මුඛ සංසර්ගය – ප්‍රවේශමෙන්

gonorrheaගොනෝරියා බැක්ටීරියාවේ පාලනය කළ නොහැකි භයානක තත්ත්වයක් මුඛ සංසර්ගය හේතුවෙන් මතුවී ඇති අතර උපත් පාලන කොපු (condom) භාවිතයේ අඩුවක් පෙන්වීම එය පැතිර යාමට රුකුලක් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එම සංවිධානය අනතුරු අඟවමින් පෙන්වාදෙන්නේ යම් අයෙකුට ගොනෝරියා වැළඳුනහොත් දැන් ඊට ප්‍රතිකාර කිරීම අසීරුවන අතරම ඇතැම්විට ප්‍රතිකාර කළ නොහැකි බවය.

ලිංගික සබදතාවලින් ආසාදනයවන මෙම බැක්ටීරියාව ප්‍රතිජීවකවලට ප්‍රතිරෝධය දැක්වීමේ වේගවත් වර්ධනයක් පෙන්නුම් කරයි. මේ සඳහා නව ඖෂධ වර්ග කිහිපයක් නිකුත්වීමට නියමිතව තිබුනද දැනට පවතින්නේ ‘එතරම් සතුටුදායක නොවන’ තත්ත්වයක් බව විශේෂඥයෝ පෙන්වා දෙති. වාර්ෂිකව ලොව පුරා මිලියන 78 ක පිරිසක් ලිංගාශ්‍රිත රෝගවලට ලක්වන අතර එය දරුඵල නොලැබීමට ද හේතුවකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය රටවල් 77 ක් ආශ්‍රයෙන් කරන ලද විශ්ලේෂණයකින් පෙන්වා දී තිබෙන්නේ ගොනෝරියා ප්‍රතිජීවකවලට ප්‍රතිරෝධය දැක්වීම පුළුල්ව පැතිර ඇති බවය. ජපානය, ප්‍රංශය සහ ස්පාඤඤය යන රටවලින් වාර්තාවූ රෝග තත්ත්ව තුනකින් පෙන්වාදී තිබෙන්නේ ඒවා සම්පුර්ණයෙන් ම සුවකළ නොහැකි තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය තියඩෝරා වි සඳහන් කළාය.

“ගොනෝරියා ඉතාමත් තීක්ෂණ රෝග බීජයක්. ඊට ප්‍රතිකාර සඳහා අලුත් වර්ගයේ ප්‍රතිජීවකයක් හඳුන්වා දෙන සෑම අවස්ථාවකම එම රෝග බීජය ප්‍රතිරෝධය දක්වන තත්ත්වයට පත්වෙනවා.” යැයි ඇය කියා සිටියාය. අති බහුතර ගොනෝරියා ආසාදන වාර්තාවන්නේ දුගී රටවලින් වන අතර එහි ප්‍රතිරෝධය හඳුනාගැනීම ඉතා අසීරු වී ඇති බව සඳහන් කරන වෛද්‍ය තියඩෝරා පෙන්වා දුන්නේ “මේ සිදුවීම් ඇතැම්විට පාවෙන විශාල අයිස් කුට්ටියක (iceburg) මතුපිටට පෙනෙන ප්‍රමාණය වැනි විය හැකියි” යනුවෙනි.

සුපිරි – ගොනෝරියාවක්
ජනනේන්ද්‍රිය, අධෝ මාර්ගය හා උගුර ආශ්‍රිතව ගොනෝරියා ආසාදනය විය හැකි අතර මෙයින් වෛද්‍ය වෘත්තිකයින්ගේ වැඩි අවධානයට ලක්ව ඇත්තේ උගුර සම්බන්ධ තත්ත්වය වේ.

වෛද්‍ය තියඩෝරා වි පෙන්වා දෙන ආකාරයට ගොනෝරියාවලට නෑකම් දක්වන බැක්ටීරයාද ඇතුළුව උගුර පසුපස ඇති බැක්ටීරියා ප්‍රතිජීවකවලට ප්‍රතිරෝධය දැක්වීමේ වර්ධනයක් පෙන්විය හැකි බවය.

“සාමාන්‍ය උගුරේ ආසාදනයකට භාවිත කරන ආකාරයේ ප්‍රතිජීවක දෙන විට එය ඔබේ උගුරේ ඇති නීසේරියා (Neisseria) විශේෂය හා මිශ්‍රවීමේ ප්‍රතිඵලය වන්නේ ප්‍රතිරෝධයක් ඇතිකිරීමයි” ඇය සඳහන් කළාය.

මුඛ සංසර්ගය මගින් උගුරට ඇතුළුවන ගොනෝරියා බැක්ටීරියාව, එතුළ ඇති පරිසරය හේතුවෙන් එය සුපිරි – ගොනෝරියාවක් බවට පත්වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.