මනෝරානි:පුතු ගෙන් උපන් දිරිය මව

මොරටුව කොරල වැල්ලේ මුහුද වෙනදා මෙන්ම වෙරළේ හැපිහැපී බිඳිණ. බිඳී විසිරෙන පෙනපිඬු දසදහස් ගණනක් මොහොතකින් පුපුරා යමින් තිබිණ. වැඩි හැලහොල්මනක් නැති රාති‍්‍රයේ සාමාන්‍ය තත්වය එයය. එය සාමාන්‍ය තත්වය යැයි කීවද එසේම නොවීය. නිශායාමයේ පමණක් නොව හිරු ආලෝකයෙන් නැහැවෙන දහවල් කාලයේද ලේ පිපාසයෙන් දෑස් දල්වා සැඟවී සිටින ගහලයන්ගේ ක්ෂේම භූමියක්ව පැවැති කාලවකවානුවක් වූයේය. හරියට 1990 පෙබරවාරි 18 වෙනි දින රාති‍්‍රයේ ගහලයින් රැළක් එක් නිවසකට කඩාවැදින. එහි සිටි චාම් සරල අහිංසක තරුණයෙකු පැහැරගෙන ගියහ. ලේ පිපාසිත ගහලයන් පැමිණියේ වෛද්‍ය මනෝරාණී සරවනමුත්තු අම්මාගේ නිවසටය. පැහැරගෙන ගියේ ඇගේ පුත් රිචඩ් ද සොයිසා ය.

මෙතැන් සිට මේ අම්මාත් පුතාත් දෙදෙනෙක් නොව එක් ආධ්‍යාත්මයක් වූයේය. පුතුන් නිසා ළය පැලී මියගිය අම්මලා සිය දහස් ගණනක් ගැන අපි අසා හෝ කියවා ඇත්තෙමු. වෛද්‍ය මනෝරාණී සරවනමුත්තු අම්මා එසේ නොවූ අතලොස්සක් අම්මාවරුන් අතරට එක්වූවාය. “පුතු නිසා උපන් අම්මා කෙනෙක්” වූවාය. පපුව පැලී යන දරු ස්නේහයෙන් වරෙක හඬා වැටෙමින් සහ ඊළඟ නිමේෂයේ දිරියෙන් නැඟී සිටිමින් “පුතු නිසා උපන් අම්මා කෙනෙක්” වූවාය.

සිව්දෙසම ගහලයින් අරක්ගත් ඒ රාති‍්‍රයේ කිසියම් වේලාවක ප‍්‍රාණය නිරුද්ද රිචඩ් ද සොයිසාගේ සිරුර මොරටුව කොරලවැල්ල මුහුදේ තැනෙකට හෙලා තිබිණ. ඒ බව ඉවසාගත නොහැකිව වේදනාපත් කරදිය ජලය වෙරළේ හැපී කෑ ගසා පෙරළි කරන්නට වූ බව නිසැකය. එහෙත් ඒ හඬ ඇසෙන කෙනෙකු නොවීය. සියල්ලන්ම ලේ පිපාසිත ගහලයන් හමුවේ පසුබසිමින් සිටියහ. මනෝරාණී සරවන මුත්තු අම්මා තනිවම තම පුතු සොයා තැන් තැන්වලට ගියාය. නිමක් නැති දුරකථන ඇමතුම් දී දන්නා හඳුනන අයට තොරතුරු දුන්නාය. පෙබරවාරි 19වැනි දින මොරටුව කොරලවල්ල වෙරළේ තිබී රිචඞ් ද සොයිසා තරුණයාගේ සිරුර ධීවරයින් පිරිසකට හමුවිය. එය කළුබෝවිල රෝහල වෙත ගෙන එන ලදුව මනෝරාණි සරවන මුත්තු අම්මා විසින් හඳුනා ගත්තාය.

රිචඩ් ද සොයිසා ක්ෂේත‍්‍ර ගණනාවක අති දක්ෂයෙක් වූයේය. ඉංගී‍්‍රසි භාෂාවෙන් ඉතා ශූර ලෙස කටයුතු කිරීමේ හැකියාව ලබා තිබුණේය. මාධ්‍ය වේදියෙක්, ගුවන් විදුලි නිවේදකයෙක්, රූපවාහිනී නිවේදකයෙක්, වේදිකා නාට්‍ය නළුවෙක් සහ චිත‍්‍රපටි නළුවෙක් වූයේය. මේ හැමටම වඩා යුගයේ උඩුගම්බලා පිහිනමින් තවත් දසදහස් ගණන් තරුණයන් අතර සුවිශේෂී හැකියාවන් සහිත ශ්‍රේෂ්ඨ මානවවාදියෙකු වූයේය. ඒ සමත්කම් සියල්ල රැගෙන ඉදිරි සතියේදී විදේශගත වීමට සූදානම්ව සිටියේය. තමනට පැවරී තිබූ යුගයේ සුවිශාල කාර්යභාරය රැගෙන විදේශගතවීමට සූදානම්ව සිටියේය. ඒ ලේපිපාසිත ගහලයන්ගේ උකුසු ඇස් ඉක්මන් කෙරිණි. රිචඩ් ද සොයිසාගේ කතාව එතනින් නිමාකිරීමට සමත්වූහ.

රිචඩ් ද සොයිසා තරුණයාගේ මුළු භාවිතයම බලයේ සිටි පාලකයින්ට හැමඅතින්ම භයානක අභියෝගයක්ව පැවතියේය. එහෙත් එක් නිශ්චිත ආසන්න කරුණක් නිසා ගහලයන් ඔහුව හඹා පැමිණි බව කියැවේ. “මේ කවුද මොනවද කරන්නේ” යනුවෙන් වේදිකා නාට්‍යයක් නිර්මාණය කරමින් සිටි බවය. එය බලලෝභී ලේ පිපාසිත ගහලයින් නොඉවසූ නිර්මාණයක් වූ බව හෙළිවිණි. එනිසා රිචඩ් ද සොයිසා මරාදමනු ලැබීය.

රිචඩ් ද සොයිසා පැහැරගෙන ගිය ගහලයින් අතර ප‍්‍රමුඛයෙකු වූයේ කාකි නිල ඇඳුම් ඇඳගත් පුද්ගලයෙක්ය. ඒ කොළඹ ප‍්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති වරයාව සිටි රොනී ගුණසිංහය. කිසියම් කටයුත්තකට ඔහු සහභාගී වී සිටි දර්ශන ජාතික රූපවාහිනියේ ප‍්‍රවෘත්තිවලින් පෙන්වා තිබේ. මනෝරාණී සරවන මුත්තු අම්මා අහම්බෙන් එය දැක රොනී ගුණසිංහ හඳුනාගෙන ඇත. මේ බව තම නීතීඥයින් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන්නාය. රිචඩ්ගේ ඝාතනය සම්බන්ධයෙන් රොනී ගුණසිංහ අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝජගකොට තිබේ. එහෙත් නිතියේ යුවතිය මහ දවල් කෙලෙසාදමා තිබුණු භීෂණකාරී යුගයක් වූ එම සමයේ සියල්ල මෙහෙය වූයේ ඒකාධිපති අණසකට යටත්වය. විශේෂයෙන්ම එවකට රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමතිව සිටි රන්ජන් විජේරත්නගේ අණසකට යටත්වය. පොලිසියට ඔහු නියෝග දී තිබුණේ රොනී ගුණසිංහ අත්අඩංගුවට නොගන්නා ලෙසය.

මනෝරාණි සරවන මුත්තු අම්මා සැලුනේ නැත. ජාතියේ දසදහස් ගණනක් පුතුන් සහ දූවරුන් වෙනුවෙන් වැළපෙන අම්මාවරුන් සහ පියවරුන් අතර ඉඳ ඒ අම්මාවරුන්ගේ සහ පියවරුන්ගේ කඳුළු පිසීමට කුමන හෝ ආකාරවලින් පෙරමුණ ගැනීමට පසුබට නොවූවාය. එම යුගයේ මරාදැමීමට නොහැකි වූ පුතුන් සහ දියණිවරුන් තැන තැන රහසේ එකතුවෙමින් සිටියහ. විවිධ නම් ඔසේසේ ඒ නිශායාමය පියමංකිරීමට කටයුතු කරමින් සිටියහ. 1991 පෙබරවාරි 19 වෙනිදා ජාතියේ මව්වරු අටදිසාවෙන් කොළඹ නගර ශාලාවට ඒකරාශී වූහ. “මව්පෙරමුණ ගොඩනගා ගත්තේ ඔවුන්ය” පුතුන් සහ දියනිවරුන් නිසා උපන් දහස් ගණනක් අම්මාවරුන් අතර පෙරමුණේ සිට කි‍්‍රයාකිරීමට “පුතු නිසා උපන් අම්මා කෙනෙක්” වූ මනෝරාණී සරවන මුත්තු අම්මා නිර්භීත වූවාය. දසදෙසම ගහලයන් අරක්ගත් ඒ භීම සමයේ ජීවිත අවදානම නොතකා රහසිගතව කි‍්‍රයාකළ දූපුතුන් සීමිත පිරිසකගේ මග පෙන්වීම සහ මූලික කි‍්‍රයාකාරිත්වය මත ගොඩනගන ලද මව් පෙරමුණේ සුවිශාල කාර්යභාරයක් මනෝරාණි සරවන මුත්තු අම්මා විසින් තම උරමතට ගත්තාය.

මව් පෙරමුණ ගොඩනැගීමේ අතිශය අවදානම්කාරී සහ අභියෝගකාරී කටයුත්ත සාර්ථක කරගත් පසු එම ජයග‍්‍රහණය වෙනුවෙන් උරුමකම් කියන්නට “පොල්පිති වීරයන්” ඉදිරිපත් වූහ. එහෙත් මේ කටයුත්තේදී නොපැකිළව කටයුතු කරමින් විශාල වැඩකොටසක් වත්මන් විදේශ ඇමැති මංගල සමරවීර ඉටුකළේය. මනෝරාණි සරවන මුත්තු අම්මා රටේ විවිධ තැන්වලට ගොස් මව්වරුන්ගේ කඳුළැලි පිසදැමීමට කි‍්‍රයාකළාය. සූරිය කන්ද සමූහ මිනී වළ හමුවීමේ සිද්ධිය යටගැසීමට නොහැකි තත්වයක් ඇතිවූයේ මවු පෙරමුණ විශාල ශක්තියකින් කි‍්‍රයාකළ නිසාය.

රිචඩ් ඝාතනයේ ප‍්‍රධාන වගඋත්තරකරුවන් වූ රංජන් විජේරත්න සේම රොනී ගුණසිංහත් එල්ටීටීඊගොදුරු බවට පත්වූහ. අධිකරණයට පමුණුවා සිටි අනෙකුත් චුදිතයන් 2005 නොවැම්බර් 09වැනි දින අධිකරණයෙන් නිදහස් ලැබීය. රිචඩ් ද සොයිසා අනුස්මරණය කිරීම සඳහා බිහිකරගත් විවිධ සංවිධානවල කි‍්‍රයාකාරිකයන් වූ විවිධ පුද්ගලයන් අවස්ථාවාදී දේශපාලනයේ ගොදුර බවට වරින්වර පත් වූයේය.

රිචඩ් ද සොයිසා පිළිබඳ විසිපස්වෙනි අනුස්වරණය පසුගිය පෙබරවාරි 18 වෙනිදාට යෙදී තිබිණ. එහිදී රිචඩ් ගැන පමණක් නොව මනෝරාණී සරවනමුත්තු අම්මා ද එක් වරම අනුස්මරණය කෙරෙන්නේ ය. පුතු මියගියදා එම ආධ්‍යාත්මයන් උපන් අම්මා මේ සමාජයට හමුවන්නේ රිචඞ්ගේ මරණය සමගය. “පුතු නිසා උපන් අම්මා කෙනෙක්” වූ මනෝරාණී සරවන මුත්තු අම්මා 2001 පෙබරවාරි 14 වෙනි දින දක්වා හුදෙකලාව සිට කාටත් නොකියාම යන්න ගියාය

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.