භූමිකම්පා අත වනයි

 

 

 

 

 

ශ්‍රී ලංකාවට ගිනිකොනින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුවන භූ තල මායිම් විභේදනය හා නේපාලයේ සිදුවන දරුණු භූමිකම්පා ගැන අධ්‍යයනය කරන විට අපේ රටේ උස මහල් ගොඩනැඟිලි හා මහ ජලාශ ඉදිකිරීමේදී ඒවා භූමිකම්පාවලට ඔරොත්තු දෙන අයුරින් ඉදිකිරීමට කටයුතු කිරීම සුදුසු බව මෙරට ප්‍රවීණ භූ විද්‍යාඥයෝ යළි යළිත් පෙන්වා දෙයි.

මේ පිළිබඳව පේරාදෙණිය සරසවියේ භූ විද්‍යා උපදේශක මහාචාර්ය කපිල දහනායක මහතා පවසන්නේ යම් භූමි කම්පාවක් සිදුවන බව ඊට පෙර පැවැසීමට ලෝකයේ කිසිම විද්‍යාඥයකුට නොහැකි බවය.

කෙසේ වුවත් නේපාලය ඇතුළු ආසියා කලාපයේ භූ කම්පන සිදුවීමේ වැඩි ප්‍රවණතාවක් පසුගිය දිනවලදී දක්නට ලැබුණු බවත් ඒ අනුව අපේ රටේ මහල් ගොඩනැඟිලි හා මහ ජලාශ ඉදිකිරීමේදී භූ කම්පන පිළිබඳව සැලකිලිමත් වීම හා ඒවා අසල භූ කම්පන මාන සවි කිරීම කළ යුතුව ඇති බවත් පෙන්වා දෙයි.

මේ පිළිබඳව අදහස් පළ කරන මූලික අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සී. බී. දිසානායක මහතා පවසන්නේ අපේ රටට ගිනිකොන දෙසින් ශ්‍රී ලංකාවට කිලෝමීටර් 500 – 700දුරින් තිබෙන ඉන්දු – ඕස්ට්‍රේලියානු භූ තල මායිම පසුගිය කාලයේ කොටස්වලට කැඩීම නිසා අපේ රටට ගිනිකොනින් පිහිටි මුහුදු ප්‍රදේශයේත් සුමාත්‍රා දූපත් අවටත් ඉදිරි කාලයේදී භූ කම්පන වැඩි වශයෙන් ඇතිවිය හැකි බවය.

මේ නිසා ඉදිරියේදී අපේ රටේ කඳුකරයේ ජලාශ හා කොළඹ ඉදිකරන මහල් 15 හෝ20තට්ටු ගොඩනැඟිලි පිළිබඳව සැලකිලිමත් විය යුතු බව ද ඒ අවට භූමිකම්පා සිදුවෙනවා ද යන්න පිළිබඳව සැලකිලිමත් විය යුතු බව ද මහාචාර්යවරයා පෙන්වා දෙයි. එමෙන්ම අපේ රටට ගිනිකොණින් අලුත් භූ තල මායිමක් දැන් සකස් වෙමින් පවතින බව ද ඒ අනුව අපේ රටේ නායයෑම් හා සුළු භූ චලන ඉදිරියේදී නිතර ඇතිවීමට ඉඩ ඇති බව ද මහාචාර්යවරයා අනතුරු අඟවයි. මේ අනුව අපේ රටට සුදුසු ක්‍රමවත් ආපදා කළමනාකරණ සැලැස්මක් සකස් කිරීම අත්‍යවශ්‍ය බව ද මහාචාර්යවරයා පෙන්වා දෙයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.