මෛත්‍රීගේ උත්තර බැඳීම පිළිගත හැකිද?

 

කුතුහලය දනවන දින ගණනාවක නිහැඬියාවකින් පසුව අවසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය විශේෂ ප්‍රකාශය සිදු කළේය. එම ප්‍රකාශය තුළින් ඔහු තමන්ට එල්ල කෙරුණු චෝදනාවන්ට පිළිතුරු දුන් අතර සැකමුසු තැන් විවර කර යම් කරුණු ප්‍රමාණයක් එළි දක්වන ලදී. එතැන් සිට පසුගිය දින කිහිපය පුරාවට ඔහු ද්‍රෝහියෙකැයි පැවසූ පිරිස ඔහුව යළිත් වීරයෙක් කරනු ඇත. ඔහුව පසුගිය දින කිහිපය සඳහා වීරයෙක් හෝ යම් සාධාරණ තැනැත්තෙක් කළ පිරිස යළිත් ඔහුට ද්‍රෝහියා යැයි කියනු ඇත. දින කිහිපයකින් මේ කතාවද මැතිවරණයේ මුහුණට මුහුණ සටන් මැද සැඟව යනු ඇත. පිටතින් පෙනෙනා සියල්ල සත්‍ය නම් විද්‍යාවක් අවශ්‍ය නොවනු ඇතැයි කියමනක් තිබේ. ඒ අනුව මෛත්‍රීගේ නිහැඬියාව සහ කෙළවර ලැබෙන මෙම ප්‍රකාශයට අතුරින් යටින් දිවෙනා යමක් තිබිය යුතුම ය.

නව ප්‍රජාතන්ත්‍රවාදය

 

තමුන්ට ද්‍රෝහියා යැයි පැවසූ පිරිසට පිළිතුරු ලෙස මෛත්‍රී කීවේ මේ නව ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳිනා ලෙසය. ඇත්ත ය. ජනාධිපතිවරයෙක් මෙතරම් කෙටි කාලයක් තුළ නො අසනා බැණුම් ඔහු ඇසුවේය. ද්‍රෝහියා මෙන්ම නපුංසකයා යන වදන ද බොහෝ සේ භාවිතා විණි. එසේ බැණවදින්නට නිදහස ද තිබිණි. නමුත් ඔහු ව්‍යංගාර්ථයෙන් කියන්නේ එම නිදහස තමාගේ හොඳ කම නිසා ලැබුණු එකක් කියා නම් අපට ද දෙන්නට පිළිතුරක් තිබේ. ඔව් ජනපතිතුමනි, ඔබගේ හොඳකමට ද ඉන් යම් ප්‍රතිශතයක් අයිති බව සැබෑය. නමුත් ඔබ ම මාර්තු මස දිනක ප්‍රසිද්ධියේ පැවසූ පරිදි, ඔබ ජනපතිවරණය ජයග්‍රහණය නොකළේ නම් ඔබේ හොඳකමත් සමඟම ඔබට එලොව යාමට සිදුවෙන්නට ඉඩ තිබුණි. තනිවමද නොවේ, ඔබ වෙනුවෙන් වෙහෙසුණු තවත් බොහෝ සාමාන්‍ය මිනිසුන්ද සමඟ ම ය. ඒ අවදානම රැගෙන ඔබ වෙනුවෙන් ජනතාව වෙහෙසුණේ කතා කිරීමේ නිදහස ඇහිරූ පාලකයා එළවා ඔබව පත් කර කතා කිරීමේ නිදහස ලබා ගැනීමට ය. සරලව කිවහොත් ලක්ෂ 62ක් ජනතාව ඔබව පත් කළේ ඕකටත් එක්ක ය. ඉතින් එම ජනතාවට නිදහස විඳින්නැයි අමුතුවෙන් කිවයුතු නැත. මේ ටික කියන්නට සිදුවුණේ ඔබ මෑත කාලීනව ද්‍රෝහියා යැයි අසා ගත්තේ ඔබට ම ඡන්දය දුන් ජනතාවගෙන් ම මිස ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට පවුල් පාලනය වෙනුවෙන් පෙනී සිටි පිරිසගෙන් නොවන නිසා ය.

දිගින් දිගට ම පරාජය

ජනපතිවරයා මහින්ද රාජපක්ෂ කෙරෙහි තමුන්ගේ විරෝධය ජනවාරි 8ට පෙර මෙන් ම පවතින බවත් ඔහුට නාම යෝජනා දීමට තමුන් විරුද්ධ බවත් ඔහු දිගින් දිගට ම පරාජය වනු ඇති බවත් පවසමින් නැවතත් තම ප්‍රේක්ශාගාරයෙහි විස්වාසය දිනා ගත්තේ ය. එහෙත් පසුගිය කාලය පුරාවට වූ ඔහුගේ නිහඬතාවය ගැන විස්තර කළ හැක්කේ කෙසේද ? නමින් මෛත්‍රී වූ ඔහු තමනට එරෙහි නින්දා අපහාස තම ක්ෂාන්තිවාදී ගුණයෙන් හා තාදී උණයෙන් ඉවසා වදාළ බව කීම ප්‍රශස්ති කාව්‍යයකට ගැලපෙනවා විය හැකි නමුදු එතරම්ම පැහැදිලි කිරීමක් නොවේ. නො එසේනම් මේ සියල්ල අවසානයේ මහින්ද රාජපක්ෂව පාර්ලිමේන්තු ගෙන්වා නිකම්ම නිකම් මන්ත්‍රීවරයෙකු කර අවමානයට හා කෙරුවාවේ හමාරයකට පත්කිරීමේ අරමුණින් සංවිධානාත්මකව කළා යැයි පැවසීමද විස්වාස කළ නොහැක්කක් වනු නියතය. ඔහු පැහැදිලිවම මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ බලපෑමට ද නතුවිය. එහෙත් එය ඔහුට ගැරහීමට තරම් යමක් ද නොවේ. අවසන එය යම් පමණකින් එළිදරව් කිරීම ඔහු වීරත්වයට පමුණුවන්නට කරුණකුදු නොවේ. මෛත්‍රීපාල සිරිසේන යනු මහින්ද රාජපක්ෂට එරෙහිව ක්‍රියාත්මක වූ ජනතා බලයක එක් අවසාන ප්‍රකාශනයක් පමණි. මේ පසුබෑම එකී ජනතා බලවේගයේ ඇසුරින් වටහා ගත යුතුව ඇත.

මහින්දට එරෙහි සටනට පණ දුන් ලිබරල් සිවිල් සමාජ බල ඇණිය දැන් ජනවාරි 8 විප්ලවයක් ගැන ද එය රැක ගැනීමක් ගැන ද මතුරමින් සිටිති. එජාපය වෙහෙසෙන්නේ සිය ආණ්ඩු බලය වෙනුවෙන් පමණි. ජවිපෙ සුපුරුදු ‘උනුත් එකයි මුනුත් එකයි – අපි විතරක් සුදු ම සුදුයි’ බෙර පදය වැයීම අරඹා ඇත. ඒද පාර්ලිමේන්තු ආසන කිහිපයක් වෙනුවෙනි. තමුන් විසින් පරාජය කළ බවට උදම් ඇණූ බලවේගය යළි හිස ඔසවනු මේ කිසිවෙකු නිරීක්ෂණය නොකළ බව මෙන් ම එහි අදාල බරින් එම බලවේගය තක්සේරු නොකළ බවද මගේ අදහසයි.

රොමෑන්තික ලෙස විප්ලවය යන වචනය භාවිතා කිරීමෙන් අනතුරුව, ආලයෙන් අන්ධ වී සිටිනා සිවිල් සමාජ කොටසට නොපෙන්නේ ද නොව දකින්නට වුවමනාවක් හෝ නැත්තේ කෙරුණු විප්ලවයක් නොමැති බවය. සමාජයෙහි ආකල්ප කෙරෙහි තීරණාත්මක වෙනසක් කෙරෙණා යමක් කරන්නට අප සමත් වූයේ නැත. රාජපක්ෂ විරෝධීව එක්වුණු වැඩි ඡන්ද ලක්ෂ හතරකින් රාජපක්ෂ රෙජීමයේ වියරු ගමන තාවකාලිකව අත් හිටවූවා පමණය. රාජපක්ෂලා විසින් ඇවිළූ ජාතිවාදී උමතුව පරාජය කෙරෙණා තීරණාත්මක යමක් සමාජය තුළ සිදු කෙරුණේ නැත. රාජපක්ෂලාට එරෙහිව නැඟුණු මූල්‍ය වංචා චෝදනා හෝ සය මසක කාලයක් තුළවත් සාධනීය ලෙස ඔප්පු කෙරුණේ නැත. ජාතිවාදයට සමාජයක් ලෙස ඇදගෙන ගිය යමක් යළි පිළිසකර කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. එහෙත් ජයග්‍රහණයෙන් පසුව මෛත්‍රී ප්‍රමුඛ සියළුම පාර්ශ්ව අඩුම අවධානයක් යොමු කලේ හෝ කිසිම අවදානයක් යොමු නොකළේ ද එය පිළිබඳව මැයි කීම අසත්‍යයක් ද නොවේ. අවසන රාජපක්ෂලා මෙතරම් බලවත් වූයේ ඒ නිවා නොදැමුණු ජාතිවාදයේ ගිනි අඟුරු මතින් ම නොවේද ?

ඊළාම් ඡන්ද

 

පරාජයෙන් පසුදාම සිය නිවසේ සිට ජනතාව (හෝ එවැනි යමක්) අමතන රාජපක්ෂගෙන් ගැමියෙකු පෙරළා ඇසුවේ ‘මරලා හරි දින්නෙ නැත්තෙ මොකෝ ?’ කියා ය. රාජපක්ෂද එදිනම කීවේ තමුන් පැරදුණේ ඊළාම් ඡන්ද නිසා බවය. ඊනියා අප්පච්චිගේ මළගමෙන් පසු උත්ථානය වෙනුවෙන් පැවති පළමු රැළිය නොහොත් නුගේගොඩ රැළිය තනිකරම පිරී තිබුණේ අමුම අමු ජාතිවාදයෙනි. කිසිවකු ඒ ගැන තැකුවේ නැත. ජාතිවාදයට එරෙහි යමකින් ඊට පිළිතුරු දෙන්නට උත්සුක වූයේ ද නැත. පසුව උගත් ගුරුවරියක් වූ ප්‍රසිද්ධ ගායිකාවක්ද අසා තිබුණේ ‘ගහලා හරි ගන්න තිබ්බෙ සර්’ කියා ය. කාටත් ඒ ගැන ගාණක් තිබුණේ නැත. වෙනෙකක් තබා ජාතිවාදය තමන්ට අදාල බරින් යළි පෙළගැසෙනු ගනන් බැලුවේ නැත. මහින්ද යළි අපේක්ෂකත්වය කරා ගෙනාවේ ඒ බලවේගය ය. මෛත්‍රී මීට වඩා ආක්‍රමණශීලී ලෙස පිළිතුරු දුන්නා නම් අපේ හිතට සනීපය. එහෙත් නොවෙනා දේ වෙන්නේ ම නැත.

ඒකාධිපතියන් බිහිවන්නේ ඕපපාතිකව නොවේ, ඔවුන්ගේ පැවැත්මට අවශ්‍ය අව් වැසි සුළං සපයන්නේ අපමය, අම්ලකර වායුව පිඹින්නේද අපමය. – මේ වදන් පෙළ වෙනුවෙන් සුගතපාල ද සිල්වා මහතාට ණය ගැතිය – සිහසුණින් ඇද දැමුණු ඒකාධිපතියා මෙතරම් අභියෝගයක් කිරීමට තරම් බලවත් වීම යනු අප මෙතෙක් කල් ඔහු නියෝජනය කළ ප්‍රවාහය හඳුනා නොගැනීම සහ නොසලකා හැරීම පිළිබඳ කදිම නිදසුනකි.

ඉදින් මේ මැතිවරණයෙන් ද මහින්ද රාජපක්ෂ නම් ෆැසිස්ට් වියරුවක ආසන්න නියෝජිතයා තාවකාලිකව පරාජය කර හෝ හුදෙකලා කර දැමීමට බොහෝ දුරට ඉඩ ලැබීමට පුළුවන. එහෙත් මෙවර හෝ වටහා ගත යුතුව ඇත්තේ අප ඒ වියරු ප්‍රවාහයට එරෙහිව කිසිවක් කර නොමැති බවයි. එමෙන් ම මෛත්‍රීපාල සිරිසේන නම් මහා මානවහිතවාදියා හෝ ශාන්තුවරයා හෝ එවන් අන් තැනකට ඔසවා තැබෙන්නාට විධායක බලතල තිබියදී වුව මෙය කෙසේවත් කළ නොහැකි බවයි. අහවල් විප්ලවයක් වෙනුවෙන් ජනවාරි 08 නිහඬ වූ බලවේග සැබෑ සතුරා හඳුනා ගනිමින් පෙරට පැමිණිය යුතුය. යමක් ජය ගත හැකිවන්නේ එවිට පමණය.

~ තුශාරිකා විතානගේ

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.