මහ බැංකුව බැඳුම්කර නිසි ක්‍රමවේදයට මිලදී ගත්තා – අර්ජුන මහේන්ද්‍රන් – මහ බැංකු අධිපති

පසුගිය පෙබරවාරි 27 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පැවැත්වූ භාණ්‌ඩාගාර බැදුම්කර වෙන්දේසිය රට තුළ ඉමහත් ආන්දොaලනයකට තුඩු දුන්නේය .එහිදී ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව සිදුවූ බවට ද චෝදනා එල්ල වී තිබේ. මේ සිද්ධිය මුල් කොටගෙන මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍රන් මහතාට එරෙහිව විපක්‍ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්‌ ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. මේ පසුබිම තුළ මහ බැංකු අධිපතිවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන්   අර්ජුන මහේන්ද්‍රන් මහතා ලබා දුන් පිළිතුරුයි මේ.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ දැනට චෝදනා එල්ල වී ඇති භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?

පිළිතුර – ප්‍රධාන වශයෙන්ම මේ සඳහා චෝදනා එල්ල වෙන කාරණා දෙකක්‌ තිබෙනවා. එකක්‌ තමයි සියයට 9.5 ට මේ බැඳුම්කරය දෙන්න පුළුවන්කම තියෙද්දී බිලියනයක නිකුතු වටිනාකම රු. බිලියන 10 දක්‌වා වැඩි කළ නිසා පොලී අනුපාතය සියයට 12 ටත් වඩා වැඩි වුණා කියන එක. එහෙත් ඇතැම් අය කියන සියයට 9.5 යි කියන එක කොහේවත් තිබුණ ඉලක්‌කමක්‌ නොවෙයි. මීට අදාළව 2015 පෙබරවාරි 26 දින තිබුණු පුවත්පත් දැන්වීමේත් තිබුණෙ සියයට 12.5 කූපන් අනුපාතයට නිකුත් කරන බවයි. ඒ නිසා ඇතැම් අය සඳහන් කරන සියයට 9.5 ක පොලී අනුපාතය කොහෙන් ආවද කියල මම දන්නෙ නැහැ.

අනික්‌ කරුණ තමයි මහාභාණ්‌ඩාගාරයට සෑම සතියකම කිසියම් මුදල් ප්‍රමාණයක්‌ අවශ්‍ය වෙනවා. මේ වෙන්දේසිය තිබුණේ පෙබරවාරි 27 දිනයෙදියි. රජයට මාර්තු දෙවැනි දා වනවිට රු. බිලියන 13.5 ක අවශ්‍යතාවක්‌ තිබුණ. ඒ වන විට සොයාගෙන තිබුණෙ මුදල් රු. බිලියන 3.5 ක මුදල් ප්‍රමාණයක්‌ පමණයි.

ඒ නිසා රු. බිලියන 10 ක පමණ මුදල් හිඟයක්‌ තිබුණා. ඒ මුදල් ප්‍රමාණය සොයා ගත්තෙ නැත්නම් රජයට මුදල් දුෂ්කරතාවකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ නිසා මේ වෙන්දේසියෙදී රු. බිලියන 10 ක මුදල් ප්‍රමාණයක්‌ සොයා ගත යුතුව තිබුණා. ඒ නිසා තමයි රු. බිලියන 10 ක්‌ දක්‌වා ලංසු පිළිගැනීමට මහ බැංකුවට සිදු වුණේ.

මම ඒ ගැන රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළා. ඒ අනුව අදාළ ටෙන්ඩර් කමිටුව තීරණය කළා රු. බිලියන 10 ක්‌ ලබාගත යුතුයි කියලා. මේ දේ පසුගිය කාලයේ දීත් සිදුවෙලා තිබුණා. එනම් පසුගිය භාණ්‌ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙන්දේසිවලදීත් මුලින් දැන්වීමේ සඳහන් කළ ප්‍රමාණයට වඩා ණය රැස්‌ කිරීම දිගටම සිදුවූ සාමාන්‍ය දෙයක්‌. ඒ නිසා ණය ලබාගත්ත ප්‍රමාණය වැඩිවීමේ කිසිදු වරදක්‌ නැහැ. එය අලුත් දෙයක්‌ නොවෙයි. අපි සතුව රාජ්‍ය ණය ලබා ගැනීමට අදාළ අත්පොතක්‌ තියෙනවා. එහි රාජ්‍ය ණය රැස්‌කර ගැනීමට අදාළ සියලු ක්‍රමවේද සඳහන් වෙනවා. ඒ සියල්ල අපි මෙම බැඳුම්කර නිකුතුවේදීත් අනුගමනය කරල තියෙනවා. මෙය අධිපතිවරයා ලෙස මම තනිවම කළ දෙයක්‌ නොවෙයි. එය සිදු කළේ ටෙන්ඩර් කමිටුවක්‌ මගිනුයි. එහි සාමාජිකයින් 08 දෙනකු සිටිනවා. ඒ නිසා සියලු නීතිරීති අපි අනුගමනය කරලා තියෙනවා. නමුත් මම කියන්න ඕන අපි එක දෙයක්‌ වෙනස්‌ කළා. පසුගිය කාලයේදී බොහෝ පෞද්ගලික නිකුතු (ඡරසඩ්එe චක්‌ජැපැබඑs) සිදු වුණා. මේව කරන එක පහසුයි. ඒත් ඒවා එතරම් මූල්‍ය පද්ධතියට වෙළෙඳපොළ ක්‍රමයට හොඳ ක්‍රමයක්‌ නොවෙයි. නිවැරදි ක්‍රමය තමයි වෙන්දේසි තියල ලංසු කැඳවා භාණ්‌ඩාගාර බැඳුම්කර හෝ බිල්පත් නිකුත් කිරීම. මෙය ඉතාම වැදගත්. අර රාජ්‍ය ණය රැස්‌ කිරීමට අදාළ අත්පොතේ සඳහන් වන්නේ, හැකි සෑම විටම වෙන්දේසි පවත්වා ණය රැස්‌ කිරීම් කරන්න කියලයි. එහෙත් පසුගිය වසරවලදී එනම් 2011, 2012 සහ 2013 යන වසරවලදී සියයට 90 ක්‌ම පෞද්ගලික නිකුතු හරහා තමයි ණය රැස්‌ කිරීම් කරල තියෙන්නේ. වෙන්දේසි පවත්වල තියෙන්නේ සියයට 10 ක්‌ පමණයි. ඒ නිසා අත්පොතේ සඳහන් නිවැරදි ක්‍රමයට අපි ආපසු යන්න ඕන කියල තීරණය කළා. ඒ නිසා වැරදි ක්‍රමයට කළ දෙයක්‌ හරිගස්‌සපු එකයි අපි කළේ.

ප්‍රශ්නය – පසුගිය බැඳුම්කර වෙන්දේසිවලදීත් ප්‍රකාශ කරන ගානට වඩා ලංසු පිළිඅරන් වැඩිපුර ණය රැස්‌කිරීරම් කරල තියෙනවා. එහෙත් මෙහිදී චෝදනා එල්ල වන්නේ රු. බිලියනය, රු. බිලියන 10 ක්‌ දක්‌වා දස ගුණයකින් ණය ලබාගැනීම ඉහළ නංවා ඇති බවයි. ඒ නිසා මෙතන කලින් අවස්‌ථාවලට වඩා ලොකු වෙනසක්‌ තියෙනවා?

පිළිතුර – ඔව්. මෙතන හේතුව පැහැදිලියි. මොකද රජයේ මුදල් අවශ්‍යතාව රු. බිලියන 13.5 ක්‌ වෙද්දි ඒ වන විට රැස්‌කර ගෙන තිබුණෙ රු. බිලියන 3.5 ක්‌ පමණයි. එහෙත් මහා භාණ්‌ඩාගාරයේ නියමය පරිදි 2015 මාර්තු 02 වැනි සඳුදා වන විට අපි රු. බිලියන 13.5 ක්‌ රජයට රැස්‌කර දිය යුතුව තිබුණා. අපිට එම ණය අවශ්‍යතාව ගැන අභියෝග කරන්න බැහැ. ඒ අනුව අපි රු. බිලියන 10 ක්‌ මෙම බැඳුම්කර නිකුතුවෙන් ගන්න තීරණය කළා. එහෙම නොකළා නම් මහාභාණ්‌ඩාගාරයට යම් මූල්‍ය දුෂ්කරතාවකට මුහුණ දෙන්නට සිදුවිය හැකිව තිබුණා.

ප්‍රශ්නය – මේ බැඳුම්කර නිකුතුවලට ඉදිරිපත් වූ ඇතැම් ප්‍රාථමික වෙළෙඳුන් ඊට ගෙවීම් කිරීමට ලංකා බැංකුවෙන් මුදල් ලබාගෙන තිබෙන බවත් පැවසෙනවා. එය සත්‍ය නම් රජයට කෙළින්ම ලංකා බැංකුවෙන්ම මුදල් අවශ්‍යතා සපුරා ගන්න බැරි ඇයි?

පිළිතුර – ප්‍රශ්නය මෙයයි. රජය කෙළින්ම ලංකා බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව හෝ සේවක අර්ථසාධක අරමුදලින් ණයට ගත්තොත් ඒක එම පාර්ශ්වයන්ට අහිතකරයි. හේතුව එහිදී එම මුදල් ලබාදෙන පොලී අනුපාතය, වෙළෙඳපොළ මත තීරණය වූ අනුපාතයක්‌ වෙන්නේ නෑ. ඒකයි. පුළුවන් තරම් ප්‍රසිද්ධ වෙන්දේසි මගින් හැකි තරම් ණය ලබාගන්න කියන්නේ. වෙන්දේසි ක්‍රමයේ දී සියල්ල විනිවිදභාවයෙන් සිදුවෙනවා. එහිදී ලංසු ඉදිරිපත් වෙනවා. ඒ වගේම පොලී අනුපාතය මෙහිදී තීරණය වන්නේ පුද්ගලයින් තුළ ආර්ථිකය හා ආර්ථික සංවර්ධනය යනාදිය සම්බන්ධයෙන් තිබෙන අනාගත අපේක්‍ෂා මතයි. එය වෙළෙඳපොළ ක්‍රියාවලියක්‌. එහෙත් එසේ නැතුව පෞද්ගලික නිකුතු හරහා මේක කළොත් එය ආර්ථිකයට හොඳ වන්නේ නැහැ.

ප්‍රශ්නය – මහ බැංකු අධිපතිතුමනි, ඒ වගේම රජය බැංකු අයිරා මගිනුත් තම මුදල් අවශ්‍යතා සපුරා ගන්නවා නේද? එහෙම කළා නම් පොලී අනුපාත ඉහළ යැම වළක්‌වා ගන්න තිබුණු බවටත් මතයක්‌ තිබෙනවා.

පිළිතුර – ප්‍රශ්නය  තමයි, රජය ගිහින් රාජ්‍ය බැංකුවකින් අයිරාවක්‌ ගත්තොත්, එම මුදල් ප්‍රමාණය පෞද්ගලික අංශයට නොලැබී යනවා. එනම් පෞද්ගලික අංශයට එම මුදල් ප්‍රමාණය ණයට ගැනීමට තිබෙන අවස්‌ථාව අහිමිවෙනවා. ගොවීන්, ධීවරයන් ඇතුළු සියලු පෞද්ගලික අංශයේ ව්‍යාපාර තම මුදල් අවශ්‍යතා සපුරා ගන්නේ බැංකුවලින් ණය ගැනීමෙන්. එහෙත් රාජ්‍ය බැංකුවල තියෙන මුදල් අඩු පොලියට රජය විසින් ණයට ගැනීමෙන් පෞද්ගලික අංශයේ ණය අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අවස්‌ථාවන් සීමා වීමක්‌ වෙනවා. ඒක ආර්ථික ක්‍රියාකාරීත්වයට අහිතකරයි. රජය මේ වගේ වෙන්දේසි ක්‍රමයට මුදල් අවශ්‍යතා සපුරා ගන්නේ ඒ නිසයි.

ප්‍රශ්නය – පෞද්ගලික අංශයට ණයට දීමට ඇති මුදල් රජය ණයට ගැනීමෙන් පෞද්ගලික අංශයේ ආර්ථික ක්‍රියාකාරකම් සීමාවීමක්‌ වෙන්න පුළුවන් තමයි. එහෙත් චෝදනාවට ලක්‌ වූ බැඳුම්කර වෙන්දේසියේ දී ඉතා ඉහළ පොලියකට ඉදිරිපත් කර තිබූ ලංසුත් මහ බැංකුව විසින් පිළිගැනීම හරහා රජයේ ණය පොලී වියදම විශාල ලෙස ඉහළ යැමෙන් එහි බර මහජනතාව පිට පැටවෙනවා නේද? මොකද අවසානයේ රාජ්‍ය ණය පොලී වියදම දරන්නේ බදු ගෙවන සමස්‌ත මහජනතාව විසිනුයි. ඔබතුමා සඳහන් කළ රාජ්‍ය ණය රැස්‌ කිරීමට අදාළ අත්පොතේ තියෙන්නේ අවම පිරිවැයට ණය රැස්‌කර ගත යුතු බවයි?

පිළිතුර – ඔව් ඔව්. ඇත්ත වශයෙන්ම මෙහිදී පොලී පිරිවැය අඩුකර ගැනීම කළ හැකි වන්නේ රාජ්‍ය ණය ගැනීම් අඩුකර ගැනීමෙනුයි. රජයට රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කරන්න අවශ්‍ය නම් විදෙස්‌ ණය නැවත ගෙවන්න අවශ්‍ය නම්, ඒ සඳහා රජයට මුදල් අවශ්‍යයිනෙ. එතකොට රජය හරහා වැඩි ණය ඉල්ලුමක්‌ ජනිත වෙනවා. ඒකයි මේ පොලී අනුපාත ඉහළ යැමට හේතුව. මේ ආර්ථිකය ක්‍රියාත්මක වන්නේ එන්ජිමක්‌ එහෙමත් නැතිනම් මැෂින් එකක්‌ වගෙයි. එක පැත්තකට යම් බලපෑමක්‌ වුණොත් ඒක තවත් අංශයකට බලපානවා. ඒකයි මගේ තර්කය. අපි ගිහින් පොලී අනුපාතයට කෘත්‍රිමව බලපෑමක්‌ කළොත් එය ඊට වඩා ලොකු ප්‍රශ්නයකින් අවසාන විය හැකියි. එවිට ජනතාව, ආර්ථික කටයුතුවලට සම්බන්ධවීමට ඉදිරිපත්වීම අධෛර්යමත් වෙන්න පුළුවන්. එවැනි ප්‍රශ්නයක්‌ ඇතිවීමට ඉඩ දීම සුදුසු නැහැ.

මේක තවත් පැත්තකින් බලන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සියයට 13 ක පොළියක්‌ ලැබෙනවා ඒ අයගේ තැන්පතුවලට. මේ චෝදනා එල්ල කරන ඉහළ පොලියක්‌ යෑයි කියන සියයට 12.5 ප්‍රතිශතයේ අනිත් පැත්ත මෙයයි. ඒ ප්‍රතිලාභ එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලබනවා. සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් යමක්‌ කියනවා නම්, ඔබ පොළට ගියොත් උත්සව කාලෙදි සමහර එළවළු වර්ගවලට තියෙන ඉල්ලුම ඉහළ යනවා. එවිට ඒවයෙ මිලත් ඉහළ යනවනෙ. ඒවාට ඇති මිල ගණන් වෙළෙඳපොළ මගින් තීරණය වෙන්නෙ, ඉල්ලුම හා සැපයුම අනුවයි. ඒ නිසා රජයේ ණය ඉල්ලුම ඉහළ යනවිට පොලී අනුපාත ඉහළ යැමට පීඩනයක්‌ ඇති වෙනවා. ඒකට කෘත්‍රිමව බලපෑමක්‌ කළොත් එමගින් වඩා ලොකු ප්‍රශ්නයක්‌ අවසානයේ දී ආර්ථිකයට ඇති වෙන්න පුළුවන්.

ප්‍රශ්නය – ආර්ථිකයක මුළු ණය ඉල්ලුම තුළ, පෞද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේද ණය ඉල්ලුම පවතිනවා. මෙහිදී රජයේ ණය අවශ්‍යතාවය නිසාම වෙළෙඳපොළ පොලී අනුපාතය විශාල ලෙස ඉහළ ගිහින් එහි බර මහජනතාවට දරන්නට සිදුවෙනවා නම් ඒ ගැන ඔබගේ අදහස කුමක්‌ද?

පිළිතුර – ප්‍රශ්නය පොලී අනුපාතය නොවෙයි. මෙතන ප්‍රශ්නය රජයේ ණය ගැනීම්. පසුගිය කාලයේ රාජ්‍ය ආදායම ගොඩක්‌ අඩුවෙලා තියෙනවා. දැන් මම ශ්‍රී ලංකාවෙන් ගියේ වර්ෂ 2004 දී. ඒ කාලේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස 18, 19 ක්‌ විතර වුණා. එහෙත් පසුගිය වසරේ (2014) දී අපි එකතු කර ගෙන තිබෙන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක්‌ ලෙස සියයට 10.3 ක්‌ වගේ ආදායමක්‌. එහි අදහස පසුගිය වසර දහයක කාලයේ දී රාජ්‍ය ආදායමේ විශාල අඩුවීමක්‌ සිදුව ඇති බවයි. ඒ තත්ත්වය අපි වර්ධනය කර ගන්න ඕන. බදු ආදායම් ඉහළ නංවාගන්න ඕන. ඒ වගේ ආදායම් ජනිත කර ගැනීම තමයි රජයකට ගොඩක්‌ වැදගත් වන්නේ මෙලෙස ණය ගැනීමට වඩා. ඒ නිසා රජය ණය ගැනීම් අඩු කරගන්න නම් රජයේ ආදායම වැඩිකර ගන්න අවශ්‍යයි.

ප්‍රශ්නය – පෙබරවාරි 27 දින බැඳුම්කර වෙන්දේසියේදී පිළිගන්නා ලංසු ප්‍රමාණය රු. බිලියනයේ සිට බිලියන 10 දක්‌වාම වැඩි කරපු නිසා ඉහළපොලී ප්‍රතිශතවලට ඉදිරිපත් කර තිබූ ලංසුත් පිලිsගැනීම හරහා පොලිය වැඩි වුණා. හැබැයි ලංකා බැංකුවෙන් කොටසක්‌ සහ මෙම බැඳුම්කර වෙන්දේසියෙන් කොටසක්‌ පිළිගැනීම හරහා රජයේ අරමුදල් අවශ්‍යතාව සපුරා ගත්තා නම් මෙතරම් පොලිය ඉහළ යන්නේ නෑ නේද?

පිළිතුර – ඒ අවස්‌ථාවෙ රජයට රු. බිලියන 10 ක්‌ අවශ්‍ය වී තිබුණා නෙ. අපි ඒ ප්‍රමාණය රජයට කෙසේ හෝ සොයා දිය යුතුයි. ලංකා බැංකුවට ගිහින් ඒ මුදල ගත්ත නම් ඒ අයට පොලී අනුපාතය වෙනස්‌ කරන්න බෑ. ඒ නිසා ඒ අය රජයට අඩු පොලියට ණය දුන්නොත් ආර්ථිකයේ තවත් කණ්‌ඩායමකට ඒක අහිතකර ලෙස බලපානවා. එනම් ඒකෙ පිරිවැය ජනතාවට දරන්න වෙනව වෙන පැත්තකින්. ඒක එක කරුණක්‌ දෙවන කාරණය මෙයයි. 2014 මැයි මාසෙ මහ බැංකු=ව මෙවැනිම භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියක්‌ කළා. ඒ අවස්‌ථාවේදීත් මේ හා සමාන පොලී අනුපාතයක්‌ තමයි දීල තියෙන්නේ. ඒ අවස්‌ථාවේදී සාමාන්‍ය පොලී අනුපාතය වුණේ සියයට 11.75 යි. මේ අවස්‌ථාවේදී (2015 පෙබරවාරි 27 දින වෙන්දේසියේදී) ලබාදී ඇති සාමාන්‍ය පොලී අනුපාතය සියයට 11.73 යි. 2014 වෙන්දේසියේදී ලංසුකරුවන් දෙදෙනායි ඉඳල තියෙන්නේ. මේ අවස්‌ථාවේ ලංසුකරුවන් 26 දෙනෙක්‌ ඉදිරිපත්ව සිටිනවා. ඒකයි මම කියන්නේ. ඔබ වෙළෙඳපොළ ගැන විශ්වාසය තබනවද නැද්ද කියන කරුණ මෙහිදී ඉතා වැදගත්. අපි වෙළෙඳපොළ ගැන විශ්වාසය තබනවා නම් ඒවා හරියට කරන්න ඕන.

ඒ නිසා ඇත්ත වශයෙන් ම මෙතැන පාඩුවක්‌ වෙලා නෑ. දැන් ලංකා බැංකුවෙන් අඩු පොලියකට රජයේ මුදල් ගත්ත නම් අනිත් අතට එම බැංකුවේ තැන්පත්කරුවන්ට ඒවා අවාසිදායක ලෙස බලපානව පෞද්ගලික නිකුතුවලදී. ඒකයි මම කියන්නේ, පොලී අනුපාත අඩුවූ පමණින්ම ආර්ථිකයට ප්‍රතිලාභ ලැබෙන්නෙ නෑ. කිසියම් කණ්‌ඩායමකට එහිදී අවාසියක්‌ වෙනව. ඒ පාඩු විඳින අය ලංකා බැංකුවේ තැන්පත්කරුන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් වෙන්න පුළුවන්. ඒ අයට ඉහළ ප්‍රතිලාභ ලබන්න පුළුවන් ඔවුන්ගේ මුදල්, වෙළෙඳපොළ තුළ ආයෝජනය කිරීමෙන්. එහෙත් අපි මෙහිදී පුද්ගලික නිකුතුවක්‌ කරල අඩු පොලී අනුපාතයක්‌ දුන්නොත් අර්ථසාධක අරමුදලෙ සාමාජිකයන්ට අවාසිදායක ලෙස බලපානවා. එනම් වෙළෙඳපොළේ තියෙන පොලියට වඩා අඩු පොලියක්‌ අපි කෘත්‍රිම ලෙස හදාගෙන ණය ගත්තොත් බැංකු තැන්පත්කරුවන්, අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් වගේ අයට අවාසියක්‌ වෙනවා. ඒ නිසා හැමවිටම මේකෙ දෙපැත්තක්‌ තියෙනවා.

සාකච්ඡා කළේ –
ශ්‍යාම් නුවන් ගනේවත්ත

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.