ඒක නම් ඇත්ත තමයි.” ප්‍රසන්න ද අනුමත කළේය.

“රටට වැඩක්‌ කළොත් ඉතින් මහින්ද මහත්තයාගේ ආණ්‌ඩුවකින් තමයි. හෙට අනිද්දා මහින්ද මහත්තයාගේ ආණ්‌ඩුවක්‌ හැදෙනවානේ. එතකොට පාර හදලා දෙන්න කියලයි අපි කියන්නේ” පිරිස කීහ.

“ආ එහෙම නම් වැඩේ කෙරුණා කියලා හිතාගන්න” ප්‍රසන්න පැවසීය.

පස්‌සර සම්මන්ත්‍රණය නිමා වීමෙන් පසුව මන්ත්‍රීවරුන් පිරිස දිවා ආහාරය ගත්තේ ද එම හෝටලයේදීමය. ඒ අතරතුර පිරිස කතාබහ කළේ වෙල්ගම ගැනය.

“වෙල්ගම ඇමැතිතුමා බදුල්ලට ආවට පස්‌සේ ටිකක්‌ පාට වැටිලා වගේ” ඉන්දික කීවේය.

“අපි හිත හොඳ මිනිස්‌සුනේ මල්ලි. කොහේ ගියත් වරදින්නේ නැහැ” වෙල්ගම පැවසීය.

“අර ඩිලාන් මොකද වෙල්ගම පිටගම්කාරයා කියලා බැණ බැණ යන්නේ?” ප්‍රසන්න ඇසුවේය.

“ඩිලාන්ට තියෙන්නේ හීනමානය. එයා මට පිටගංකාරයා කියන්නේ එයා ඌවේ මිනිහෙක්‌ද. අපි දන්නවනේ පෙරේරලා සිල්වලා ඔක්‌කොම ආවෙ කොහෙන්ද කියලා. අනික ඩිලාන් ළඟට එන මිනිස්‌සු කවුරුවත් වැඩි කල් ඉන්නේ නැහැ. කාන්තාවක්‌ ආවත් ටික දවසයි. අපේ ළඟට එන අය අපිව දාලා යන්නේ නැහැ. ඒකේ හිතේ අමාරුව තමයි ඩිලාන්ට තියෙන්නේ” වෙල්ගම එසේ කීවේ පරිවාර කතාවක්‌ද කියමිනි.

බදුල්ල ගැන වෙල්ගමගේ රහස

“ඩිලාන්ලා එක්‌සත් ජාතික පක්‌ෂයේ අය එක්‌ක වෝටර්ස්‌ ඒඡ් එකේ රෑට රෑට පාටි දදා ජොලියේ ආණ්‌ඩුවේ ඉන්න ගමන් අපිට වැදි බණ කියන්න එනවා.” ප්‍රසන්න කීවේය.

“මං පිටගම්කාරයා නම් ඩිලාන් ගමේ මිනිහා වෙලත් ඇයි දන්නේ නැහැ ගිය පාර ඡන්දෙ ඉල්ලුවේ නැත්තේ? ඉල්ලුවා නම් එස්‌. බී.ලට වෙච්ච දේම තමයි වෙන්නේ” වෙල්ගම කීවේය.

“වෙල්ගම ඇමැතිතුමාට නම් බදුල්ල දාලා යන්න හිතක්‌ නෑ වගේ” ඉන්දික කීවේය.

“බදුල්ලත් එක්‌ක මට ලොකු සම්බන්ධයක්‌ තියෙනවා. ඒක මං පස්‌සේ කියන්නම්” වෙල්ගම පැවසීය.

“ඒ කාලේ වෙල්ගම ඇමැතිතුමා බස්‌වල, ලොරිවල එහෙම බදුල්ලට ආපු කාලේ පටන් ගත්ත එකක්‌ වෙන්න ඇති.” චාමික කීවේය.

“අර විනය පරීක්‌ෂණ ගැන දැන් කතාවක්‌ නැහැ නේද? ඉන්දික ඇසුවේය.

“විනය පරීක්‌ෂණ ප්‍රසන්න කිව්ව කතාව හරියටම හරි. අපිට විනය පරීක්‌ෂණ තියන්න ගියොත් නිදහස්‌ පක්‌ෂයේ අපේක්‌ෂකයාට විරුද්ධව එක්‌සත් ජාතික පක්‌ෂයත් එක්‌ක එකතු වෙලා ජනාධිපතිවරණයට ඉල්ලපු මෛත්‍රිපාල මහත්තයාට විරුද්ධව විනය පරීක්‌ෂණ හතරක්‌වත් තියන්න වෙයි” වෙල්ගම පැවසීය.

“මට මේ ළඟදි මාර වැඩක්‌ වුණානේ. මම ගමනක්‌ යන කොට ටිකක්‌ හයියෙන් ගියා කියලා පොලීසියෙන් ඇල්ලුවා. අල්ලපු රාළහාමිට මම කිව්වා පොඩ්ඩක්‌ හයියෙන් නම් ආවා තමයි. මට දඩ කොළයක්‌ දෙන්න කියලා. රාළහාමි මට කිව්වා නෑ කමක්‌ නෑ සර් පරෙස්‌සමට යන්න. දඩ කොළ ඕනේ නැහැ. හැබැයි ඔය සීට්‌ එකේ සර්ගේ අයියා හිටියා නම් දඩ කොළයක්‌ නොදී යවන්නේ නැහැ කියලා. රාළහාමිගේ කතාවට මට කටඋත්තරත් නැති වුණා” ප්‍රසන්න කීවේය.

“අයියාගේ හැටි පොලීසියේ අය පවා දන්නවා ඇතිනේ. ඒකනේ එහෙම කියන්න ඇත්තේ” වෙල්ගම පැවසීය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.