මේ අවිධිමත් පුහුණු නතර කරන්නේ කවදාද?

principalකුරුණෑගල වාරියපොළ ‘වයඹ පුහුණු මධ්‍යස්ථානයේ’දී පසුගිය 17 වනදා සවස හදිසි අනතුරකින් තුවාල ලැබ හම්බන්තොට ‘සුචි’ ජාතික පාසලේ විදුහල්පතිනී රෝහිණී කුමාරි අතපත්තු මරණයට පත්වීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරෙන පරීක්ෂණ අවසන්වනතුරු එම නායකත්ව පුහුණු වැඩමුළු නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පෙරේදා (පෙබ 20) පියවර ගත්තේය.

මීට පෙර සරසවි නායකත්ව පුහුණු වලදීත් පොලිස් ශරීර යෝග්‍යතා පුහුණු වලදීත් මරණ සිදුවී ඇතත් එයින් පාඩමක් ඉගෙනගත් බවක් පෙනෙන්නට නැත.

එම මරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් “එම කණගාටුදායක සිද්ධිය සම්බන්ධයෙන් තමා වෙත පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස” අදාළ අංශවලට දැනුම් දී ඇතැයි සඳහන් කළේය. මේ වාර්තා වලින් අර්ථවත් යමක් සිදු නොවන්නේ මඳ යන්න විමසීම වඩා වැදගත්ය .

සරඹ කරමින් සිටිය දී හදිසි අනතුරකට ලක්වූ විදුහල්පතිනිය බිම වැටීමකින් හිස වැදී මොළයේ ඇතිවූ රුධිර වහනයකින් මරණයට පත්වූ අතර පුහුණුවට පෙර ශාරීරික යෝග්‍යතාව හොයා බලු බවට දැනගන්නට නැත.

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කරන ලද දැනුම් දීමක් අනුව සිය බිරිඳ වාරියපොළ වයඹ පුහුණු මධ්‍යස්ථානයේ නායකත්ව පුහුණු වැඩ සටහනකට සහභාගී වෙමින් සිටි බවත් පසුගිය 17 වනදා සවස එම හදිසි අනතුර ගැන දැන ගන්නට ලැබුණ බවත් මරණයට පත් විදුහල්පතිනියගේ ස්වාමි පුරුෂයා වන තිලකරත්න අබේසිංහ පවසයි.

අනතුරට පත්ව සිටි සිය බිරිඳ සමඟ තමා දුරකතනයෙන් කතා කළ බවත් තිලකරත්න අබේසිංහ පවසයි.

“මගේ නෝනා මට කිව්ව – මහත්තයා මට ගොඩක් ආමාරුයි – කියල . මම කිව්ව ඔයාට බුදුසරණයි කියලා. පස්සේ මට දැන ගන්න ලැබුණා, කුරුණෑගල රෝහලේ සිට කොළඹ මහ රෝහලට නෝනා රැගෙන යන අතර ඇය මියගිය බව” සිය බිරිඳගේ අභාවයෙන් කම්පාවට පත්ව සිටින තිලකරත්න අබේසිංහ වැඩි දුරටත් සඳහන් කළේය.

තම බිරිඳ අඩි 40 ක පමණ උසක සිට ඉනිමගකින් පහළට බැසීමට යැමේදී එයින් බිමට වැටී ඇති බවත් මියගිය විදුහල්පතිනියගේ සැමියා වන තිලකරත්න අබේසිංහ (59) යන අය කොළඹ නාගරික හදිසි මරණ පරීක්‌ෂණ උසාවිය හමුවේ සාක්‌ෂි දෙමින් කීය.

ගුරුවරින්ට යුද හමුදාවට සමාන මට්ටමේ පුහුණුවක් ලබා දෙනවා නම් විධිමත් ආරක්ෂාවක් යටතේ එය සිදුකළ යුතු අතර ඉහත කී පුහුණු පාඨමාලාව තුළ එවැනි ආරක්ෂාවක් නොතිබූ බව තහවුරු වන බව තිලක රත්න අබේසිංහගේ අදහස වෙයි.

මියයන විට 53 වැනි වියේ පසු වූ රෝහිණී කුමාරි අතපත්තු විදුහල්පතිනිය දියණියන් සිවු දෙනකුගේ මවක් වන අතර දරුවන් දහස් ගණනකට අධ්‍යාපනය ලබාදුන් ගුරුවරියක් ලෙස ප්‍රද්ශයේ ජනතාව අතර ගෞරවාදරයට ලක්වෙයි.

2011 වර්ෂයේ හම්බන්තොට ‘සුචි’ ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස සේවයට එක් වූ ඇය 2013 වර්ෂයේ සිට මිය යන තෙක් එම විද්‍යාලයේ විදුහල් පතිනිය ලෙස සේවය කළාය.

“අම්මයි – අපියි මේ ගෙදර ජීවත් වුණේ යාළුවො වගේ. එයා අපට ගොඩක් ආදරෙයි. එයා කොහේ ගියත් අපට නිතරම කතා කරනවා. මම ආපහු ඉරිදාට එනවා කියලයි අම්ම එදා ගෙදරින් ගියේ” රෝහිණී කුමාරි අතපත්තු විදුහල්පතිනියගේ වැඩිමහල් දියණිය වන ලක්ෂානි මධුෂිකා පවසන්නීය.

මෙම විදුහල්පතිනියගේ මියයාම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වගකීම භාරගත යුතු අතර, මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කර මියගිය විදුහල්පතිනියට යුක්තිය ඉටු කළ යුතු බවත්, මෙවැනි පුහුණුවකට විදුහල්පතිවරු කැඳවූයේ කුමන පදනමකින්ද යන්නත්, එම පුහුණුව අනාරක්ෂිතව පුහුණු කටයතු සිදුකරන පෞද්ගලික ආයනයකට ලබා දුන්නේ කුමන පදනමකින්ද යන්නත්, ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමක් කළේද යන්නත්, ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වැයකළ මුදල පිළිබඳවත් වහා විධිමත් පරීකෂණයක් කළ යුතු බව ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.