මෙදා අයවැයෙන් සුද්දන්ට සැප දීලා ගොවියාට ගොවිතැන් එපා කරවලා – ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න

namal-karunarathna.සුද්දන්ට ඉඩම් මිලදී ගැනීම, තට්‌ටු නිවාස මිලදී ගැනීම තහවුරු කරන සහ ගොවියාට ගොවිතැන් එපා කරවන අයවැයක්‌ ආණ්‌ඩුව මෙවර ඉදිරිපත් කර ඇති බව සමස්‌ත ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය. දඹුල්ල සියපත් හෝටලයේදී 14 දා පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය. මෙවර අයවැයේදී කෘෂිකාර්මික අණපනත් පිළිබඳව ආණ්‌ඩුව අනවබෝධයෙන් කටයුතු කර ඇතැයිද ඔහු පැවසීය.

2018 වසර සඳහා ආණ්‌ඩුව ඉදිරිපත් කළ නීල හරිත අයවැය පිළිබඳව අදහස්‌ පළ කළ නාමල් මහතා 2017 වසරේ ආණ්‌ඩුව ඉදිරිපත් කළ අයවැයෙන් කෘෂි කර්මාන්තයට රුපියල් මිලියන 66317 ක්‌ වෙන් කළත් 2018 වසරට වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 23993 ක්‌ බව ද කෘෂි ක්‍ෂේත්‍රය සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 42528 ක්‌ කප්පාදු කර ඇති බවත් පැවසීය. 2017 සැප්තැම්බර් මාසය අග වන විට අයවැයෙන් වෙන් කරන ලද මුදලෙන් වියදම් කර ඇත්තේ සියයට 32 ක්‌ බවද ඔහු කීවේය.

අයවැයෙන් සංඛ්‍යාත්මකව වාර්ෂිකව වෙන් කරන මුදල් ප්‍රමාණය එම වර්ෂය තුළදී අදාළ අමාත්‍යාංශයට නිසි අයුරින් වෙන් නොකරන බවත්, වෙන් කරන මුදල් ද නිසි අයුරින් වියදම් කිරීමට නිශ්චිත කාල වකවානුවල මුදල් නොලැබීම නිසා ඉන් අත්වන ප්‍රගතියක්‌ නොමැති බවත් ඔහු පැවසීය.

මෙවර අයවැයෙන් ගොවියාට අක්‌කරයක වගා බිම් සඳහා රුපියල් හතළිස්‌ දහසක වගා අරමුදලක්‌ යෝජනා කිරීම හොඳ දෙයක්‌ වුවත්, එම මුදල සඳහා දායක මුදල් ගොවියාගෙන් අය කර ගැනීම සුදුසු නොවන බවත්, ජලය නිකුත් නොකිරීම හා ජලය නොමැතිකමෙන් වගා හානි වන වගා බිම් සඳහා වගා හානි ගෙවීමේ ක්‍රමවේදයක්‌ සඳහා අදාළ යෝජනාව සංශෝධනය විය යුතු බවද ඔහු සඳහන් කළේය.

මෙවර අයවැයෙන් ලොකු ලූනු, බඩඉරිඟු, එළවලු, උක්‌, අර්තාපල් ගොවියා මෙන්ම කිරි ගොවියා ද අර්බුදයට පත්ව ඇතත් ඒ සඳහා අවධානය යොමු කර නොමැති බවත්, ඒ තුළින් ආණ්‌ඩුව ගොවියාට ගොවිතැන් එපා කරවන ප්‍රතිපත්තියක සිට කටයුතු කරන බව පෙනෙනවා. රවීලා, දුමින්දලා ගොවිතැන කියපු දේවල් සනාථ කෙරෙන අයවැයක්‌ තමා මෙවර ඉදිරිපත් කරලා තියෙන්නේ.

මේ වන විට බීජ ගොවිපළවල් විදේශීය සමාගම්වලට දීලා තියෙනවා. ගොවියාගේ ඉඩම් අයිතිය කොල්ලකන්න අපි ඉඩ තියෙන්නේ නැහැ. පැල්වත්ත හා සෙවනගල උක්‌ ගොවීන් අඛණ්‌ඩ උපවාසයක නිරතව සිටිනවා. අද දිනයේ ඔවුන්ගේ සටන වෙනුවෙන් දැවැන්ත විරෝධතාවක්‌ කරනවා.

ගොවියාගේ අයිතීන්වලට ආණ්‌ඩුව අත තියන්න සූදානම් වුවොත් ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් අරගල කිරීමට අපි සූදානම් යෑයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස්‌ පළ කළ එම සම්මේලනයේ උප සභාපති සුසන්ත කුමාර මහතා ලක්‌ෂ තුනක්‌ පමණ වන මෙරට දේශීය කිරි ගොවියා ගැන අයවැයෙන් කිසිදු සහනයක්‌ නැහැ. ඔවුන්ගේ දරු පවුල් අද අසරණ වෙලා. වී ගොවියා මෙන්ම කිරි ගොවියා ද කිරි ගොවිතැනින් ඉවත් කිරීමේ සැලසුමක්‌ තියෙනවා.

ජනාධිපතිවරයා පසුගියදා කීවා දේශීය කිරිපිටි කර්මාන්තය දියුණු කරන්න ආනයනික කිරි පිටි බදු වැඩි කරනවා කියලා. ආණ්‌ඩුව බදු වැඩි කරනවා වෙනුවට ආනයනික කිරිපිටි කිලෝවක්‌ සඳහා රුපියල් 245 ක බද්ද මේ වන විට රුපියල් 02 දක්‌වා අඩු කරලා. මේ තුළින් කිරිපිටි පරිභෝජනය කරන පාරිභෝගිකයා, අතරමැදියා මෙන්ම කිරි ගොවියාට අයවැයෙන් සහන නැහැ.

මෙම අවස්‌ථාවට දඹුල්ල ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සුනිල් රණවීර හා ලේකම් ඩබ්ලිව්. එම්. තිලකරත්න යන මහත්වරු ද එක්‌ව සිටියහ.

(දඹුල්ල – සරත් එරමිනිගම්මන/ කිතුල්හිටියාව – ඩී. ඩබ්ලිව්. ඡේ. බණ්‌ඩාර)

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.