මහින්ද රාජ්‍ය දේපළ අපහරණයේ-පෙත්සමක්

 

 

 

මෙවර පාර්ලිමේන්තු මහා මැතිවරණයට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් තරග වදින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට රජයේ මුදල් වැයවන කිසිදු වරප්‍රසාදයක්‌ භුක්‌ති විඳීමට අයිතියක්‌ නැති බවට ආඥවක්‌ නිකුත් කරන මෙන් මැතිවරණ කොමසාරිස්‌ට නියෝග කරන්නැයි ඉල්ලා නීතිඥ ආර්. එච්. සේනක පෙරේරා මහතා ඊයේ (17 දා) ශ්‍රෝෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනු කළේය.

එවැනි වරප්‍රසාද ඔහු ලබනවා නම් එය මැතිවරණ රෙගුලාසි උල්ලංඝනය කිරීමක්‌ හැටියට තීන්දු කරන ලෙසත් ආරක්‌ෂාවට නිලධාරීන් හැර වාහන, නිවාස, ඇතුළු වරප්‍රසාද ලැබීම අත්හිටුවන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා ඇත.

පෙත්සම්කරු ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ නායකත්වයෙන් යුත් නවලංකා සම සමාජ පක්‌ෂයේ සාමාජිකයෙකි. එම පක්‌ෂයේ ජාතික ලැයිස්‌තුවේ අපේක්‌ෂකයකු ලෙස මෙවර පාර්ලිමේන්තු මැතිවරණයටද ඔහු ඉදිරිපත්වී සිටී.

පෙත්සමෙන් කියා සිටින්නේ මැතිවරණයට තරග කරන සියලුම අපේක්‌ෂකයන්ට එක හා සමානව සැලකිය යුතු බවයි. නීතියේ රැකවරණය ද සමානව ලැබිය යුතු නමුත් හිටපු ජනාධිපතිට විශේෂ සැලකීමක්‌ කර ඇති බවත් එය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 12 (1) වගන්තිය උල්ලංඝනය කිරීමක්‌ බවත් ඔහු කියා සිටී.

හිටපු ජනාධිපතිට පොලිසියෙන් සපයා ඇති විශේෂ ආරක්‌ෂාව වහාම ඉවත් කර ගන්නා මෙන් පොලිස්‌පතිට නීතිය හා සාමය පිළිබඳ ඇමැතිට සහ ආරක්‌ෂක ලේකම්ට නියෝග කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා ඇත.

මැතිවරණ කොමසාරිස්‌, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ, ජෝන් අමරතුංග, ආරක්‌ෂක ඇමැති, එම අමාත්‍යාංශයේ ලේකම් සහ පොලිස්‌පති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.