මහ මැතිවරණයෙන් පසු රට අස්ථාවරයි-සුමනසිරි ලියනගේ


– ආචාර්ය සුමනසිරි ලියනගේ

මහ මැතිවරණ සටන ඇරඹීමත් සමග පසුගියදා ජනාධිපතිතුමා සිදුකළ ප්‍රකාශය දේශපාලන ක්‌ෂේත්‍රය තුළ මහත් ආන්දෝලනයක්‌ ඇති කර තිබේ. අගෝස්‌තු 17 මහ මැතිවරණයෙන් පසු රට තුළ ඇතිවිය හැකි බරපතළ දේශපාලන අස්‌ථාවරත්වයක්‌ පිළිබඳ ඉඟියක්‌ එම ප්‍රකාශය තුළ ගැබ් වී ඇති බව ආචාර්ය සුමනසිරි ලියනගේ පවසයි. ආර්ථික හා සමාජ විද්‍යාඥයකු වන ආචාර්ය සුමනසිරි ලියනගේ සමග රටේ දේශපාලන ඉදිරි ගමන පිළිබඳ දිවයින ඉරිදා සංග්‍රහය පැවැත්වූ සාකච්ඡාවයි මේ.

මේ වන විට අපේ රටේ දේශපාලනය තුළ මේ මතුවී පෙනෙන්නේ කිසියම් විකෘති සහගත ස්‌වභාවයක්‌ද?

දේශපාලන සංස්‌කෘතියේ කිසියම් විකෘති භාවයක්‌ ඇතිවී තිබෙනවා කියන අදහස මම හිතන විදිහට ඇතිවෙලා තිබෙන්නෙ වර්තමාන සමහර අපේක්‌ෂකයන්ගෙ චරිත පැපරල් සංවිධානය විසින් සකස්‌ කළ මාර්තු 12 වැනිදා ප්‍රකාශනය සමග හරියට ගමන් නොගැනීම නිසා ඇති වූ මතයක්‌. නමුත් අපේ රටේ දේශපාලන සංස්‌කෘතිය තුළ නොතිබූ දෙයක්‌ නෙමෙයි මේ. ප්‍රධාන පක්‌ෂ දෙකම තමන්ගෙ අපේක්‌ෂකයන් තීන්දු කිරීමේදී කිසියම් මට්‌ටමකට ප්‍රවේශම් වෙලා තිබෙනව. නමුත් පක්‌ෂ දෙකේම ලැයිස්‌තු දෙස බලන විට සියයට සියයක්‌ම එය සිද්ධ වෙලා නෑ. කෙසේ වෙතත් මැතිවරණ ක්‍රමයේ වෙනස්‌ වීමක්‌ නැති තත්ත්වයක්‌ තුළ පැරණි දේශපාලන සංස්‌කෘතියේ ක්‌ෂණික බිඳීමක්‌ සිදුවෙයි කියල බලාපොරොත්තු වෙන්න බෑ.

නමුත් මේ රටේ ජනතාව ජනවාරි 8 ඇති කළ වෙනසට එක්‌ ප්‍රබල හේතුවක්‌ වුණේ දූෂණය සහ අක්‍රමිකතාව. ඒ ඇති කළ වෙනස නැවත ආපසු හැරවීමේ ප්‍රයත්නයක්‌ මේ මහ මැතිවරණය ප්‍රකාශයට පත් වීමත් සමග ඇතිවී තිබෙනවද?

ජනවාරි 8 ජනතා තීන්දුව දූෂණය හා අක්‍රමිකතාව මත පමණක්‌ පදනම් වූ එකක්‌ නෙමෙයි. තනි හේතුවකට එය ලඝූ කිරීම වැරදියි. මේ රටේ විවිධ ජනකොටස්‌ විවිධ හේතුන් මත ජනවාරි 8 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීම සඳහා ඡන්දය දුන්නා. දූෂණ හා අක්‍රමිකතාත් කිසියම් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නත් බොහෝ දුරට නාගරික – විශේෂයෙන් කොළඹ නාගරික ප්‍රභූ ජන කොටස්‌ අතරින් ආ අදහසක්‌. ග්‍රාමීය ජන කොටස්‌ අතරින් යම් පිරිසක්‌ මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන්නෙ ඔවුනට ප්‍රමාණවත් තරම් සහනයන් යුද්ධය අවසාන වීමෙන් පසු නොලැබීම නිසා වන්න පුළුවන්. උතුර නැගෙනහිර ජනතාවත් හිටපු ජනපතිට එරෙහිව ඡන්දය දුන්නෙ යුද්ධය අවසන් වීමෙන් පසු ප්‍රමාණවත් පරිදි සහනයන් ඔවුනටත් නොලැබුණු නිසා විය හැකියි. විශේෂයෙන් බලය සම්බන්ධ ප්‍රශ්නවලට. එමනිසා ජනවාරි 8 තීන්දුව බොහොම සංකීර්ණ එකක්‌. එය එක හේතුවකට ලඝූ කරන්න අමාරුයි.

ඒ වගේම පසුගිය හයමාසෙ ආණ්‌ඩුව කාලෙත් එහෙම ජනවාරි 8 වැනිදා දූෂණ ප්‍රශ්නය පැහැදිලි වුණා නම් මහ බැංකුවේ බැඳුම්කර ප්‍රශ්නය ගැන මීට වඩා බරපතළ ලෙස සැලකිය යුතුව තිබුණා. එයින් පෙනෙන්නේත් ජනවාරි 8 තීරණයට විවිධ හේතූන් බලපෑ බවයි. ධීවරයකුගෙන් ඇහුවොත් ජනවාරි 8 මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන්නෙ ඇයි කියල ඔහු කියන්නෙ දූෂණ අක්‍රමිකතා ගැන නෙමෙයි ඔහුට ජීවත්වීමේ අමාරුකම් පිළිබඳ ප්‍රශ්නය. ඉතිං ඒවත් ආපහු ඇතිනොවන විදිහට වැඩ කරන්න පුළුවන්නම් හොඳයි. නමුත් ඒ ප්‍රශ්නවලට පැහැදිලි විසඳුමක්‌ ලැබෙන සමාජ ආර්ථික පරිවර්තනයක්‌ ජනවාරි 8 වැනිදායින් පසු තැබූ බවක්‌ පෙනෙන්නට නෑ.

අපේ රටේ දේශපාලනය ජනවාරි අටෙන් පසු මෛත්‍රී-රනිල් යුගයක්‌ ලෙස ජනතාව අතර තිබූ මතය හිටපු ජනාධිපතිතුමාට එජනිසයෙන් අපේක්‌ෂකත්වය ලැබීමත් සමග යළි මෛත්‍රී-මහින්ද යුගයකට පෙරළේවි යෑයි සමහරු කල්පනා කළා. නමුත් හිටපු ජනාධිපතිතුමාට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිතුමා කළ ප්‍රකාශයෙන් පසු ඒ මතයත් යළි වෙනස්‌ වී තිබෙනවා?

මෛත්‍රී-මහින්ද එකමුතුවකින් හෝ මෛත්‍රී-රනිල් එකමුතුවකින් මේ රටේ තිබෙන – විශේෂයෙන් සමාජයේ පහළ තීරුවල, ඒවගේම අධ්‍යාපනයේ සෞඛ්‍යයේ ප්‍රශ්න විසඳීමට පුළුවන් කියල මම විශ්වාස කරන්නෙ නෑ. එයට හේතුව මේ දෙපාර්ශ්වයම ක්‍රියාත්මක වෙන්නෙ නව ලිබරල් ආර්ථිකයක්‌ මතයි. එනම් වෙළෙඳපොළ මගින් සියලු දේ සිදු කළ හැකියි කියන මූලික ප්‍රස්‌තුතය මතයි, මේ දෙපිරිසම කටයුතු කරන්නෙ. අපේ රටේ ප්‍රශ්න විසඳන්න නම් පකAෂය කුමක්‌ වුවත් ඊට වඩා වෙනස්‌ වැඩපිළිවෙළක්‌ තිබෙන ආණ්‌ඩුවක්‌ අවශ්‍යයි. දැන් ඇතිවන සන්ධාන කුමක්‌ වුවත් මේ දෙපිරිසම මේ රටේ රාජ්‍ය පාලනය සෑහෙන කාලයක්‌ සිදු කර තිබෙනවා. නමුත් ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා ඔවුන්ට ඇත්ත හැකියාවක්‌ හෝ උවමනාවක්‌ තිබෙන බවක්‌ පෙනෙන්නට නැහැ.

මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිවරයාට අපේක්‌ෂකත්වය ලබාදීම ඇතුළු කරුණු ගණනාවක්‌ පිළිබඳ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගියදා සිදු කළ ප්‍රකාශය යම් ආකාරයකට තමන් ඇඟ බේරාගැනීමට සිදුකළ ප්‍රකාශයක්‌ බවයි, මගේ හැඟීම. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඒ ප්‍රකාශය කිසියම් තරුණියක්‌ තරුණයකු සමග රහසේ පැනල ගිහින් හය මාසයක්‌ ඉඳල තමා තවමත් කන්‍යාවියක්‌ යෑයි ප්‍රකාශ කිරීම බඳුයි.

 

 

Professor-Sumanasiri-415x260

 


ගතවුණු හය මාසය තුළ මේ රටේ ඇතිවුණු වෙනස ආර්ථික හා සමාජ විද්‍යාඥයකු ලෙස ඔබ දකින්නෙ කොහොමද?

මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හෝ රේගු අධ්‍යක්‌ෂවරයාගේ අස්‌වීම සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නිශ්චිත තීන්දුවක්‌ ගත්තේ නෑ. වෙළෙඳපොළේ තෙල්මිල තුළින් ලැබුණු සහනය හැරුණු විට මහජනතාවට පසුගිය හයමාසය තුළ විශාල සහනයක්‌ ලැබුණෙ නෑ. ඒ කාලය තුළ අලූත් සංවර්ධන ව්‍යාපෘති ඇතිවුණේ නැහැ වගේම ක්‍රියාත්මකව තිබුණු සංවර්ධන ව්‍යාපෘතිත් බොහොමයක්‌ නැවතුණා. ඊට මම දකින හොඳම උදාහරණය මගේ ගෙදරට යන පාර. ජනවාරි 8 වැනිදා වන විට බාගයක්‌ හදල තිබුණු ඒ පාරෙ වැඩ දැන් නැවතිලා. සංවර්ධන වැඩ නැවතීමෙන් විරැකියාව වැඩිවුණා. රටේ ආර්ථික වර්ධන වේගය අඩුවුණා. පසුගිය හයමාසයක කාලය ජනතාවට ඉතාමත් සුත මුදිත කාලයක්‌ ලෙස සිතන්න බෑ. කිසියම් ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක්‌ ලැබුණු බව ඇත්ත. එය බොහෝ විට නව ආණ්‌ඩුවක්‌ පිහිටුවීමත් සමග ඇතිවන නිදහසක්‌. එසේ නැතිව රටේ නිශ්චිත වෙනසක සලකුණු ඇතිවුණා යෑයි කියන්න බෑ. 19 වැනි සංශෝධනය වුණත් 17 වැනි සංශෝධනයෙන් මඳක්‌ ඔබ්බට යැමක්‌ මිස ඊට වඩා දෙයක්‌ නෙමෙයි.

හිටපු ජනාධිපතිතුමා ඇතුළු පිරිසට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් නාමයෝජනා ලැබීමෙන් ශ්‍රීලනිපය දෙකඩවීම වැළකුණු බව වැඩිදෙනාගෙ මතයයි. නමුත් ඒ නිසාම අලුත් පෙරමුණක්‌ – යහපාලනය සඳහා වූ එක්‌සත් ජාතික පෙරමුණක්‌ බිහිවුණා. මේ යන ගමන තුළ ඉදිරි මහ මැතිවරණයේ දී වැඩි වාසි හිමිවිය හැක්‌කේ කාටද?

ඡන්ද ව්‍යාපාරය තවමත් ශක්‌තිමත් ලෙස වර්ධනය වී නැති නිසා – විශේෂයෙන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ඡන්ද ව්‍යාපාරය තවම ඇරඹිලා නැති නිසා මේ පිළිබඳ තවම නිශ්චිත අදහසක්‌ ප්‍රකාශ කරන්න අපහසුයි. යහපාලනය සඳහා වූ එක්‌සත් ජාතික පෙරමුණ මැතිවරණ සටනේ දැනට ඉදිරියෙන් සිටින බවක්‌ පාරට බැස්‌සහම නම් පෙනෙනවා. එජාපය මැතිවරණ සටන පටන් අරන් දැන් සෑහෙන කාලයක්‌. අනෙක්‌ පක්‌ෂ තවමත් ශක්‌තිමත් ලෙස මැතිවරණ ව්‍යාපාරය පටන් ගෙන නැති නිසා එජාපය මේ සටනේ දැනට ඉදිරියෙන් සිටින බව කියන්න පුළුවන්.

ජනවාරි 8 ප්‍රතිඵලයේදී ලැබූ ලක්‌ෂ 62 විවිධ බෙදුම්වලට යන්න පුළුවන්. එජනිස වෙනම තරග කරන නිසා මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබුණු ඡන්දවලින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ දෙමළ ජාතික සන්ධානයටත්, ප්‍රජාතන්ත්‍රවාදී එක්‌සත් පෙරමුණටත් හිමිවෙන්න පුළුවන්. විශේෂයෙන් සරත් ෙµdන්සේකා මහතා කොළඹින් තරග කරන නිසා ඔහුට ආසනයක්‌ ලබාගැනීමේ හිමිකමක්‌ ඇතිවිය හැකියි. ජන්ද ලක්‌ෂ 62 න් රටේ පළාත් ගණනාවකින් සෑහෙන ප්‍රමාණයක්‌ ප්‍රජාතන්ත්‍රවාදී එක්‌සත් පෙරමුණට ලබාගත හැකි වේවි. ඒ ලක්‌ෂ 62 තුළ ජනතා විමුක්‌ති පෙරමුණේ ඡන්දත් තිබෙනව. මෙවර ඔවුනුත් වෙනම තරග කරන නිසා ඔවුන්ටත් සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක්‌ මෙයින් ලබාගත හැකිවේවි. එය මා හිතන්නේ නිශ්චිතවම ලක්‌ෂ 12 කට වැඩි හෝ ඊට ආසන්න ප්‍රමාණයක්‌ විය හැකියි. එමනිසා ජනවාරි 8 ලැබූ ලක්‌ෂ 62 තුළින් ඉතිරි වන්නේ එක්‌සත් ජාතික පක්‌ෂයට, ජාතික හෙළ උරුමයට සහ මුස්‌ලිම් කොංග්‍රසයට ලැබෙන ජන්ද ප්‍රමාණය පමණයි.

හිටපු ජනාධිපති වරයා ජනවාරි 8 දා ලැබූ ජන්ද ලක්‌ෂ 58 ඔහු ලැබුවේ රාජ්‍ය බලය හා රාජ්‍ය ප්‍රසාදයත් සමගයි. එමනිසා එම ජන්ද ලක්‌ෂ පනස්‌අටෙනුත් ජන්ද අඩුවෙනවා. නමුත් ඒ පිළිබඳ තවම නිශ්චිත අදහසක්‌ කියන්න අමාරුයි. නමුත් පොදුවේ ඡන්ද බෙදී යන ආකාරය දෙස බලන විට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩක්‌ තිබෙන බව අනුමාන කරන්න පුළුවන්. කවුරු ජයග්‍රහණය කළත් මේ මහ මැතිවරණයෙන් පසු කිසිදු පක්‌ෂයකට නිශ්චිත බලයක්‌ නැති ආණ්‌ඩුවක්‌ ඇතිවීමට ඉඩ තිබෙනවා. මීළඟ අගමැතිවරයා විය හැක්‌කේ කවුද යන්න පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සමග මහ මැතිවරණයෙන් පසු රටේ බරපතළ දේශපාලන අස්‌ථාවරත්වයක්‌ ගොඩනැඟීමේ ඉඩකඩක්‌ පෙනෙන්නට තිබෙනවා.

සාකච්ඡා කළේ – පාලිත සේනානායක

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.