මහින්දට මන්ත්‍රීකමකට වැඩි යමක් නැහැ-ඉන්දික තොටවත්ත

මහින්ද අගමැති වෙන්නේ නැහැ

ප්‍රවීණ ජ්‍යෝතිෂඥ ඉන්දික තොටවත්ත

ඉන්දික තොටවත්ත, මේ දිනවල රටේ කතාබහට ලක්ව ඇති, ප්‍රධාන පෙළේ ජ්‍යෝතිෂවේදියෙකි. පසුගිය ජනාධිපතිවරණ සමයේ දී මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වන බව, ප්‍රසිද්ධියේ පැවැසීමට තරම් ධෛර්යයක් තිබු ජ්‍යොතිෂවේදින් දෙතුන් දෙනා අතර ඉන්දික ඉදිරියෙන් ම විය. දෑස නොපෙනෙන ඉන්දිකගේ මුවින් පිටවන පුරෝකථනවලට වඩා ඔහු අප හද බඳනුයේ අදහස් ඉදිරිපත් කිරීමේ ඇති ව්‍යක්ත හා නිරවුල් භාවය නිසා ය. 

.

* ඉන්දික දේශපාලනඥයන්ගේ කේන්දර බලලා නැද්ද?

බලනවා.

* ළඟදි එහෙම ඔබේ සේවාව ලබාගත්ත සේවාදායකයන් කවුද?

නම් වශයෙන් කියන්න මම කැමැති නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ අය විතරයි එන්නේ නැත්තේ. මොකද ඔවුන් අවංක දේශපාලන මතයක ඉන්නවනේ.

* ජවිපෙ, අවංකයි කියලා ඔබ හිතනව ද?

ඒක සාපේක්ෂයි. ලංකාවේ අනිත් දේශපාලන පක්ෂවලට සාපේක්ෂව, ජවිපෙ පිරිහී නැති බවට හිතන්න සාක්ෂි තියෙනවා.

* ඉන්දිකගේ දේශපාලන ලයින් එක මොකක්ද?

මට දේශපාලන මතයක් නැති වුණත් මේ මොහොතේ ජනතා විමුක්ති පෙරමුණ හැර වෙන විකල්පයක් නැහැ කියලා මම විශ්වාස කරනවා.

* ඔබ ගැන රටේ හුඟ දෙනෙක් කථා කරන්න ගත්තේ පහුගිය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කියපු අනාවැකියත් එක්කයි. මහින්ද රාජපක්ෂ ස්ථිරවම පරදින බව ඔබ ප්‍රසිද්ධියේ කිව්වා. එහෙම කියද්දි බයක් එහෙම දැනුණේ නැද්ද?

නැහැ. මගේ කේන්දරේ හැටියට කිසි හානියක් වීමට ඉඩක් නැහැ කියන විත්තිය මම දැනගෙන හිටියා.

* ඒ අනාවැකිය කිව්වට පස්සෙ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ශ්වයෙන් ඔබට කථා කළා ද?

කථා කළා. ඒත් කිසිම තර්ජනයක් කළේ නැහැ. තමන්ට උදව් කරන්න පුළුවන් ද කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇහුවා. ඊළඟට ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් මට කථා කළා.

* උදව් කරන්න කියලා කිව්වෙ?

ගෝඨාභය මහත්තයා කථා කළේ ප්‍රචාරාත්මක සහයෝගයක් ගැන නෙවෙයි. මේ තත්ත්වයෙන් ගොඩ එන්න මොනවාහරි ගුප්ත විද්‍යානුකූල පිළිවෙළක් තියෙනවා ද කියලා එතුමා ඇහුවා. ඒත් ඒ පරාජය නියතව තිබුණු පරාජයක්. ඇත්තටම ජනවාරි 8 වැනිදා ජයග්‍රහණයට ස්වභාව ධර්මයාත් ආශිර්වාද කළා.

* අගෝස්තු 17 වැනි දින මහා මැතිවරණය පැවැත්වෙනවා. මහා ඡන්දේදි මොකක් වෙයි ද? ඉන්දිකගේ අනාවැකිය මොකක්ද?

ඔය අනාවැකි කියන වචනයට මම එතරම් කැමැති නැහැ. ජ්‍යෝතිෂය විද්‍යාවක් නිසා මෙතැනදි නිවැරැදිම වචනය වෙන්නේ පුරෝකථනය කියන එක. විද්‍යාත්මක විෂයක තිබිය හැක්කේ පුරෝකථන විතරයි. මහා මැතිවරණය පැවැත්වෙන අගෝස්තු දාහත් වැනිදා තත්කාල කේන්දරය ගත්තත් දැනට පවතින ග්‍රහ ගෝචරය ගත්තත් මහා දශා තත්ත්වය ගත්තත් ඒක මහින්ද රාජපක්ෂ මහත්තයාට අතිශයින්ම අහිතකර මොහොතක්. එතුමාට පාර්ලිමේන්තු එන්න පුළුවන්. ඒත් ස්ථිර වශයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ අගමැති වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් මේ ගත කරන්නේ බාධක ග්‍රහයාගේ මහ දසාව. ඒකත් එක්ක චන්ද්‍රයාගේ අෂ්ටම ඒරාෂ්ටකයත්, ඒ බාධක ග්‍රහයා වන ගුරු ගමන් නොකළ යුතු නරකම තැන, ගෝචරයෙන් ගමන් කරනවා දොළොස් වැන්නේ‍. ඒ වගේම ඉතා විශාල ග්‍රහයන් පමණක් අගෝස්තු දාහත් වැනිදා ගමන් කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පරාජය, වියදම්, අසාර්ථකත්වය, නීතිමය ප්‍රශ්න ආදි ජීවිතයේ අහිතකර දේවල් ගැන කථා කරන දොළොස් වැනි භාගේ. ඇත්තටම මේ දවස සැලසුම් කළේ හැදුවේ කවුද කියලා මම දන්නේ නැහැ. ඒත් ස්ථිරවම මේ දවස සැලසුම් වෙලා තියෙන්නේම මහින්ද රාජපක්ෂ මහත්තයට අතිශයින්ම අහිතකර විදිහටයි.

* රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කේන්දරය කොහොම ද?

රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කේන්දරයේ මහින්ද රාජපක්ෂ මහතායගේ වගේ කිසිම තදබල අපලයක් නැහැ. අඩුම තරමින් ඒරාෂ්ඨක තත්ත්වයක්වත් නැහැ.

* එතකොට ජනාධිපතිතුමාගේ කේන්දරය කොහොම ද?

රවිගේ අන්තරය ගතවුණ නිසා ජනාධිපතිවරණය පැවැති සමයේ ඉතාම හොඳයි. දැන් ඒ තරම්ම හොඳ නැතිවුණත් තදබලව ප්‍රබල අපල තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ.

* රටේ කේන්දරය?

2017 ජනවාරි දක්වා ලග්නාධිපති සතුරු රාශියක ගමන් කරන කාලයක් නිසා මේ කාලය තුළ ඉතා විශාල සාර්ථකත්වයක් අතිශය සාධනීය තත්ත්වයක් ගැන කියන්න හරි අමාරුයි. 2017 ජනවාරිවලින් පසුව තමයි තරමක් වඩා සාර්ථක සාධනීය තත්ත්වයක් ඇතිවිය හැක්කේ. බොහෝ විට ඊළඟටත් සභාග ආණ්ඩුවක් ඇතිවිය හැකියි. 2016 ජනවාරි 29 න් පසුව ඒ රජයෙත් යම් යම් ගැටලු ඇතිවිය හැකියි.

* අනිත් ජ්‍යෝතිෂවේදීන් එක්ක ඉන්දිකගේ සම්බන්ධය මොන වගේ ද?

මෙහෙමයි. මම ජ්‍යෝතිෂයේ ඇතැම් කාරණාවලට පහරදීම් කරන නිසා ක්‍රිස්තුන් වහන්සේට එදා යුදෙව් පූජකයන් එරෙහි වුණා වගේ බොහෝ ජ්‍යෝතිෂවේදීන් මා පිළිබඳ අප්‍රසාදයෙන් ඉන්න විත්තිය මම දන්නවා. ඒ ගැන මට ප්‍රශ්නයකුත් නැහැ. ජේසුස් වහන්සේට ආගම බඩගෝස්තරයක් කරගෙන හිටපු අමන පූජකවරු ප්‍රශ්නයක් නොවුණ වගේ විප්ලවීය ගමන්මඟක යන කෙනකුට අනික් අයගේ ප්‍රසාදය හෝ අප්‍රසාදය ඒ තරම්ම වැදගත් නැහැ.

* ඔබේ හඳහන් බැලීම 100% ක් නිවැරැදියි කියලා හිතනව ද?

100% ක් නිවැරැදි වෛද්‍යවරයෙක්, 100% ක්ම වාහන හැදිය හැකි ඉංජිනේරුවෙක් හෝ සියලු අය සමත්කළ හැකි ගුරුවරයෙක් මුණගැහුණොත් ඔබ ඔය ප්‍රශ්නය මගෙන් අහන්න. එතකොට මම ඕකට උත්තර දෙන්නම්.

* ජ්‍යෝතිෂය හැරුණහම ඉන්දිකගේ වෙනත් උනන්දු ක්ෂේත්‍ර මොනවා ද?

ජ්‍යෝතිෂය හැරුණහම දර්ශනය, අධි මානසික විද්‍යාව, වගේ විෂයයන් ගැන තදබල උනන්දුවක් මට තියෙනවා.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.