මර්වින්ට මල පනී

175300895433
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම‍යෝජනා සකස් වුණේ සම්පූර්ණයෙන්ම බැසිල් රාජපක්ෂ මහතාට අවශ්‍ය පරිදි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පවසයි.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අද දෙරණ “මොකද වුණේ” වැඩසටහන සමග සම්මුඛ සාකච්ඡාවකට අද පස්වරුවේ එක්වෙමිනි.

හිටපු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා මෙම වැඩසටහන සඳහා සම්බන්ධ කර ගැනීමට අද පෙරවරුවේ ඔහු ඇමතු අවස්ථාවේදී තමන් සියදිවි හානිකර ගන්නා බවට කළ ප්‍රකාශයක් නිසාම ඒ ගැන ඔහුගෙන් විමසා සිටියේය.

එහිදී හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් එවැනි ප්‍රකාශයක් නොකළ බවයි.

තමන් කියා සිටියේ රාජපක්ෂවරු විහින් සියදිවි හානිකරගත්තා බව යැයිද, ඇතැම් විට දුරකථන සම්බන්ධතා වල ගැටලු නිසා එය ශ්‍රවණය කිරීමේ දෝෂ සිදුවන්නට ඇතැයි වැනි පිළිතුරක් ලබාදුන්නේය.

තමන්ට මහමැතිවරණය සඳහා නාමයෝජනා නොලැබීම ගැන දැඩි වේදනාවක් ඇති බවත්, ඊට මුල් වුයේ තණ්හා, රති, රඟා තිදෙනා බවත්, එනම් මහින්ද, බැසිල් හා ගෝඨාභය යන කණ්ඩායම යැයි හෙතෙම පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා නාමයෝජනා ලබාදීමට මුල් වූයේ කෙසේදැයි විමසූ අවස්ථාවේ මර්වින් සිල්වා මහතා පැවසුවේ “රෑට රෑට සුසිල්ගේ ගෙදරට බැසිල් රිංගනවා” කියා ප්‍රවෘත්තිවලින් පෙන්නුවේ ඔබලා බවයි.

සරණ ගුණවර්ධනට, දුමින්ද සිල්වාට හා සජින් වාස් ගුණවර්ධනට නාමයෝජනා නොදුන්නේද තමන්ට නාම‍යෝජනා දීමට සිදුවන නිසා බවද, හෙතෙම පෙන්වාදුන්නේය.

කෙසේ වෙතත් දූෂණ වංචාවලට සම්බන්ධ අයට නාමයෝජනා නොදීමට තීරණයක් ගෙන ඇති නිසා නාමයෝජනා නොලැබුණා නොවේදැයි අසද්දී හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ තමන්ට කිසිදු දූෂණ වංචාවක් නොමැති බවය.

එසේනම් රූපවාහිනි සංස්ථාවට පහරදීම, නිලධාරියෙකු ගස් බැදීම, මත්ද්‍රව්‍ය චෝදනාවලට සම්බන්ධ අය අත්අඩංගුවට ගැනීම වැනි චෝදනා තිබෙනවා නොවේදැයි අසද්දී  මර්වින් සිල්වා මහතා පැවසුවේ එසේ මත්ද්‍රව්‍ය චෝදනාවලට සම්බන්ධව අත්අඩංගුවට ගත් අයෙකුගේ නම කිව හැකිනම් තමන් දැන් සියදිවි නසා ගන්නා බවයි.

මේ රටේ මීළඟ අගමැතිවරයා විය යුත්තේ කවුදැයි ඇසූ විට මර්වින් සිල්වා මහතා ඊට සුදුසුම හා මෙම දේශපාලන භූ‍මියේ සිටින එකම ප්‍රඥාවන්තයා වන රනිල් වික්‍රමසිංහ මහතා සුදුසු යැයි කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් මර්වින් සිල්වා මහතා මීට පෙර කර ඇති ප්‍රකාශ හා සැසඳීමේදී මෙවැනි ප්‍රකාශයක් ඔහු සම්බන්ධයෙන් කිවහැකිදැයි අසද්දී මර්වින් සිල්වා මහතා පැවසුවේ තමන් පවසන්නේ දැන් පවත්නා තත්ත්වය අනූව  බවයි.

මේ ගැන වැඩිදුරටත් ප්‍රශ්න කරද්දී මර්වින් සිල්වා මහතා නොරිස්සුම් ගතියෙන් පිළිතුරු දෙන බවක්ද ප්‍රදර්ශනය කළ අතර පීරට – පීරක් මිස පීරට – පොරොවක් නොගැලපෙන බව කියා සිටියේය.

[vsw id=”/xxWct6scofM” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.