මැතිවරණයේ අඬහැරය -සමාජ මාධ්‍ය මොකටද ?

අගමැති රනිල් වික්‍රමසිංහ WI FI කලාපයේ

සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් පැතිර යන්නේ ලැව් ගින්නක් ලෙසිනි.මේ ලැව්ගින්න දේශපාලන කරලියට කරන බලපෑම නොතකා ඡන්ද කරන්නට බැරි තරම්ය.ෆේස් බුක් පිටුවක් හෝ ට්විටර් ගිණුමකින් තොරව ප්‍රධන පක්ෂ වලින් මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ගණන පහත වැටෙමින් පවතී.

සමාජ මාධ්‍ය කොතෙක් පැතිරී ඇත්ද?

ශ්‍රිලංකාවේ ෆේස් බුක් ගිණුම් හිමියන් විසි ලක්ෂයකට වැඩියෙන් සිටින බවට පොදු පිළිගැනීමක් ඇති අතර සමස්ත ජනගහනයෙන් සියයට දහයක් පමණ සමාජ මාධ්‍ය ඔස්සේ සක්‍රීයව සිටින බවයි වර්තා වන්නේ. සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහේ යෙදෙන වැඩි දෙනා වයස අවූරුදු දහ අටත් විසි හතරත් අතර පිරිසයි.

එම සමාජ ස්ථරයේ ඡන්දය ලබා ගැනීම සඳහා සමාජ මාධ්‍ය භාවිතාකිරීම වඩාත් ප්‍රතිඵලදායක බව කල්පනා කරන දේශපාලනඥයින් ගේ සංඛ්‍යාව වැඩි වෙමින් තිබෙන බවක් පෙනී යයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශ ප්‍රධානි අචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසන්නේ, සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් තරුණ පරපුරේ දේශපාලන සවිඥානිකත්වය ඉහළ ගොස් ඇති බවයි.

දේශපාලනඥයන් සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ කෙසේද?

දේශපාලනඥයින් සමාජ මාධ්‍ය ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්නේ තමන්ට වාසිදායක පණිවිඩය සහ සිය මැතිවරණ අංකය සමාජගත කිරීමට බවයි ප්‍රවීන වෙබ් අඩවි සංස්කාරක ධනංජය සූරියආරච්චි පවසන්නේ.

නිර්මාල් රංජිත් දේවසිරි

මාධ්‍යවේදී තිලිණ සමරසිංහ පවසන ආකරයට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අතුරින් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ‘පුරවැසියා කියන දේ දැනගැනීමේ උනන්දුවෙන්’ සමාජ මාධ්‍ය ඔස්සේ නිරතුරු සංවාදයේ නිරත වන්නෙකි.

අනෙක් අතින් ඔහු කවර ප්‍රහාර එල්ල වුනත් ඊට පිළිතුරු දෙමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංවාදශීලී වන්නෙකි.

ධනංජය සූරියආරච්චි පවසන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ තම පණිවිඩ නිකුත් කිරීම සඳහා ප්‍රචාරක ආයතන වල සහය ලබා ගන්නා දේශපාලනඥයින්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් තිබෙන බවයි.

මෙම දේශපාලනඥයන් ඡන්දදායකයින් සමඟ සැබෑ සංවාදයක යෙදෙන්නේ නැති බවයි සූරියආරච්චි වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

සමාජ මාධ්‍ය උපායශීලී ලෙස භාවිතා කරන්නේ කොහොමද?

සමාජ මාධ්‍ය ඔස්සේ දූෂමාන ආරංචි පැතිරවීමට තිබෙන ඉඩකඩ පිළිබඳව තමන් දැනුවත්ව සිටින බව හිටපු ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රචාරණයේ නියුතු ආචාර්ය චරිත හේරත් කියා සිටියි.

වෙබ් අඩවි සංස්කාරක ධනංජය සුරියආරච්චි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ෆේස් බුක් සංවාදයක් ආරම්භ කළේ විනිවිදභාවයකින් යුතුව සමාජ සංවාදයේ නිරතවීමට බවයි ඔහු පවසන්නේ.

මධ්‍යවේදී තිලිණ සමරසිංහ කියා සිටින්නේ, පසුගිය මහා මැතිවරණයේ දී විපක්ෂ කණ්ඩායම් ඉතා සාර්ථක ලෙස සමාජ මාධ්‍ය භාවිතා කරමින් තමන්ට අවාසිදායක වූ සන්නිවේදන අවකාශයක් ගොඩනගා ගත් බවයි.

ධනංජය සූරියආරච්චි කියා සිටින්නේ ‘පෝස්ටර්,කටවුට් ආදියට නීතියෙන් සීමා පැනවෙන විට දේශපාලනඥයින් සමාජ මාධ්‍ය දෙසට හැරෙන’ බවයි.

බලපෑම් කණ්ඩායම් ගොඩ නැගීමේදී සමාජ මාධ්‍ය වලින් ප්‍රබල මෙහෙයක් ඉටු වෙන ආකාරය ඊට නිදර්ශනයකි.

මුස්ලිම්වරුන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වෙද්දී විවිධ මත දැරූ පිරිස් ‘කණ්ඩායම් හැටියට සමාජ මාධ්‍ය ඔස්සේ ගොනු වූ බව’ මාධ්‍යවේදී තිලිණ සමරසිංහ කියා සිටී.

ඉක්මනින් ජනප්‍රිය වීම සඳහාත් දේශපාලනඥයන් සමාජ මාධ්‍ය භාවිතා කරන බවයි ධනංජය සූරියආරච්චි පෙන්වා දෙන්නේ.

‘මෑතකදී හිටපු ඇමතිවරයෙක් තමා තරුණියන් සමඟ පෙනී සිටින ඡායාරූප කීපයක් සමාජ මාධ්‍යය ඔස්සේ පළ කොට පසුව ඔවුන් තම ඥාති දියණියන් පිරිසකගේ ඡයාරූප බව හෙළිදරව් වන්නට හැරියේ උපක්‍රමයක් ලෙසින්’ය යන්න බව ධනංජය සූරියආරච්චිගේ අදහසයි.

එම සිදු වීමේ ඇත්ත නැත්ත තහවුරු කර ගැනීම දුෂ්කර වෙතත් මෙවැනි උපක්‍රම සමාජ මාධ්‍ය ඔස්සේ භාවිතා කෙරෙන රහසක් නොවේ.

සමාජ මාධ්‍ය භාවිතයේ නිදහස පුළුල් වී ඇත්ද?

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක නව රජය බලයට පත් වීමත් සමඟ බිය සැක නැතිව ෆේස් බුක් පරිහරණය කළ හැකි සමයක් උදාවී ඇති බව කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වෙබ් මාධ්‍ය වාරණය කළ බවට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන චෝදනා කළ අතර හිටපු ජන මාධ්‍ය ලේකම් චරිත හේරත් කියා සිටින්නේ තමන් කිසි කළෙක සමාජ මාධ්‍ය හෝ වෙබ් අඩවි වාරණය නොකළ බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය සිදු කළ නිරීක්ෂණයට අනුව ප්‍රවෘත්ති වෙබ් අඩවි නියාමනයට යොමු වූ බවයි චරිත හේරත් ප්‍රකාශ කරන්නේ.

වෙබ් අඩවි සංස්කාරක ධනංජය සූරියආරච්චි පවසන අන්දමට ‘වඩා නිදහස් වාතාවරණයක් දැන් ඇති වී තිබෙන නමුත් සත්‍ය තොරතුරු ලබා ගැනීමට තිබෙන ඉඩකඩ වැඩි වී තිබෙන්නේද’ යන්න තවමත් ගැටලුවකි.

චරිත හේරත් -ජන මාධ්‍ය අමත්‍යංශයේ හිටපු ලේකම්

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසන්නේ, මාධ්‍යය නිදහස වැඩි වෙත්ම තමන් කැමති මෙන්ම අකමැති තොරතුරුත් පරිභෝජනය කිරීමට සිදුවෙන බවයි.

ජංගම දුරකථන ව්‍යාප්තිය සමාජ මාධ්‍ය ප්‍රසාරණයට හේතු වී ඇත්ද?

මේ වන විට ශ්‍රී ලංකාවේ ජනගහනය කෝටි දෙකක් වන අතර එම සංඛ්‍යාවට ආසන්න ජංගම දුරකථන සංඛ්‍යාවක් ද ඇති බව ජාත්‍යන්තර විදුලි සංදේශන සංගමය ඇතුළු ආයතන ගණනාවක් මගින් නිකුත් කොට ඇති වාර්තා වලින් පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට විසිපහක් පමණ අන්තර් ජාලය භාවිතා කරන බව අනුමාන කළ හැකි අතර ජංගම දුරකථනය ඔස්සේ සමාජ මාධ්‍ය ජාල වෙත පිවිසෙන්නන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යන බව මෑතකදී බීබීසී ලෝක සේවය ශ්‍රී ලංකාවේ කළ සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබේ.

ශ්‍රි ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය උණුසුම් වෙත්ම ඊට සමාන්තරව ෆේස්බුක් සහ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවෙන කතාබහත් උණුසුම් වෙනු ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.