බොදු බලයෙන් සිංහල බෞද්ධයින්ට සාධාරණ ඉටුවේද?

 

 

 

වෙසක්‌ සතිය ගෙවී යද්දී බොදුබල සේනාව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා මුණගැසීම පිළිබඳව බොහෝ දෙනාගේ අවධානයට යොමුවිය. ඇත්තෙන්ම බොදුබල සේනාව මැතිවරණ කොමසාරිස්‌ මුණගැසුනේ වෙසක්‌ සතිය ගැන කථා කරන්නට නොව දේශපාලන පක්‍ෂයක්‌ පිහිටුවීම ගැන කථා කරන්නය. දැන් සමාජ වෙබ් අඩවිවල බොදුබල සේනාව දේශපාලන පක්‍ෂයක්‌ පිහිටුවීම සාධාරණද නැද්ද, එයින් සිංහල බෞද්ධයින්ට සාධාරණයක්‌ ඉටුවේද යන්න පිළිබඳව මත සමීක්‍ෂණයක්‌ද සිදුකෙරෙයි.

බොදුබල සේනාව පිහිටවූයේ බෞද්ධයින් වෙනුවෙන් හඬ නැඟීමටය. බුරුමයේ බෞද්ධයින්ට වන අසාධාරණයන්ට එරෙහිව මෙන්ම මුස්‌ලිම් ව්‍යාප්තවාදයට එරෙහිව අශ්වින් විරාතු හිමියන් හඬනැඟූ ආකාරයටම මෙරට බෞද්ධයින් මුස්‌ලිම් ව්‍යාප්තවාදය හමුවේ පීඩාවට පත්වන අයුරු ගැන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ හඬ නැගූහ. සැබවින්ම ඥනසාර හිමියන්ගේ හඬ ප්‍රබල වූ නිසාම බොදුබල සේනාව වඩාත් ආකරෂණීය බෞද්ධ ජාතික ව්‍යාපාරයක්‌ විය. සෝම හිමි අභාවයෙන් පසු ඇතිවූ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය දේශපාලන මඟකට පිවිසි 2004 මාර්තු මාසයේදී ජාතික හෙළ උරුමය බිහිවිය. 2004 අප්‍රේල් මාසයේදී පැවැති මැතිවරණයේ දී ජාතික හෙළ උරුමයට ලක්‍ෂ පහකට අධික ඡන්ද ප්‍රමාණයක්‌ පූජා කරනු ලැබීය. 2004 මහ මැතිවරණයේදී භික්‍ෂුන් නව දෙනෙක්‌ ධර්ම රාජ්‍යය ඇති කිරීම උදෙසා පාර්ලිමේන්තුවට වැඩම කරනු ලැබිණි. භික්‍ෂුන් පාර්ලිමේන්තු මන්ත්‍රීකමක්‌ ලබාගත් විට ධර්ම රාජ්‍යය බිහිවූවද යන්න අද නම් ප්‍රශ්නයකි. එදා ජාතික හෙළ උරුමය ප්‍රමුඛව හඬනැංවූ අන්‍යාගමීකරණය වැළැක්‌වීමේ පනත පවා 2010 පාර්ලිමේන්තුව විසුරුවනතෙක්‌ සම්මතකර ගැනීමට නොහැකි විය. එයට ස්‌වභාවික මරණය අත්විය. ඒ අනුව ජාතික හෙළ උරුමයේ ධර්ම රාජ්‍ය ව්‍යාපාරය ලොප් වූ බව පැහැදිළිය. වර්තමානයේ ජාතික හෙළ උරුමය දේදුනු සන්ධානයක සාමාජිකයින් නිසා ධර්ම රාජ්‍යයක්‌ ගැන කතා කරන්නේ නැහැ.

 

 

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වීමෙන් පසුව හෙළ උරුමය මහරගමදී විශේෂ සම්මේලනයක්‌ පවත්වනු ලැබීය. එහිදී හෙළ උරුමය මහලේකම් චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ ඉදිරියේ දී හෙළ උරුමය ක්‍රියාකරනු ලබන්නේ ලක්‍ෂ 62 ක ඡන්ද දායකයින් ලබාදුන් ජනවරමට අනුව බවය. එම සමුළුවේ සෝම හිමියන්ගේ ඡායාරූපයක්‌ තබා තිබුණද ඉදිරියේදී හෙළ උරුමය කටයුතු කරනුයේ ශ්‍රීලාංකීය ජාතිය වෙනුවෙන් මිස සිංහල බෞද්ධ ඡන්ද පමණක්‌ ඉලක්‌ක කරගෙන මෙන්ම නොවන බව රණවක මහතාගේ කථාවේ අර්ථය විය. කාලයෙන් කාලයට දේශපාලනය වෙනස්‌වේ. එසේ නම් හෙළ උරුමයද සර්වාගමික ඡන්දය බලාපොරොත්තු වන බව සැක නැත. ඒ අනුව බැලූ කල 2010 දීම ධර්ම රාජ්‍යය ලොප්වීම වඩා හොඳය. දැන් ගෙවෙන්නේ 2015 යහපාලන කාලයයි.

මෑතකාලීනව බෞද්ධයින් උදෙසා නිර්මාණය වූ ජාතික හෙළ උරුමයද සිය සටන් පාඨ වෙනස්‌ කිරීම ගැන ඉහතින් සඳහන් කළෙමි. සිංහල බෞද්ධ ජාතික මතයට එරෙහිව දැඩිව අදහස්‌ දක්‌වන විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ හිටපු සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහතාට කිරුළපනදී ප්‍රහාරයක්‌ එල්ලවූ විටත් එය හෙලා දැකීමට හෙළ උරුමය ඉදිරිපත් විය. 2015 ජනාධිපතිවරණයේ දී දේවසිරි මහතාත් හෙළ උරුමයත් පෙනී සිටියේ පොදු අපේක්‍ෂකයා වෙනුවෙන් බව නොරහසකි.

මේ තත්ත්වයන් හමුවේ සිංහල බෞද්ධ දේශපාලන රික්‌තයක්‌ ගොඩනැගී ඇති බව පැහැදිළිය. සමාජ ආගමික ව්‍යාපාරයක්‌ ලෙස පෙනී සිටිමින් බොදුබල සේනාව ඉටුකළ කාර්යය දේශපාලන පක්‍ෂයක්‌ බවට පත්වීමෙන් පසුව විනාශවී යයිද යන ප්‍රබල සැකය පැනනගී. බොදුබල සේනාව පිහිටුවනු ලැබුවේ 2012 මැයි මස 07 වැනිදාය. ඉකුත් 07 වැනිදාට මේ බෞද්ධ පුනරුද ව්‍යාපාරයට වසර තුනක්‌ සැපිරිණි. එහෙත් බොදුබල සේනාව දේශපාලනයට පැමිණීම උචිතද? එයින් සිදුවන්නේ හෙළ උරුමයට අත්වූ ඉරණමද? අවසානයේ බෞද්ධයා වංචාවට ලක්‌වේද? අනාගාරික ධර්මපාල තුමාගේ ආගමික ව්‍යාපාරය බලගැන්වීමට දේශපාලන ව්‍යාපාරයක්‌ නොතිබූ බව සත්‍යයකි. 2012 සිට 2014 ජනාධිපතිවරණයට පෙර කාලය දක්‌වා බොදුබල සේනාවට තිබූ ආකර්ෂණය දැන් පවතීද? බොදුබල සේනාව දේශපාලනයට නොගෑවී බෞද්ධයින් වෙනුවෙන් පමණක්‌ හඬ නැගීම නිසා එයට සහය දැක්‌වූ පිරිසත් එය දේශපාලන පක්‍ෂයක්‌ බවට පෙරළුණු විට ඒ සහය ගැන යළිත් සිතා බලන බව පැහැදිලි කරුණකි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාද ‘රාෂ්ත්‍රීය ස්‌වායම්සේවක්‌ සන්ග්’ නොහොත් ආර්.එස්‌.එස්‌. හි සාමාජිකයෙක්‌ ලෙස කලකට ඉහතදී කටයුතු කළේය. වසර 89 ක්‌ පැරණි මේ සංගමය භාරතීය ජනතා පක්‍ෂයේ ප්‍රධානතම ජාතික ස්‌වෙච්ඡා බළකාය වන්නේය. ඉන්දියාව පුරා මෙහි ශාඛා සමිති පනස්‌දහසක්‌ පමණ පිහිටුවා ඇත. මොහාන් බග්වාත්ගේ නායකත්වයෙන් යුතු මේ හින්දු ජාතිකවාදී ව්‍යාපාරය පසුගිය දිනවලදී මුස්‌ලිම් හා ක්‍රිස්‌තියානි ආගමිකයින් යළි හින්දු ආගමට ගැනීම පිළිබඳව ඉන්දියාව පුරා මහත් ආන්දොaලනයට ලක්‌විය. එහෙත් නරේන්ද්‍ර මෝදි ආණ්‌ඩුව මේවා වළක්‌වන්නට ගියේ නැත.

 

 

 

බොදුබල සේනාවද දේශපාලන පක්‍ෂයක්‌ නිර්මාණයට කටයුතු කරන්නේ ඉන්දීය ආදර්ශය ගෙන බවට සැක නැත. එහෙත් මෙය ලංකාවේ භූමිගත කළ හැකිවේද? බොදුබල සේනාවට සී.අයි.ඒ. සම්බන්ධයක්‌ ඇති බවට හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා කළ ප්‍රකාශය පිළිබඳව ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් කර්කශ ප්‍රහාර එල්ල කළ අයුරු මාධ්‍ය මගින් අපට දැකගන්නට හැකිවිය. ජනවාරි 08 වැනිදා පැවැති ජනපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය වීමට එක්‌ හේතුවක්‌ වූයේ බොදුබල සේනාව බවට සමාජයේ ප්‍රබල මතයක්‌ තහවුරු වී ඇත. මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය ලබාදුන් බහුතරය සිංහල බෞද්ධයින්ය. සුළු ජාතීන් ඡන්දය දුන්නේ පොදු අපේක්‍ෂකයාටය.

මහින්ද රාජපක්‍ෂ පරාජයවීම පිළිබඳව බොදුබල සේනාවට තඩිබෑමෙන් පමණක්‌ සාධාරණ නොවේ. එයට රාජපක්‍ෂවරුන්ගේ යම් අඩුපාඩුද හේතුවිය. දැනට මේ සියල්ල අතීතයට එක්‌වී තිබේ. එහෙත් මේ අවස්‌ථාවේ සිංහල බෞද්ධ බලවේග මහින්ද රාජපක්‍ෂ මහතා වටා එක්‌වී සිටියදී බොදුබල සේනාව වෙනම පක්‍ෂයක්‌ ආරම්භ කරන්නේ කවර අරමුණකින්ද යන්න පැහැදිළි නැත. අපගේ පෞද්ගලික අදහස නම් බොදුබල සේනාවට බැබළිය හැක්‌කේ රටේ බලවත්ම ආගමික ව්‍යාපාරයක්‌ ලෙස මිස දේශපාලන පක්‍ෂයක්‌ ලෙස නම් නොවේ. එනිසා දේශපාලනයට පිවිසීම ගැන බොදුබල සේනාව දෙවරක්‌ සිතා බැලිය යුතුය. වඩා බුද්ධිමත්ව කටයුතු කිරීම ජාතික ව්‍යාපාරයට වැදගත්ය. මැතිවරණ ඉලක්‌ක කර තීරණ ගැනීම සුදුසු නොවේ.

චතුර පමුණුව

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.