මංගල කියපු ගෝඨාගේ අපරාධ චෝදනා මෙන්න

mangala-samaraweeraදින කිහිපයකට පෙර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පවසන්නට යෙදුනු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇති චෝදනා හෙලිදරව් වෙමින් පවතී.

චෝදනාව- 01
රාජතාන්ත්‍රික බලපත්‍රයක් ව්‍යාජ ලෙස සකස් කර එමගින් විනයාග මූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් 2007 සැප්තැම්බර් 17 වෙනිදා ඇමරිකාවට යැවීම.

මේ සම්බන්ධයෙන් බී68162/01/16 නඩුවක් ගොනු කර ඇති අතර නැවත කැදවන තෙක් කල් තබා ඇත. එහෙත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇමරිකාවේ Isleworth අධිකරණයේ S 2007 -0522 දරණ නඩුවෙන් දඬුවම් ලබා දී ඇති අතර එම නඩු ගොනුවේ පිටපත් සාපරාධී කාරණාවලදී අනෝන්‍ය සහයෝගීතා දැක්වීමේ පනත යටතේ යටතේ ලබා ගැනීමට MOJ/L(10)/MLA/(R)/212/2018 දරණ අයදුම්පත අධිකරණ අමාත්‍යංශය හරහා ඇමරිකාවෙන් ඉල්ලා ඇතත් මේ වන තෙක් එය ලැබී නැත.

චෝදනාව- 02
2008 මැයි 22 වන දින ‘ද නේෂන්’ පුවත්පතේ කතෘ කීත් නොයා පැහැරගෙන ගොස් රදවා තබා දෙන අමානුෂික ලෙස පහරදීම

මේ සම්බන්ධයෙන් ගල්කිස්ස අධිකරණයේ ම/උ බී. 1535/08 නම් නඩුව පවරා ඇත. මේ සඳහා සැකකරුවන් වශයෙන් මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ඇතුළු යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගත්හ. අමල් කරුණාසේකරට හැර අනෙක් 07 දෙනා මේ වන විට ඇප පිට මුදා හැර තිබේ.

චෝදනාව- 03
‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා උල් ආයුධයකින් පහර දී 2009 ජනවාරි 08 වෙනිදා ඝාතනය කිරීම

මෙම නඩුව ගල්කිස්ස අධිකරණයේ ම/උ බී. 92/09 අංකය යටතේ විභාග වේ. මෙයට සැකකරුවන් වශයෙන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර, පොලිස්පරීක්ෂක තිස්සසිරි සුගතපාල සහ යුධ හමුදා බුද්ධි අංශ සාමාජික ප්‍රේමානන්ද උදුලාගම අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් සාමාජිකයින් දෙදෙනා මේ වන තෙක් අඩංගුවේ පසුවේ.

චෝදනාව- 04
2009 ජනවාරි 23 වෙනිදා ‘රිවිර’ පුවත්පතේ කතෘ උපාලි තෙන්නකෝන් මහතාට පොලු හා උල් පිහියකින් පහර දී තුවාල සිදු කිරීම

මේ පිළිබඳව අධිකරණ කටයුතු ගම්පහ අධිකරණයේ ම/උ බී. 297/09 යන අංකය යටතේ සිදු වන අතර යුද හමුදා බුද්ධි බලකායේ මේජර් බුලත්වත්ත ඇතුළු සාමාජිකයන් 07 ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප පිට මුදාහැර ඇත.

චෝදනාව- 05
මාධ්‍යෙව්දී ප්‍රගීත් එක්ණැලිගොඩ මහතාව යුද්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් විසින් කොට්ඨාව පොලිස් වසමේදී 2009 අගෝස්තු 27 වෙනිදාත් පැහැර ගෙන ගැනීම හා තලංගම පොලිස් වසමේදී 2010 ජනවාරි 24 වෙනිදා පැහැරගෙන ගොස් අතුරුදහන් කරවීම

මේ සම්බන්ධයෙන් නඩු විභාගය හෝමාගම අධිකරණයේ ම/උ බී.7417 / 10 යන අංකය යටතේ සිදුවේ. මේ වන විට බුද්ධි අංශයේ මේජර් ලුතිනන් කර්නල් කුමාර්රත්න ඇතුළු සාමාජිකයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ඇප මත මුදාහැර තිබේ.

චෝදනාව- 06
2012 නොවැම්බර් 9 වෙනිදා වැලිකඩ බන්ධනාගාරය සෝදිසි කිරීමේදී රැදවියන් 26 දෙනෙකු මියගොස් තවත් 27 දෙනෙකු තුවාල ලැබීම

කොළඹ අධිකරණයේදී විභාග වෙන මෙම නඩුව ප්‍ර/ම/උ බී. 6540/02/12 යටතේ විභාග වේ. පොලිස් පරීක්ෂකවරයෙක් සහ බන්ධනාගාර කොමසාරිස් වරයෙකු මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට බන්ධනාගාර ගතකොට ඇත.

චෝදනාව- 07
2013 අගෝස්තු 01 වෙනිදා වැලිවේරිය පොලිස් වසමේ උද්ඝෝෂණයක යෙදී සිටි සිවිල් වැසියන් පිරිසක් විසුරුවා හැරීම සඳහා යුද හමුදා සමාජිකයන් විසින් සිදුකරන ලද වෙඩි තැබීමෙන් හා පහර දීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් තවත් පිරිසකට තුවාල සිදුවීම

මේ සම්බන්ධයෙන් නඩුවක් ගම්පහ ම/උ බී.1440/13 අංකය යටතේ විභාග වන අතරම යුධ හමුදා බිග්‍රේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සාමාජිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබා දී ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.