මහින්ද පැරදුනේ ගෝඨා නිසයි-දයාන් ජයතිලක

මහින්ද පැරදුනේ ගෝඨාගේ හිතුවක්කාර වැඩ නිසයි – දයාන් ජයතිලක

download

මෙවර මැතිවරණයේදී ජනතාව දැඩි උනන්දුවකින් ඡන්දය ප්‍රකාශ කර තිබුණා. සියයට හැත්තෑ පහකට ආසන්න විශාල ඡන්ද ප්‍රකාශ කිරීමක් වාර්තාවීමට හේතුව කුමක්ද?

 

රටක් ලෙස ලංකාව පසුගිය වසර කිහිපය තුළ ජයග්‍රහණ තුනක් ලබාගෙන තිබේ. එකක් වූයේ ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කිරීමය. යුද්ධය පැවැති ප්‍රදේශයක පළාත් සභා මැතිවරණයක් නිදහස් හා සාධාරණ ආකාරයට පවත්වා විරුද්ධ පක්ෂයකට එය පාලනය කිරීමට ඉඩ කඩ ලබාදීමය. තුන්වැනිව හා මෑතකදී සිදුවූ දෙය වූයේ තියුණු ජනාධිපතිවරණයකින් පසුව රාජ්‍ය නායකයා ඉතා සාමකාමීව හා කිසිදු කලබලයකින් තොරව වෙනස් කිරීමය.
මේ කරුණු තුන ගත් විට පෙනෙන්නේ ලංකාව ඒකාධිපතිත්වයක් හෝ “රාජ්‍ය නායකයා ආඥාදායකයෙක්ය” යන දෙස් විදෙස්වල පැතිර ගොස් තිබූ කතා මිථ්‍යාවක් ලෙස ඔප්පුවී තිබිමය. ලංකාවේ ඡන්ද දායක ප්‍රතිශතය නිදහසින් පසුව මුල් කාලයේදී මෙන් ඉහළ සම්මත මට්ටම් කරා ගිය බව තවත් හොඳ ලක්ෂණයකි. සියයට හැත්තෑ පහක් පමණ ඡන්දය ප්‍රකාශ කිරීම යනු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ විශාල සහභාගිත්වයකි.

 

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පසුගිය දශකය පුරාම පැවති මැතිවරණවලින් විශිෂ්ට ජයග්‍රහණ ලබාගත්තා. එහෙත් මෙවර මැතිවරණයේදී ඔහු පරාජයට පත්වූයේ ඇයි?
මේ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජයට පත්වීමට ප්‍රධාන හේතූන් තුන හතරක් ගැන කතා කළ හැකිය. එකක් වූයේ වසර විස්සක් තිස්සේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා ‍පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවක පිළිණුභාවය අවුරුදු දහයක්වත් නොපැවැති ජනාධිපතිවරයකුගේ පිටින් යෑමය. දෙවැනුව, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිය පවු‍ලේ බල ලෝභය හා ධන ලෝභයට අනවශ්‍ය ආකාරයට වන්දි ගෙවීමයි.

 

download (100)

 

 

 

ඔහුගේ පරාජය තමාගේ පව් නිසා නොව තමාගේ පවු‍ලේ හා තමා අවට සිටි ආවතේවකාරයින්ගේ පව් නිසා අත්වූ ඉරණමකි. තුන්වැනිව යුද්ධය ජයග්‍රහණය කිරීමට මහඟු කළමනාකරණයක් කළ ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ‍ලේකම්වරයා අනවශ්‍ය ආකාරයට පශ්චාත් යුද්ධ රාජ්‍ය ව්‍යුහයේ හා ප්‍රතිපත්ති සම්පාදනයේ ඇඟිිලි ගැසීමක් කිරීමය. ජනාධිපතිවරයාගේ දෙවැනි වාරයේ පාලන ෙශෙලිය මහින්ද රාජපක්ෂගේ නම්‍යශීලී සුපුරුදු ස්වභාවයෙන් පණගැන්වූ එකක් නොව ගෝඨාභය රාජපක්ෂගේ දරදඬු හා පටු ක්‍රියාමාර්ග හා වැඩසටහන් විසින් පණගැන්වූවකි. මහින්ද රාජපක්ෂගේ සැබෑ ස්වභාවය මහජනතාවට යළිත් සිහිපත්වූයේ මැතිවරණය අවසන්වී ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර ඉතාම ශිෂ්ට ආකාරයට අරලියගහ මන්දිරයෙන් ඉවත්ව යන විටය. මහින්ද රාජපක්ෂගේ සුපුරුදු ස්වභාවය ඔහුගේ දෙවැනි වාරයේදී දක්නට ලැබුණේ නැත. ගෝඨාභය රාජපක්ෂගේ දරදඬුකම නමැති ගණඳුරු වලාකුළ විසින් එය වසාගෙන තිබුණි. සිව්වැනි කාරණය පැනනගින්නේ ඉහත කාරණයෙනි. ගෝඨාභය රාජපක්ෂගේ ක්‍රියාකාරීත්වය නිසා මහින්ද
රාජපක්ෂට දෙමළ හා මුස්ලිම් ඡන්ද අහෝසිවී ගියේය.

 

උතුරු නැගෙනහිර ප්‍රදේශ සංවර්ධනය කිරීමට පැවති ආණ්ඩුව කටයුතු කළා. ඒත් උතුරු නැගෙනහිර පළාත්වලදී මහින්ද රාජපක්ෂ දරුණු ආකාරයට පරාජය වන්නේ ඇයි?
වෙනත් කිසිදු ජනාධිපතිවරයෙක් නොකළ දෙයක් රාජපක්ෂ ජනාධිපතිවරයා උතුර වෙනුවෙන් ඉටු කළේය. එනම් පළාත් සභා මැතිවරණය පැවැත්වූවේය. පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමැතිවරයා දිවුරුම්දෙන අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයාට පැහැදිලි පණිවුඩයක් දුන්නේය. උතුරු පළාත් සභාවට නිසි ලෙස සලකනු ලැබුවොත් ඡන්ද මිලියනයක් පමණ විවෘත කරගැනීමට හැකියාව ලැබෙන බව ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා හමුවේ ඔවුහු පැවසූහ. එහිදී ප්‍රාථමික කොන්දේසිය වූයේ ආණ්ඩුකාර තනතුරින් මේජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි ඉවත් කර සිවිල් පුරවැසියෙක් ඒ සඳහා පත් කළ යුතු බවය.

 

එයට ජනාධිපතිවරයා එකඟත්වයක් දැක්වූ අතර, නැතිනම් විරෝධයක් නොපෑවේය. එහෙත් සැබැවින්ම සිදුවූයේ මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරිට දෙවැනි වාරයක් ලබාදීමය. එය සිදුවූයේද ගෝඨාභය රාජපක්ෂගේ තල්ලුකිරීම නිසාය. එමෙන්ම බොදු බල සේනා ප්‍රපංචය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ දැක්වූ මෘදු ස්වභාවය නිසා දෙමළ හා මුස්ලිම් ඡන්ද සහමුලින්ම පාහේ අහිමිවී ගියේය. බැසිල් රාජපක්ෂගේ සංවර්ධන කටයුතු හා ඩග්ලස් දේවානන්දගේ දේශපාලන කටයුතු නිසා උතුරේ සියයට දහඅටක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට හැකිවිය.

 

 

images (36)
මෙම මැතිවරණ ප්‍රතිඵල දෙස බැලූ විට දැඩි අසමමිතික භාවයක් පෙන්නුම් කරයි. රටේ බහුතරයක් වන සිංහල බෞද්ධ ජනතාව අතරින් බහුතරය ඡන්දය දී ඇත්තේ නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටය. බහුතරයෙන් බහුතරයක් නව ජනාධිපතිවරයාට නම්මවා ගැනීමට ලැබි නැත. එය ලැබි ඇත්තේ හිටපු

ජනාධිපතිවරයාටය. සුළුතරයෙන් බහුතරය නව ජනාධිපතිට ලැබි ඇත. දමිළ හා මුස්ලිම් ප්‍රජාවගේ බහුතරය ඔහුට ලැබි ඇත. බහුතරයේ බහුතරය නව ජනාධිපතිවරයාට නම්මවා ගැනීමට හැකිවී නැත. නව ජනාධිපතිවරයා බලයට පත්වී ඇත්තේ බහුතරයක සුළුතරය හා සුළුතරය බහුතරය ලබාගත් අයෙක් ලෙසය. මෙය යම් කිසි අසමමිතිකභාවයක් පෙන්නුම් කරයි. මෙය ප්‍රතිවිරෝධයක් බවට පත්වීමටත් ඉඩ කඩ නැත්තේ නොවේ. දූෂණ වංචා වැනි සටන් පාඨවලට සවන්දී ඇත්තේ රටේ බහුතරයේ සුළුතරයකි. රටේ සුළුතරයේ බහුතරය මහින්ද රාජපක්ෂට විරුද්ධව ඡන්දය ලබාදී ඇත්තේ දූෂණ වංචාව වැනි කරුණු නිසා නොවේ. ඔහුගෙන් පලිගැනීමටය. නැතිනම් දඬුවම් දීමටය.

 

මෙරට සුළු ජාතීන්ගේ ගැටලුවලට යුද්ධය අවසන්වීමෙන් පසුව විසඳුම් ලැබුණේ නෑ. ඔවුන්ට විසඳුම් ලබාදීම සදහා නව ජනාධිපතිවරයා කටයුතු කළ යුත්තේ කෙසේද?
නව ජනාධිපතිවරයා සුළුතරය වෙනුවෙන් දේශපාලන සංවාදයක් ආරම්භ කළ යුතුව ඇත. එම දේශපාලන සංවාදයේ සීමාවන් පැහැදිලිව සුරැකිය යුතුය. එම සීමාවන් විය යුත්තේ 13 වැනි සංශෝධනය ප්‍රඥාගෝචරව ක්‍රියාත්මක කිරීමයි. ඉන් ඔබ්බට යෑමට වරමක් ලැබි ඇතැයි කිව නොහැකිය. ඉන් ඔබ්බට යන්නේ නම් දැනටමත් ඈත්වී ඇති බහුතරයේ බහුතරයක් කවර ආකල්පයක් දක්වාදැයි අනුමාන කළ නොහැක.

 

 

637754918yal-devi2

 
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සුළුතරය වෙනුවෙන් එවැනි සංවාදයක් ඇතිකළේනම් මෙවැනි ප්‍රතිඵලයක් ඔහුට අත්වන්නේ නැත. සුළුතරය සම්බන්ධයෙන් ඔහු අනුගමනය කළ ප්‍රතිපත්තිය 2009 වසරේදී යුද්ධය ජයගැනීමෙන් පසුව සිට නිවැරදි එකක් වූයේ නැත. මීට පෙර යම් යම් ගැටලු නොතිබුණේද නොවේ. යුද්ධය තිබූ කාලයේදී බලය බෙදීමේ ඒකකය දිස්ත්‍රික්කය කරා පහළට සංකෝචනය කිරීමේ අදූරදර්ශී යෝජනාවක් පැමිණියේය. මෙම අදූරදර්ශී යෝජනාව පැමිණියේ එවකට අගවිනිසුරුවරයාව සිටි සරත් එන්. සිල්වා වෙතිනි. එක් කාලයක් ජනාධිපති මහින්ද රාජපක්ෂද ඒ සමග සෙල්ලම් කළ නමුදු නැගෙනහිර නිදහස් කරගත් පසුව 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ තැනට ගියේය. එහෙත් අනවශ්‍ය සංඥාවක් දිස්ත්‍රික්ක ඒකක කතාවෙන් දී තිබුණි. කෙසේ නමුදු යුද්ධය ජයගැනීමෙන් පසුව කළ යුතුව තිබුණේ 13 වැනි සංශෝධනය යටතේ උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමය. එසේ වූවේ නම් බලයට පත්වන්නේ ඩග්ලස් දේවානන්දාය. එයට හේතුව වන්නේ යුද්ධයෙන් පසුව කාලයේදී දෙමළ ජාතික සන්ධානය සීසීකඩ ගොස් තිබූ නිසාය.

download

පළාත් සභා මැතිවරණය ගැන අදහසක් මා විසින් ඉදිරිපත් කිරීම නිසා ජිනීවා තානාපතිධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුවේ තද මතධාරීන් කටයුතු කළේය. උතුරු පළාත් සභා මැතිවරණය 2009දී නොපැවැත්වීම මූලික වරද විය.
ජනාධිපතිවරයා සිය දෙවැනි ධුර කාලයේදී දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡාවක් ඇරඹුවේය. ඒ සාකච්ඡාවේදී දෙමළ ජාතික සන්ධානයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නායක ආර්. සම්බන්ධන්ට නොහොබිනා ආකාරයෙන් සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා කතා කිරීම නිසා එම සාකච්ඡා වටය බිඳවැටුණේය. දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා වටය ඉදිරියට ගියේ නැත. උතුරු පළාත් සභාවේ ප්‍රධාන ඇමැතිවරයා ලෙස විග්නේෂ්වරන් දිවුරුම්දුන් අවස්ථාවේදී ඇතිවූ සංවාදය ඉදිරියට ගෙන ගියේද නැත. ගෝඨාභය රාජපක්ෂගේ බලපෑම ඒ වරදට විශාල හේතු සාධකයක් විය.
දකුණු අප්‍රිකානු මැදිහත්වීමට අත වනා ඉන් පසුව එම මැදිහත්වීම ඉදිරියට යෑමට කටයුතු නොකිරීම සිව්වැනි වරද විය. දකුණු අප්‍රිකානු මැදිහත්වීම සාර්ථකවූවේ නම් දෙමළ ජාතික සන්ධානය සමග යළිත් සාකච්ඡා වටයක් ආරම්භ කිරීමට හැකියාව ලැබෙන්නට තිබුණි. නමුත් එතැනදීද ආරක්ෂක නිලධාරී තන්ත්‍රය බාධාවක් ලෙස කටයුතු කළේය. අලුත්ගම සිද්ධිය පස්වැනි වරද විය. අලුත්ගම සිද්ධිය සම්බන්ධයෙන් බොදු බල සේනාවේ ප්‍රබලයින් අත්අඩංගුවට ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ සූදානමින් සිටියේය.

 

එහෙත් ආරක්ෂක අංශයේ බුද්ධි වාර්තා පෙන්වා දුන්නේ මොවුන් අත්අඩංගුවට ගත්තේනම් රට පුරා කල කෝලාහල ඇතිවිය හැකිව තිබූ බවය. ඒ නිසා කිසිවක් සිදුවූයේ නැත. තමුන්ට තලා පෙළා තමුන්ගේ ගෙවල්වලට ගිනි තැබිමට පැමිණි අන්තවාදී බලවේගවලට විරුද්ධව රජය කටයුතු නොකරන බව මුස්ලිම් ජනතාවට ලැබුණු පණිවුඩය විය. මේ මූලික වැරදි නිසා ජාතික හා ආගමික සුළුතරයේ ඡන්ද ජනාධිපති මහින්ද රාජපක්ෂට අහිමිවිය. වෙන්නප්පුව වැනි සිංහල කතෝලික ප්‍රදේශයක බහුතරය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ලැබිම ව්‍යතිරේකයකි.මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ලැබුණු ආකාරයේ ජනවරමක් 2001දී රනිල් වික්‍රමසිංහට ලැබුණේය. එය එතරම් සාර්ථක වූයේ නැත. නමුත් මෛත්‍රීපාල සිරිසේන යනු රනිල් වික්‍රමසිංහ නොවන නිසා වඩාත් ප්‍රඥාගෝචර ආකාරයට කටයුතු කරනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි. එය මම විශ්වාස කරමි.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.