බ්‍රිතාන්‍ය කොටි රහස් විනාශ කරයි

burn1978-1980 අතර කාලයේ LTTE සංවිධානය පිළිබඳ වාර්තා අඩංගු වූ ලිපිගොනු 195 ක් එක්සත් රාජධානියේ විදේශ අමාත්‍යාංශය නොහොත් විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය කාර්යාලය (Foreign and Commonwealth Office-FCO) විසින් විනාශ කර දමා ඇත.

මේ අනුව බ්‍රිතාන්‍යය සතුව 1978-1980 අතර කාලයේ ශ්‍රී ලංකාවේ දමිල ඊලාම් විමුක්ති කොටි සංවිධානය කළ කී දෑ පිළිබඳ කිසිදු වාර්තාවක් දැන් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් FCO සතුව නොමැත.

මෙම කාල පරිච්ඡේදය දමිල ඊලාම් විමුක්ති කොටි සංවිධානය ශ්‍රී ලංකාව තුළ උපක්‍රමීය වශයෙන් නැගී සිටීම ආරම්භ කළ සමයයි. එනම් ලංකාවේ තිස් අවුරුදු සිවිල් යුද්ධයේ ආරම්භක අවධියයි.

මෙම පියවරත් සමග බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු කාර්යාලය, සංවේදී කාරණාවලට අදාළ ඓතිහාසික ලිපිගොනු හසුරවන අන්දම ගැන බරපතළ ආන්දෝලනයක් මතු ව තිබේ.

ඒවා විනාශ කළේ කවදාද, කොහෙදීද හෝ කෙසේද යන්න පිළිබඳ විදේශ කටයුතු දෙපාර්තමේන්තුව කිසිවක් සඳහන් කරන්නේ නැත.

බ්‍රිතාන්‍යයේ ‘මහජන වාර්තා‘ පවත්වාගෙන යාමට අදාළව බලපාන නීතියක් තිබේ. ඒ, 1958 මහජන වාර්තා පනතයි. (Public Records Act 1958) මෙම පනතට අනුව රජයේ දෙපාර්තමේන්තු ඓතිහාසික වාර්තා සංරක්ෂණය කිරීමට නීතියෙන් බැඳී සිටියි. මේ අනුව බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත විසින් තොරතුරු නිදහස පිළිබඳ පනත යටතේ කළ ඉල්ලීමක් මගින් (Freedom of Information request) එම ලිපි ලේඛන විනාශ කිරීම පිළිබඳ විස්තර ඉල්ලා සිටියේය. එක්සත් රාජධානිය තුළ තොරතුරු පනත හඳුන්වන්නේ ‘තොරතුරු නිදහස පිළිබඳ පනත‘ යනුවෙනි. මෙම තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ මෙම ලේඛන සංරක්ෂණය කරන ලෙසට ඉල්ලීමක් නොතිබුණු බවයි. එසේම මෙම ලිපිගොනුවල අන්තර්ගතය ‘ප්‍රතිපත්තිමය ස්වභාවයකින් යුතු විය හැකි අතර, පරිපාලනමය හෝ විනාශවනසුලු ඒවා‘ විය හැකි බව ද ඔවුන් පවසා ඇත.

‘‘ස්ථිර ලෙස සංරක්ෂණය කිරීමට තෝරාගෙන නැති ලිපිගොනු විනාශ කළ හැක“ යනුවෙන් ද ඔවුන් පවසා තිබේ. ඒ අනුව FCO විසින් තෝරාගත් සමාගමක් හරහා මෙම ලිපිගොනු විනාශ කර ඇත.

‘‘නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ වාර්තා එක්රැස් කිරීම හා සංරක්ෂණය කිරීමට දමිල ප්‍රජාව විශේෂ වෙහෙසක් ගන්නවා.“ ලන්ඩනයේ කිංස්ටන් හි පිහිටා තිබෙන දමිල තොරතුරු මධ්‍යස්ථානයේ විධායක ලේකම් වයිරමුත්තු වර්ධකුමාර් ගාඩියන් පුවත්පත සමග පවසයි. ඔහු තවදුරටත් පැවසුවේ මේ කාලයේ බ්‍රිතාන්‍යය විසින් ශ්‍රී ලංකා හමුදාව වෙත ලබාදුන් ආරක්ෂක පුහුණුව හා ආයුධ ලබාදීම් පිළිබඳ තොරතුරු වසංකර දැමීම සඳහා මෙම ලිපිගොනු විනාශ කරන්නට ඇති බවයි. SAS හෙවත් එක්සත් රාජධානියේ විශේෂ ගුවන් සේවාව සහ MI5 හෙවත් බ්‍රිතාන්‍ය බුද්ධි අංශය, 1978-80 අතර කාලයේ ශ්‍රී ලංකාවේ සිදුවූ එල්ටීටීඊ විරෝධී මෙහෙයුම් සඳහා සිය දායකත්වය ලබාදී ඇති බවට විශ්වාස කෙරේ. මේ පිළිබඳ වාර්තා වශයෙන් පැවතියේ මෙසේ විනාශ කරන ලද ලිපිගොනු පමණක් වූ අතර, එම වාර්තාවන්ගේ අන්තර්ගතය පිළිබඳව ද මේ දක්වා කිසිවක් අනාවරණය වී තිබුණේ නැත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.