මහ බැංකු අධිපති වෙනුවන් ලක්බිම කථා කරයි

 

es2

 

මූල්‍ය නීති පනතට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ශ්‍රී ලාංකිකයකුම විය යුතු යැයි සඳහන්ව නොමැති අතර, ශ්‍රී ලාංකිකයකු නොවූ පමණින් මහ බැංකු  අධිපති ධුරය දැරීමට උවමනාවටත් වඩා සුදුසුකම් සපුරා ඇති මහේන්ද්‍රන් මහතා එම තනතුරින් ඉවත් කිරීමේ දේශපාලනික උවමනාව පිරිමැසීමට කර ගසා ඇති බහුතරය අර්ජුන මහේන්ද්‍රන් මහතා උපතින් ශ්‍රී ලාංකිකයකු බව නොදන්නේ මන්ද ?
උපතින් ශ්‍රී ලාංකිකයකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇති අතර ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් දර්ශනය, දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත. 1983 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුවට මාණ්ඩලික නිලධාරියකු ලෙස සේවයට බැඳුනු මහේන්ද්‍රන් මහතා වසර 10ක කාලයක් මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අර්ථ ශාස්ත්‍රඥයකු ලෙස සේවය කළ අතර, රටේ පැවැති අර්බුදකාරී තත්ත්වයන් මත 1993 වසරේදී සේවයෙන් ඉවත්ව ජාත්‍යන්තර තලයේ බැංකු ක්ෂේත්‍රයේ තනතුරු රැසක් හෙබවීය. සිංගප්පූරුවේ ආයෝජනය පිළිබඳ බැංකුකරණය සම්බන්ධ කළමනාකරණ අධ්‍යක්ෂවරයෙක් සහ ආසියාවේ ප්‍රධාන ආයෝජන උපාය මාර්ගික සැලසුම්කරු ලෙස එච්.එස්.බි.සී. බැංකුවේ සේවය කළ මහේන්ද්‍රන් මහතා ලෝක ආර්ථිකය, එහි නව ප්‍රවණතා පිළිබඳ හසල දැනුමක් ඇති ජාත්‍යන්තර තලයේ විශ්‍ලේෂකයෙක් බව කිව යුතුය. ඉන්පසුව එමිරේට්ස් එන්.බි.ඩී. බැංකුවේ ප්‍රධාන ආයෝජන නිලධාරි වශයෙන් සේවය කළ ඒ මහතා 2001 – 2004 කාලයේදී ශ්‍රී ලංකා  ආයෝජන මණඩලයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන්ද සේවය කොට ඇත. ජාත්‍යන්තර වශයෙන් අත්දැකීම් සමුදායක් ඇති මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස 2015 ජනවාරි 23 වැනි දින සිට ජනාධිපතිතුමන් විසින් පත් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රයේ ඔහු විසින් ලබා ඇති අත්දැකීම් හා මනා පළපුරුද්ද මෙන්ම ඔහු උපතින්ම ශ්‍රී ලාංකිකයකු නිසාම වන අතර ඒ මහතාගේ ජාතිකත්වය පිළිබඳ ගැටලුව දඩමීමා කර ගනිමින් රජයටත්, පෞද්ගලිකව මහේන්ද්‍රන් මහතාටත් පහර ගැසීමටත් ඒ හරහා දේශපාලනික උවමනාවන් සපුරා ගැනීමටත් ඇතමෙක් කටයුතු කළ ආකාරය පසුගිය කාලයේ පුවතින් කියවූ බොහෝ දෙනා දකින්නට ඇත.
බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ ජු සහභාගිත්වයක් නොමැති බවටත් එය මහ බැංකුවේ ටෙන්ඩර් ප්‍රතිපත්ති වලට අනුකූලව සිදුකළ බවටත් ත්‍රිපුද්ගල කමිටු වාර්තාව මගින් පෙන්වා දී තිබියදීත් සහ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිර්දෝෂීභාවය තහවුරු කර තිබියදීත් තවදුරටත් මහේන්ද්‍රන් මහතාට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම පසුපස ඇති දේශපාලන උවමනාව කුමක්දැයි පැහැදිලි කර ගැනීම පාඨකයා සතුය.
බොහෝ රටවල් මහ බැංකු අධිපති ධුරය වැනි විශේෂිත තනතුරු සඳහා විදේශිකයන් සේවා නියුක්ත කරන අතර එය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රම වෙළෙඳ‍පොළේ දැකිය හැකි ප්‍රවණතාවයකි. එංගලන්ත මහ බැංකුවේ අධිපතිවරයා කැනේඩියානු ජාතිකයකු වන මාර්ක් කානි මහතාය. වඩා වැදගත් වනුයේ මුදල් නෝට්ටුවේ අත්සන යොදා ඇත්තේ සිංහලෙන්ද, ඉංග්‍රීසියෙන්ද යන්න නොව, මුද‍ලේ දේශීය අගයත් විදේශීය අගයත් යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය දැනුම සහිත පුද්ගලයකු මහ බැංකු අධිපති ධුරය දැරීම බව තේරුම් ගැනීමට දේශපාලන අඳබාලයන්ට නොහැකිවීම රටේ අවාසනාවකි. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පිළිබඳව ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයේදී මහේන්ද්‍රන් මහතා සතුව ඇති ආර්ථිකමය දැනුම දේශනයට සහභාගී වූ අයට වැටහෙන්නට ඇතැයි හඟිමු. රටේ අවශ්‍යතාවය මේ රටේ මුල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කළ හැකි, ඒ සඳහා අවශ්‍ය කුසලතා සහිත අධිපතිවරයෙක් එම තනතුර දැරීම යැයි වටහා ගැනීමට තරම් ජනතාව බුද්ධමත් යැයි අපි හඟිමු.

නන්දසිරි ගනේවත්ත
ගම්පහ

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.