පෝද්දල බේරා ගත්තේ කවුද? ඉස්සුවේ කවුද?

රාජ උදහසින් පණ බේරාගත් පෝද්දල ජයන්ත

.

 පෝද්දල ජයන්ත  වෘත්තිය පුවත්පත් කලාවේදීන්ගේ සංගමයේ මහලේකම්වරයා ද විය. මාධ්‍ය මර්දනයට එරෙහි ව උද්ඝෝෂණය කිරීම, මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම යනාදී හේතු මත ඔහු ආණ්ඩුවේ උදහසට ලක් විය. එමෙන් ම රාජ්‍ය ආයතනවල දූෂණ වංචා අනාවරණය කිරීමේ ගවේෂණාත්මක වාර්තා සම්පාදනය කිරීම අතින් පෝද්දල ජයන්ත ඒ වන විට ඉහළ ම නමක් දිනා සිටියේ ය.

“දවසක් ආරක්ෂක ලේකම් තුමා අප සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය බව දැනුම් දී ඇතැයි ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාර මහතා කීවා. සනත් බාලසූරියත් මමත් ගියේ සභාපතිවරයාගේ වාහනයෙන්. කියන දෙයක් අහගෙන ඉඳලා එන්න කියලා ඔහු අපට යන ගමන් උපදෙස් දුන්නා.”

ආරක්ෂක ලේකම්වරයා සමඟ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා ද ඔවුන් එනතුරු බලාපොරොත්තුව සිටියේය. මේ පෝද්දල කරන විස්තරය යි. “ආරක්ෂක ලේකම්ගේ පළමු චෝදනාව වූයේ අපි ඉක්බාල් අතාස් වෙනුවෙන් පෙනී සිටීම යි. යුද තොරතුරු අනාවරණය වීමේ වරද ඔහු පෙන්වා දුන්නා. යුද මෙහෙයුම් පිළිබඳ සාකච්ඡා කරන්නේ හමුදා ප්‍රධානීන්ගේ වට මේසයක දී බවත්, තොරතුරු මාධ්‍යකරුවන් අතට පත් වී තිබේ නම් එහි වරද ඔවුන් බාර ගත යුතු බවත් අපි ආරක්ෂක ලේකම්වරයාට පැහැදිලි කළා. ආරක්ෂක ලේකම්වරයාට තරහ ගියා “මොන තාත්තලගෙ පුත්තු ද මන්ද?” ඔහු එහෙම කීවා.

අපි කීවේ අපි මැදමුලන දිහා බලාගෙන නොලියන බවයි. අත්අඩංගුවේ සිටි මවුබිමේ මාධ්‍යවේදිනී පරමේශ්වරී මෙදුනසාමි නිදහස් කිරීමට සිදු වුණේ උද්ඝෝෂණ නිසා බවයි ආරක්ෂක ලේකම් ප්‍රකාශ කළේ.“උද්ඝෝෂණ කළ පලියට අධිකරණය එහෙම කරයි ද? සාක්කි නැති නිස යි නිදහස් වුණේ” අප එහෙම කියද්දි ඔහුට හොඳට ම තරහ ගියා. “රජය විවේචනය කළ බව ඔප්පු කළ හැකි සීඩී අප ළඟ තියෙනවා” එහෙම කීවේ ලක්ෂ්මන් හුළුගල්ල. “චැනල් නයින් එකේ සීඩී අපි ළඟ තියෙනවා” අපි එහෙම උත්තර දුන්නා. මේ සාකච්ඡාව නිමා වී ඇත්තේ සතුටුදායක ප්‍රතිඵලයකින් නොවේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට එරෙහි ව මාධ්‍ය සංවිධාන පහේ සංවිධායකත්වයෙන් පැවැති අවමඟුලට 5000 කට අධික ජනකායක් සහභාගි විය. එදින දුරකථනය ඔස්සේ එල්ල වූ මරණ තර්ජන හේතුවෙන් ඊට පසු දින පෝද්දල, සුනන්ද සහ සනත් බැංගලෝරයට ගියහ. සති දෙකකට පසු ව පෝද්දල ආපසු පැමිණියේ ය. වසර 30 ක පමණ දීර්ඝ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංවිධානයේ නිල කාර්යාලය ඉදිකිරීමෙහි නිමාවක් දැකීම ඔහුගේ අපේක්ෂාව විය.

පෝද්දල ප්‍රමුඛ ඉලක්කයක්

“මාධ්‍යවේදීන්ට රැස්වෙන්න, තීන්දු ගන්න තමන්ගේ තැනක් අවශ්‍ය නිසා යි මම මීට උනන්දු වුණේ” පෝද්දල පසු ව ගොඩනැඟිල්ල ඉදිකිරීමේ කටයුතු සිදු කෙරෙමින් පැවතිණි. ප්‍රභාකරන් ඝාතනයට ලක් වූයේ මැයි 19 දා ය. යුද ජයග්‍රහණයෙන් රට ම උද්දාමයට පත් ව තිබුණි. ITN විපරම ඔස්සේ මාධ්‍යවේදීන් හා සමාජ ක්‍රියකාරිකයන් හට කොටි ලේබල් ඇලවීම ජයට ම සිදු කෙරිණ. පෝද්දල ප්‍රමුඛ ඉලක්කයක් වී ඇති බව පෙනිණි.

“මට කොටි ලේබල් ඇලවීම නිසා ඇති වී තිබෙන ජීවිත තර්ජනය ගැන ජනාධිපති, ආරක්ෂක ලේකම් හා මාධ්‍ය ප්‍රධානීන් යන සෑම අංශයකට ම ෆැක්ස් මඟින් දැනුම් දුන්නා. ඒත් ප්‍රතිඵලයක් වුණේ නෑ” මේ ලියුම්කරු ඒ දිනවල සේවය කළේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මාධ්‍ය හා සංස්කෘතික අංශයේ ය. පෝද්දල මුහුණ පා ඇති අනතුර මම දැන සිටියෙමි. ඔහු පිළිබඳ ලියූ ලිපිවල පිටපත් මම ගෙන්වා ගතිමි.

“මචං ඩලස්ටවත් මේ ගැන කියපන්” පෝද්දල මා හමු වී කීවේ ය. පෝද්දලගේ ප්‍රශ්නය පිළිබඳ සියලු තොරතුරු දුරකථනය ඔස්සේ එවක ප්‍රවාහන ඇමැතිව සිටි ඩලස් අලහප්පෙරුමට කියා සිටි මම අදාළ ලිපි පිටපත් ඔහුගේ නවාතැනට ගෙන ගොස් බාර දුනිමි. පෝද්දලගේ කරුණු කීම අනුව රාවය කර්තෘ වික්ටර් අයිවන් ජනාධිපතිවරයා සමඟ දුරකථනයෙන් කතා කිරීමේ ප්‍රතිඵල ලෙස පසුවදා සවස ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්විණ. වික්ටර් අයිවන් සමඟ ප්‍රසන්න හෙන්නායක, චූලවංශ සිරිලාල් යනාදීහු ද මීට සහභාගි වූහ.

සාකච්ඡාව යන අතර තුර එහි පැමිණි ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා ජනාධිපතිවරයාට මෙසේ කීවේ ය.

“ඉතා ම කනගාටුදායක ආරංචියක්. පෝද්දල පැහැරගෙන ගිහිල්ලා.”

“එළිවෙන්න පෙර පෝද්දල පණ පිටින් ගෙනත් ඕනෑ”

 

ජනාධිපතිවරයා වහා ම පොලිස්පතිට කතා කළේ ය.“එළිවෙන්න පෙර පෝද්දල පණ පිටින් ගෙනත් ඕනෑ” ජනාධිපතිවරයා නියෝග කළේය. මේ මොහොත වන විට පෝද්දල සුදු වෑන් රියකින් පැහැරගෙන යමින් තිබුණි. එය සිදු වූයේ මෙසේ ය. පෝද්දල ඒ වන විට පදිංචි ව සිටියේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ මාධ්‍යෙව්දීන්ගේ ආරක්ෂණ අරමුදලෙන් ලබා දෙන ලද ආරක්ෂිත නිවසක ය. එය ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටියේ ය. සැඳෑ කල බසයෙන් බැස, පයින් යමින් සිටිය දී සුදු වෑන් රියක් වීදිය හරස් වන ලෙස නවත්වා තිබෙනු පෝද්දල දුටුවේ ය. ඔහු වෑන් රියත් තාප්පයත් අතර පටු තීරය මැදින් ඉදිරියට යන්නට උත්සාහ කළේය. එවිගස වෑන් රියේ දොර ඇරිණ. පෝද්දල වෑන් රිය තුළට තල්ලු කර දමනු ලැබී ය. දොර වැසිණ. වෑන් රිය වේගයෙන් පිටත් විය.

“වාහනේට දාගත්තු ගමන් මාව පෙරළලා හිර කරලා අල්ලා ගත්තා රැවුළයි කොණ්ඩෙයි කපලා කටට දාල රෙදි පටියකින් කට බැන්දා. මගේ බඩ පපුව පාගා ගෙන කකුල් කැඩෙන්ඩ පොලු වලින් ගැහුවා. වේදනාව නිසා මගේ ඇඟ පිච්චෙනවා වගේ මට දැනුණේ. ඒ අතර ඒ අය කවුරුහරි එක්ක කතා කරන බව මට දැනුණා. “අපිටත් මේක හරි වදයක් වෙලා තියෙන්නේ. මීට පස්සේ රූපවාහිනියට කතා කෙරුවොත් ආයෙ කතා කරන්ඩ ඉඩ තියන්නේ නෑ” එහෙම කියලා වාහනේ නවත්තලා මාව බිමට ඇදල දාලා වාහනේ යන්න ගියා. ඊට පස්සේ මට සිහිය නැති ව ගියා. මම මුණින්තලා වෙලා හිටියේ. ටිකකින් මට සිහිය ආවා. කෑගැහුවට ශබ්දය පිට වුණේ නෑ.

ඊට පස්සේ මම රෙදි පටිය ගලවන්න මූණ බිම ඇතුල්ලුවා මූණ තුවාල වුණා. ඊට පස්සේ මම කෑගැහුවා. එතනින් ත්‍රීවිල් එකක් ගියා. මාව දැක්කා. තව ත්‍රීවිල් දෙකක් එක්ක ආවා. බැමි කපලා මහ රෝහලට අරං ගියා. මගේ කටින් ලේ ගියා. කකුලක් එල්ලෙමින් තිබුණේ. මහ රෝහලේ දවස් 29 ක් හිටියා. කකුල් කපල, කැඩිච්ච තැන්වලට යකඩ තහඩු දාලා තියෙන්නේ.” පෝද්දල පවසයි. පෝද්දල වෑන් රියකින් පැහැර ගනු දුටු ඔහු හඳුනන අයකු ලක්බිම මාධ්‍යවේදියකු අමතා දුරකථනයෙන් ඒ බැව් දැනුම් දී ඇත. ඒ අනුව සිදුවීම ඉතා ඉක්මනින් ප්‍රසිද්ධ විය. මිරිහාන පොලීසිය රෝහලේ දී කටඋත්තර ගැනීමේදී තම ප්‍රකාශ නිවැරැදි ව සටහන් කර ගෙන නොමැති බව පෝද්දලගේ නිගමනය යි.

ඔහු මාස 6 ක පමණ කාලයක් ශරීරාබාධවලට දේශීය වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගත්තේ ය. රට හැර යෑමට පෙර කායික දුෂ්කරතා තිබුණ ද මාධ්‍යවේදියකු හැටියට තම වගකීම පැහැර හැරීමට පෝද්දල ජයන්ත කැමැති නොවී ය. ඒ අනුව ඔහුට නැවතත් නිර්නාමික දුරකථන ඇමතුම් ලැබෙන්නට විය.

“උඹ ආයෙත් පටන් ගත්තා නේද? හිටියා ඇති ද?”

මෙ බඳු ප්‍රකාශ ගලා ආවේ ‘No number’ ඇමතුමකිනි.

ඔහු මේ පිළිබඳව ට්‍රාන්ස්පේරන්සි ආයතනයේ නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතාට දැනුම් දුන්නේ ය. වැලිඅමුණ මහතා මේ පිළිබඳ ව ඇමෙරිකානු තානාපති කාර්යාලය දැනුවත් කළේ ය. ඇමෙරිකන් තානාපති කාර්යාලයේ ජෙෆ් ඇන්ඩර්සන් මහතා පෝද්දලට විදෙස්ගතවීම සඳහා අවශ්‍ය ලිය කියවිලි සම්පාදනය කළේ ය. දින දෙකක් ඇතුළත ඔහු නේපාලයට යැවීමට කටයුතු සංවිධානය කෙරිණ. අවශ්‍ය ලියකියවිලි සම්පාදනය කෙරුණේ නේපාලයේ සිටින අතරතුර ය.

ඇමෙරිකාවේ පදිංචි කරුවෙක් 

ඔහු දැන් ඇමෙරිකාවේ පදිංචි කරුවෙකි. ආබාධිත තත්ත්වය නිසා, කායික පීඩා විඳගනිමින් රැකියාවක යෙදීමට ඔහුට සිදු ව ඇත. මෙරට දී මානසික වශයෙන් විශාල පීඩාවන්ට මුහුණ දුන් ඔහුගේ දියණිය මේ වන විට 18 වැනි වියෙහි පසු වෙයි. ඇය සරසවි වරම් ලබා ඇත. “දුව මේ අත්දැකීම ගුරුවරුන්ට කීව ම ඒ අය මවිත වුණා. එහෙම සමාජයක් ලංකාවෙ තියෙනව ද කියල ඒ අය අහනවා” පෝද්දල පවසයි. තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු නොවූ රටක මෙ බඳු අමිහිරි තත්ත්වයක් නිර්මාණය වීම අරුමයක් නොවන බව පෝද්දලගේ අදහස යි.

ශ්‍රී ලංකාවේ දී මාධ්‍ය වෘත්තිය නිසා රාජ්‍ය උදහසට ලක් ව ප්‍රහාරයකට ලක් වූ පෝද්දල ජයන්ත ගවේෂණාත්මක වාර්තාකරණය සම්බන්ධයෙන් අන්තර්ජාතික සම්මානයකින් පිදුම් ලැබුවේ ය. ආසියාවේ දැවැන්ත ම මූල්‍ය වංචාව වූ වැට් බදු වංචාව සම්බන්ධයෙන් ‘සිළුමිණ’ පුවත්පත ඔස්සේ පෝද්දල ජයන්ත පළ කළ ගවේෂණාත්මක වාර්තාව මේ සම්මානයට නිමිත්ත විය. පෝද්දල ජයන්ත ගවේෂණාත්මක වාර්තාකරණ විෂයයෙහි නිම්වළලු පුළුල් කළ අභීත මාධ්‍යවේදියෙකි. රාජ්‍ය ආයතනවල දූෂණ වංචා හෙළි කිරීම යහපත් ආණ්ඩුකරණයක් සඳහා හේතු වෙයි. එනිසා ගවේෂණාත්මක වාර්තාකරණය දිරි ගැන්වීම ආණ්ඩු කරන්නවුන්ට ද වාසිදායක ය.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.