මහින්ද මංගලට එරෙහිව නඩු දමාවිද?

mangala-and-mahinda-

තමන්ට, තම බිරිඳට, පුතුන්ට සහ සහෝදරයන්ට රහසිගත බැංකු ගිණුම් හෝ රහසිගත ආයෝජන කිසිවක්‌ නැති බවත් එසේ වත්කම් ඇතැයි කී විදේශ ඇමැති මංගල සමරවීර මහතාට එරෙහිව තමන් නීතිමය උපදෙස්‌ ලබාගන්නා බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටී.

විශේෂ නිවේදනයක්‌ නිකුත් කරමින් හෙතෙම මේ බව කියා සිටින අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

මටත්, මාගේ බිරිඳටත් පුතුන්ට හා සහෝදරයන්ටත් ඇමෙරිකානු ඩොලර් බිලියන 18 ක වත්කම් විදේශ බැංකු ගිණුම් හා සමාගම්වල ආයෝජන හැටියට තිබෙන බවට විදේශ ඔත්තු සේවා වලින් තොරතුරු ලැබී ඇති බව විදේශ ඇමැති මංගල සමරවීර මහතා පෙරේදා (07 දා) පැවති පුවත්පත් සාකච්ඡාවකදී කියා සිටියේය. එක කාලයකදී කොළඹ ඉදිවෙන විශාල ගෙවල් හා රට පුරා තැන් තැන්වල ඉදිවෙන හෝටල් මගේ පවුලේ සාමාජිකයන්ට අයිති ඒවා යෑයි ප්‍රචාර ගෙන යැමේ ප්‍රවණතාවක්‌ තිබිණි. මෙවැනි ප්‍රචාර දැන් ගෙන යැමට නොහැකි නිසා පිටරට තිබෙන රහසිගත වත්කම් ගැන ප්‍රචාර සිදුකෙරේ.

මටත් මගේ පවුලේ සාමාජිකයන්ටත් තිබෙනවා යෑයි කියන විදේශීය වත්කම් ගැන කතා කිරීමේදී ඒ තොරතුරු සත්‍ය දැයි තමා නොදන්නා බව කීමටද සමරවීර ඇමැතිවරයා වගබලා ගත්තේය. තමා කරන ප්‍රකාශ ඒ ආකාරයට ආවරණය කර ගැනීමෙන් සම්පූර්ණ මුසාවක්‌ වුවද සත්‍යයක්‌ හැටියට ජනතාවට ඉදිරිපත් කිරීමට හැකි වේ. විදේශ ඇමැති එවැනි ප්‍රකාශයක්‌ කරන විට එය විදෙස්‌ පුවත් සේවාවලින්ද ප්‍රචාරය වේ. මට එරෙහි බොරු ප්‍රචාර එවැනි කපටි උපක්‍රම මගින් ප්‍රසිද්ධ කරනු ලැබේ. මට හෝ මගේ බිරිඳට හෝ පුතුන්ට හෝ සහෝදරයන්ට රහසිගත බැංකු ගිණුම් හෝ විදේශීය සමාගම්වල රහසිගත ආයෝජන කිසිවක්‌ නැති බව ජනතාවට දැනුම් දීමට මම කැමැත්තෙමි. සමරවීර ඇමැතිවරයාගේ ප්‍රකාශය ගැන නීතිමය උපදෙස්‌ ලබාගැනීමට ද මම බලාපොරොත්තු වෙමි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.