මල් ශාලාවේ මරණය

“යුද්ධය කාලයේදී තරමටම අද මත්පැන් නිසා මේ රටේ ජීවිත විශාල සංඛ්‍යාවක් විනාශ වෙමින් තිබෙනවා. මඟුල් ගෙවල්, මළගෙවල් කරන්නත්, මළ ගෙවල්, මඟුල් ගෙවල් කරන්නෙත් මත්පැන් තිබෙනවා” යයි වැලිපැන්න හදිසි මරණ පරීක්ෂක සමස්ත ලංකා සාමවිනිසුරු නිහාල් ජයනෙත්ති මහතා පැවසීය.
මත්පැන්වලට වතුර යැයි සිතා ෆෝමලින් කලවම් කර පානය කර මියගිය මතුගම හොරවල ප්‍රදේශයේ මල් ශාලා හිමියෙකුගේ මරණ පරීක්ෂණයේදී
හදිසි මරණ පරීක්ෂකවරයා මේ බව කීවේය.

 


සිද්ධියෙන් මියගියේ මතුගම හොරවල පදිංචිව සිටි රත්ගෙදර ලියන ආරච්චිගේ සුමිත් මිත්‍රානන්ද නමැති 53 හැවිරිදි දෙදරු පියෙකි.
මරණ පරීක්ෂණයේදී සාක්කි දුන් මියගිය අයගේ බිරිඳ වන විරපාන
පටබැඳිගේ ජීවා කුමුදිනි මහත්මිය මෙසේ කීවාය.
මියගොස් තිබෙන සැමියා සමග විවාහ වී වසර 13ක් වෙනවා. පාසල් යන කුඩා ගැහැණු දරුවන් දෙදෙනෙක් අපට සිටිනවා. සැමියා රැකියාව ලෙස මතුගම හොරවල ප්‍රදේශයේ අවමංගල ශාලාවක් පවත්වාගන ගියා. වසර 15ක පමණ කාලයක සිට ඔහු එය කරනවා. දිවා රාත්‍රී නොබලා එම කටයුතු කරන සැමියා සමහර දිනවල නිවසට එන්නෙ අලුයම් කාලයේදීයි.
ඔහු කරන රැකියාව අනුව ඔහු මත්පැන් පානය කරනවා. නමුත් කිසිවෙකුටත් කරදරයක් හෝ කිසිවෙකු සමග ප්‍රශ්න ඇති කරගෙන නැහැ. පසුගිය 12 දින ‍පොරවල ප්‍රදේශයේම මියගිය අයෙකුගේ අවමංගල කටයුත්තකට උදේ නිවසින් පිටත්ව නැවත සවස 6ට පමණ පැමිණ අවමංගල උත්සවයට අවශ්‍ය පිත්තල පහන් ආදිය රැගෙන ගියා. යළි ඔහු ගෙදර ආවේ නැහැ.
පසුව එම මළගෙදර සිට පැමිණි අයෙක් කීවා මාගේ සැමියාට වැරදීමකින් ෆෝමලින් පෙවී ප්‍රතිකාර සඳහා වෑත්තෑව රෝහලට ගෙන ගිය බව. රෝහලට ගෙන යන අතරමගදීම සැමියා මරණයට පත්ව ඇති බව පසුව දැනගත්තා.
වසර 15ක පමණ කාලයක් මල් ශාලාවේ කටයුතු කළත් කිසි දවසක මෙවැනි අතපසු වීමක් සිදුව තිබුණේ නැහැ. සැමියා සමග අවමංගල කටයුතු කරන සහායකයා සිය කටයුතු අවසන් වීමටත් පෙර මත්පැන් පානය කර තිබෙනවා. සේවයට යොදාගන සිටි පුද්ගලයා කිසිම වගකීමක් නැති අයෙක්. මේ අවමංගල කටයුතුවලදී යොදාගන්නා රසායනික ද්‍රව්‍යවල අන්තරාදායක තත්ත්වය නොදැන සිටීම නිසා මගේ සැමියාගේ මරණය සිදුව තිබෙනවා. අතපසුවීමකින් සිදුවූ වරදක් මගේ සැමියාගේ මරණයට හේතුව ඇති බව පිළිගන්නවා.
467872602 (1)  හොරවල ඩොන්ස්ටන්වත්ත කෝවිලගොඩ ලැයිමේ පදිංචි මුරුගන් රාජන් (43) මහතා සාක්කි දෙමින් මෙසේ කීවේය.
මම ඩොන්ස්ටන් වත්තේ සේවය කරනවා. මගේ බිරිඳ මීට වසර 5කට පෙර මා අතහැර ගොස් සිටිනවා. මම වත්තේ වැඩට අමතරව ඉඳහිට මල් ශාලාවේ වැඩද කරනවා. සේවය කළ දිනකට එහි හිමිකරු රුපියල් 500ක් සහ බොන්න මත්පැන් ටිකකුත් දෙනවා.
පසුගිය 12 දින මතුගම හොරවල ප්‍රදේශයේ සිදුවූ මරණයක් ගෙනඒමට මල් ශාලා හිමිකරු මට කතා කළා. ඒ අනුව නාගොඩ රෝහලින් එය ගෙන යටදොල මල් ශාලාවක තබාගගෙන එම්බාම් කර ඒ දේහය එගෙන ඒමට පෙර මුදලාලි කිව්වා මළගෙදරින් ලැබුණු අරක්කු බෝතලයක් ඇති ඩ්‍රයිවර් සමග ටිකක් බිලා මිනිය ගේන්න කියල මුදලාලි නැවත හොරවල ඔහුගේ මල් ශාලාවට පැමිණ පිත්තල පහන ආදිය ගෙන ඒමට ආවා.
ඒ මත්පැන් බෝතලයෙන් භාගයක් පමණ අපි බිව්වා. එම ස්ථානයේදී අරක්කු සමග කිසිවක් කලවම් නොකර බිව්ව නිසා මට හොඳටම වෙරි වුණත් ඒ බව මම මල් ශාලා හිමිකරුට පෙන්නුවේ නැහැ. අදාළ නිවසට 6.00ට විතර දේහය භාරදී ඒමට සූදානම් වුණා.
ආපසු එන්න සූදානම් වනවිට මුදලාලි කිව්වා ඉතිරි අරක්කු ටිකත් බිලම යමු කියලා. ඉතිරි අරක්කු වීදුරුවට වත්කර දුන්න. එයින් වීදුරුවක් රියදුරු මොනවත් කලවම් නොකරම බිව්වා. මුදලාලි කිව්වා තනිකර අරක්කු බොන්න බැහැ මල් ශාලා රථයේ ඇති වතුර බෝතලයෙන් ටිකක් මිශ්‍රකර දෙන්න කිව්වා. වතුර බෝතලය තිබෙන තැනද කිව්වා. වතුර බෝතලයේ පාටද මට කිව්වා. ඒ බෝතලය ගෙන ඔහුගේ අරක්කු වීදුරුවට මිශ්‍රකර දුන්නා. එකවරම උඩ බලල කටේ හලාගත්ත. කෑගහල කිව්වා වතුර වෙනුවට ෆෝමලින් දාල තියෙනවා. ඉක්මනට රෝහලට ගෙන යන්න කියල ඔහු කෑගැහුවා. ඒ අනුව ඔහුව රෝහලට ගෙන ගියත් අතරමගදී ඔහු මිය ගියා.
මම මත්පැන් පානය කර සිටි නිසාත් මුදලාලි දැනුම් දුන් පරිදි අරක්කු වලට වතුර වෙනුවට වැරදීමකින් ෆෝමලින් මිශ්‍රකර දීමෙන් මේ මරණය සිදුවී ඇති බව මා පිළිගන්නවා. මාගේ අතපසුවීම නිසා මෙය සිදුවී තිබෙනවා.මෘත ශරීරය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය කළ කළුතර නාගොඩ මහ රෝහ‍ලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි එල්.බි.එම්. ප්‍රනාන්දු මහතාගේ නිගමනය වී ඇත්තේ රසායනික ද්‍රව්‍ය (ෆෝමලින්) ශරීරගතව මරණය සිදුව ඇති බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.