මෛත්‍රීගේ ප්‍රහාරය පෙළ ගැහුණු හැටි

රාජිත-චම්පික රනිල්ගේ ගෙදර

katha-mada-kathaහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නාම යෝජනා දීමට තීරණය කිරීමත් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග  සිටි මැති ඇමැතිවරු අතර ඇතිවූ නොසන්සුන්තාව පසුගිය බ්‍රහස්පතින්දා සිකුරාදා වන විට වර්ධනයවී තිබුණේය. රාජිත සේනාරත්න, පාඨලී චම්පික ඇතුළු කණ්ඩායමක් සාකච්ඡා කරන්නට වූයේ මහින්ද ඇතුළු කණ්ඩායම සමග එක්ව මැතිවරණයට තරග කිරීමට කිසිදු කැමැත්තක් නොතිබූ නිසාය.
මේ සාකච්ඡා ගැන ආරංචිවූ වහාම එස්.බි. දිසානායක ඇමැතිවරයා රාජිතට දුරකථන ඇමතුමක් දුන්නේය. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව නොයාමට කපුකම කිරීමටය. ඔයා ජාතික ලැයිස්තුවෙන් එන්න. එතකොට ප්‍රශ්නයක් නෑනේ එස්.බි. කීවේ රාජිතට මැතිවරණයට තරග නොකර මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වන ලෙස ආරාධනයක්ද කරමිනි.
නැෂනල් ලිස්ට් එකට දාලා මගේ දේශපාලන ජීවිතය විනාශ කරන්නද හදන්නේ රාජිත එයට තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කළේය. එහෙනම් කළුතර ලිස්ට් එකෙන් රෝහිත අබේගුණවර්ධන අයින් කරන්නම්. එතකොට ප්‍රශ්නයක් නෑනේ එස්.බි. රාජිත රඳවා ගැනීමට තවත් උත්සාහයක් ගත්තේය.
මට එක් පුද්ගලයෙක් ගැන ප්‍රශ්නයක් නමෛයි තියෙන්නේ. නාම යෝජනා දෙන්න එපා කියලා අපි දහ දෙනෙකුගේ ලැයිස්තුවක් ඉදිරිපත් කළා. ඒ අයගෙන් එක් අයෙක්ට නාම යෝජනා නොදී අනික් නම දෙනාටම නාම යෝජනා දෙනවානම් ඒකෙන් කිසිම වැඩක් නැහැ රාජිත පැවැසුවේය.

 

 

රාජිත – චම්පික මහ රෑ රනිල්ගේ ගෙදරට
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමට නොහැකි බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු පිරිසක් තීරණය කිරීමත් සමග වෙනම කණ්ඩායමක් සේ තරග කිරීමට ජාතික හෙළ උරුමය සූදානම් විය. ඒ සදහා ජාතික හෙළ උරුමයේ නම එක්සත් යහපාලන පෙරමුණ ලෙස වෙනස් කරගෙන තිබුණි. චම්පික රාජිතට දුරකථන ඇමැතුමක් දී වෙනම කණ්ඩායමක් ලෙස තරග කිරීමට ඇති හැකියාව ගැන සාකච්ඡා කළේය.
ඔබතුමා  ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම එනවානම් අපිට වෙනම කණ්ඩායමක් විදියට තරග කරන්න පුළුවන් චම්පික යෝජනාවක් ගෙන ආවේය. එහෙත් වෙනම කණ්ඩායමක් ලෙස තරග කිරීමට රාජිත වැඩි කැමැත්තක් දැක්වූවේ නැත.
මම ‍පොඩි පක්ෂවල ඉඳලා ආපු කෙනෙක්. මට ‍පොඩි පක්ෂවල දේශපාලනය කරලා ඇතිවෙලා. මම ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයකින් තරග කරනවා මිස වෙනම කණ්ඩායමකින් තුන්වැනි පෙරමුණකින් ඉදිරිපත් වෙන්න අදහසක් නෑ. ඒ නිසා අපි ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකකට එකතුවෙන්න ඕන රාජිත තමන්ගේ ස්ථාවරය පැහැදිලි කළේය.
අතුරලියේ රතන හිමියන් සිටියේද ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් සමග එක්ව තරග කළ යුතු බවට වන ස්ථාවරයේය. මෛත්‍රී සමග එක්වූ කණ්ඩායම මැතිවරණයට තරග කිරීම ගැන විවිධ අදහස් දැරූ නිසා ඒ ගැන එක් මතයකට ඒමට අදාළ සාකච්ඡා ආරම්භ කළේය. ජාතික හෙළ උරුමය පාර්ශ්වයෙන් එම සාකච්ඡාවලට එක්වූයේ කරුණාරත්න පරණවිතානය. එම කණ්ඩායම සාකච්ඡා වට කිහිපයකින් පසුව තීරණය කළේ එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමටය.
ඒ වන විටත් එක්සත් ජාතික පක්ෂයට එක්වන ලෙස රනිල් චම්පිකට ඇරයුම් කර තිබුණි. චම්පික එයට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. නැවත වරක් මේ සාකච්ඡා ආරම්භවූයේ මහින්දගේ කණ්ඩායමට නාම යෝජනා ලැබිමෙන් පසුවය.
එක්සත් ජාතික පක්ෂයෙන් මේ සාකච්ඡා මෙහෙය වූයේ කරු ජයසූරිය, කබිර් හෂීම්, මලික් සමරවික්‍රම හා මහාචාර්ය අශු මාරසිංහය. මේ සාකච්ඡා ඉදිරියට යන විට රනිල්ගෙන් පණිවුඩයක් ලැබුණි. ඒ රනිල්ගේ නිවසට වහාම පැමිණෙන ලෙසයි. ඒ අනුව චම්පික හා රාජිත පස්වැනි පටුමගේ පිහිටි රනිල්ගේ නිවසට මහ රෑ ගියේය. ඔවුන් එහි රැගෙන ගියේ රවි කරුණානායක ඇමැතිවරයායි. එක්සත් ජාතික පක්ෂයට එක්වීම ගැන වන සාකච්ඡාව රනිල්ගේ නිවසේදී සිදුවන විට කබිර් හෂීම් හා මලික් සමරවික්‍රම පැමිණියේය.
අපිට වෙලාව තියෙනවානම් ‍පොදු ලකුණකින් තරග කරන්න පුළුවන්. ඒත් අපි සඳුදාට නාම යෝජනා දෙන්න ඕන. ඒ නිසා ‍පොදු ලකුණක් ගන්න වෙලාවක් නෑ. අපි අලියා ලකුණින් තරග කරමු. අලියා කියන්නේ දැන් ලකුණක් විතරයි. මම එක්සත් ජාතික පක්ෂයේ නම වෙනස් කරන්නම්. චම්පිකලාගේ පක්ෂයේ නම එක්සත් යහපාලන ජාතික පෙරමුණ කියලා වෙනස් කරලා තියෙන නිසා එක්සත් ජාතික පක්ෂයේ නම යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ කියලා වෙනස් කරමු රනිල් යෝජනා කළේය.
අපි එකතු වෙනවානම් ඒකට පක්ෂයේ අනුමැතිය ගන්න ඕන. ඒක කරන්නේ කොහොමද එවිට තවත් ප්‍රශ්නයක් පැන නැගුණේය.
අපි පක්ෂයේ නම වෙනස් කරනවා කියලා හෙට තියෙන සම්මේලනයට යෝජනාවක් විදියට ගෙන එමු. ඒ වගේම  වෙනත් පක්ෂ සමග ගිවිසුම් ගතවීමටත් සම්මේලනයේදී අනුමැතිය ගනිමු රනිල් යෝජනා කළේය. එයට සියල්ලන්ගේම කැමැත්ත පළවිය.

ගිවිසුම් දෙකක්
අලියා ලකුණින් තරග කිරීම පිළිබඳ මුලදී නොයෙක් මතභේද පැවැතියත් අවසානයේදී සියල්ලන්ගේම එකඟත්වය හිමිවූයේ අලියා ලකුණින් තරග කිරීමටය. රනිල්ගේ නිවසේදී පැවැති සාකච්ඡාවලින් පසුව එක්සත් ජාතික පක්ෂය සමග ගිවිසුම්ගතව තරග කිරීමට සියල්ලෝම එකඟ වූහ.
ඒ අනුව ජාතික හෙළ උරුමය වෙනමම ගිවිසුමක් සකස් කිරීමට තීරණය කළේය. පාඨලී චම්පික රණවක, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, අනුරුද්ධ ප්‍රදීප් සහ තවත් නීතිඥයෝ කණ්ඩායමක් මේ ගිවිසුම සකස් කිරීමේ කටයුතුවලට සම්බන්ධ වූහ.
රටේ ඒකීයභාවය ආරක්ෂා කරන බවට ගිවිසුමට ඇතුළත් කරන්න ඕන. එක්සත් ජාතික පක්ෂය ඒකට එකඟවන බවට අපි සහතිකයක් ගන්න ඕනචම්පික ගිවිසුමට වගන්තියක් එක් කළේය. මීළඟ මැතිවරණයෙන් පසුව ව්‍යවස්ථා සංශෝධනයක් හරහා මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු යැයි තවත් යෝජනාවක් පැමිණියේය. ඒ යෝජනා සියල්ලම එක් කර එක්සත් ජාතික පක්ෂය සමග අත්සන් කරන අවසන් ගිවිසුම සකස් කළේය.
රාජිත ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම අත්සන් කළේ තවත් ගිවිසුමකි. සමාජ ආර්ථික දේශපාලන ගැටලුවලට විසඳුම් දෙන බව එම ගිවිසුමට ඇතුළත්ව තිබුණේය. දින සියයේ වැඩපිළිවෙළින් දුන් ‍පොරොන්දු ඉටු කරන බවට එමගින් එකඟතාවයට පැමිණියේය. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ විනය නීති මාලාවෙන් බැඳී නොසිටින බවට තවත් වගන්තියක් ඇතුළත් කරගැනීමට අමතක කර තිබුණේද නැත.
එම ගිවිසුම් දෙකට අත්සන් කළේ අරලියගහ මන්දිරයේදීය. රනිල් සමග චම්පික එක් ගිවිසුමකට අත්සන් කළේය. අනෙක් ගිවිසුමට රනිල් සමග රාජිත, අර්ජුන රණතුංග හා එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන අත්සන් තැබූහ.

මෛත්‍රීගෙන් ඇමතුමක්
මේ ගිවිසුම අත්සන් කිරීමට පෙර දිනයේදී රාජිතට මෛත්‍රී ඇමතුමක් දුන්නේය. ඒ සිදුවන්නට යන දේශපාලන පෙරළිය ගැන ඔහුට ඒ වන විටත් තොරතුරු ලැබි තිබුණ නිසාය.
ඩොක්ටර් කොහේද ඉන්නේමෛත්‍රී ඇසුවේය. ඒ වන විට රාජිත සිටියේ බේරුවලය.
බේරුවල ඉන්නවානම් දැන් එන්න බෑනේ. හෙට ඇවිත් මාව හමුවෙන්න මෛත්‍රී දැනුම් දුන්නේය.
ඒ අනුව පසුදා උදෑසන රාජිත, අර්ජුන, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, මෛත්‍රී හමුවට ගියහ. මෛත්‍රී ඇසුවේ එක්සත් ජාතික පක්ෂය සමග එක්නොවී සිටීමට හැකිද කියාය.
අපි එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කළා කියලා දැන් මුළු රටම දන්නවා. ඒ නිසා අපිට හැරෙන්න බෑ රාජිත කීවේය.
මම ඔයාලට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්න අවස්ථාව අරගෙන දෙන්නම් මෛත්‍රී යෝජනා කළේය.
අපි කරන්න යන දේ ප්‍රසිද්ධ වෙලා ඉවරයි. දැන් පක්ෂයේ තිබෙන තත්ත්වය අනුව අගෝස්තු 18 වැනිදාට සන්ධානය දිනුවත් ඕවා කරන්න පුළුවන් වෙයිද කියලා තියෙන සහතිකය මොකක්ද රාජිත ප්‍රශ්න කළේය.
කිසිම ගැටලුවක් ඇතිවෙන්නේ නෑ. අපි ජාතික ආණ්ඩුවක් හදනවා මෛත්‍රී පැවැසුවේය.

මෛත්‍රී කතාව වෙනස් කළ හැටි
එහෙත් අඟහරුවාදා ජනාධිපති ‍ලේකම් කාර්යාලයෙන් මාධ්‍ය ආයතන වෙත දැනුම් දුන්නේ එදින සවස මෛත්‍රී විශේෂ ප්‍රකාශයක් කරන බවය. ජනාධිපති ‍ලේකම් කාර්යාලයට පැමිණි මාධ්‍යවේදීන්ට ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරීන්ගෙන් සිහිකැඳවීමක් විය.
ජනාධිපතිතුමා විශේෂ ප්‍රකාශයක් කරනවා. උවමනා වුවොත් මැදදී කෙටි විවේකයක් අරගෙන නැවත කතාව ආරම්භ කරන්න පුළුවන් ඔවුහු පැවැසූහ. මෛත්‍රී කලින් කතාවක් සූදානම් කරගෙන පැමිණියත් එක කොළ කැබැල්ලක්වත් නොබලා තමන්ගේ කතාව කරන්නට ගත්තේය. මහින්දට නාම යෝජනා දීමට තමන්ගේ කිසිදු කැමැත්තක් නොතිබූ  බවත් ඔහුට මැතිවරණයෙන් ජයගත නොහැකි බවත් කීවේ අභියෝගාත්මකවය. මැතිවරණයෙන් ජයගත්තත් අගමැති ධුරය ඔහුට ලබා නොදෙන බව කීවේය. එපමණක් නොව මහ බැංකු අධිපතිවරයා ඉවත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහට දැනුම් දුන් බවත් කීමට ඔහු අමතක කළේ නැත.
මෛත්‍රී පිළිවෙළට කලින් සූදානම් කරගත් කරුණු ගොනු කරන්නට ගත්තේය. එහෙත් ඔහුගේ  කතාවේ අවසන් භාගය වන විට මෛත්‍රීගේ කතාව සූදානම් කළ කණ්ඩායම් පුදුමයෙන් පුදුමයට පත් වන්නට විය. ඒ ඔහු කලින් සකස් කරගෙන පැමිණි කතාව වෙනුවට වෙනත් අදහස් ඉදිරිපත් කිරීමට  පටන්ගත් නිසාය.
මෛත්‍රීගේ කතාව සිදුවන විට රනිල් සිටියේ මහනුවරය. මෛත්‍රීගේ කතාව ගැන කරුණු ඔහුට කීවේ මලික් සමරවික්‍රමය. මෛත්‍රීගේ කතාව අවසන් වීමෙන් පසුව රනිල් මෛත්‍රීට දුරකථන ඇමතුමක් ගත්තේය.
මම කියන්න ආපු කරුණුවලටත් වඩා වැඩියෙන් කියන්න සිද්ධවුණා මෛත්‍රී තමන්ගේ කතාව ගැන පැහැදිලි කළේය.
මෛත්‍රීගේ ප්‍රකාශය සිදුවන විට මහින්ද ද මහනුවර සිට කොළඹ බලා පැමිණෙමින් සිටියේය. මෛත්‍රීගේ ප්‍රකාශය මහින්දගේ සිත් රිදීමට හේතුවී තිබුණේය. නුවර සිට කෙළින්ම ඔහු පැමිණියේ ප්‍රසන්න රණතුංග  මහ ඇමැතිවරයාගේ නිවසටය. ප්‍රසන්නගේ නිවසේ  සිට මහින්ද ඉදිරි වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කරන්නට විය.
ඉන් පසුව ඔහු ගියේ මිරිහානේ  ඔහුගේ නිවසටය. නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ඇතුළු පිරිසක් එහි ඒ වන විටත් පැමිණ සිටියහ.
මාත් එක්ක තරහ වුණාට මෛත්‍රීට පාක්ෂිකයෝ ගැන හිතන්න තිබුණා මහින්ද කීවේය.
මේ අතරේ නිදහස් පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි. මාධ්‍ය සාකච්ඡාව අවසන් කර පිටතට පැමිණෙත්ම සුසිල්ගේ මුහුණට හමුවූයේ ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ සභාපතිනියයි.
මොකද ඔබතුමාලා මේ දියාරු උත්තර දෙන්නේඇය ඇසුවාය.
එහෙනම් ඊළඟ දවසේ ඔයා ඇවිත් උත්තර දෙන්න සුසිල් කීවේ කේන්තියෙනි.
ඔව් ඉතිං ඔබතුමා ගිය පාර පරාද වෙලානේ ඉන්නේ යැයි සුසිල්ට ප්‍රතිචාර දුන් වෘත්තීය සමිති නායිකාව කියන්නට විය.
ඔව්. ඔයාලා තමයි ගියපාර මාව පරද්දන්න ගෙවල් ගානේ ගියේ. මගෙන් මුකුත් අහගන්නේ නැතිව ඉන්න යැයි සුසිල් කීවේ ලුණු ඇඹුල් ඇතිවය.

රහස් මධ්‍යම කාරක සභාවක්
මහින්ද හිතවාදීන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවක් කැඳවීමට උත්සාහ ගත්තත් ඊට විරුද්ධව ප්‍රසන්න සෝලංගාරච්චි අධිකරණ නියෝගයක් ලබාගැනීම නිසා මධ්‍යම කාරක සභාව කැඳවීමට නොහැකි විය. ඒ නිසා මහින්ද හිතවාදී මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෝ විපක්ෂ නායක කාර්යාලයට එක්වූහ. ඒ නිල නොවන මධ්‍යම කාරක සභාවක් පැවැත්වීමටය.
මෙතැනදී අපි පැහැදිලි තීරණයක් ගන්න ඕන මෛත්‍රී විවේචනය කරමින් ඩලස්ද කීවේය.
අපි මෛත්‍රී විවේචනය කරන්න ඕන. අපි වෙනම ප්‍රකාශයක් කරලා වෙන්ව ගමනක් යමු ප්‍රසන්න රණතුංග රහස් මධ්‍යම කාරක සභාවට යෝජනා කළේය.
කතාව අතරමැද මහින්ද ගිය ගමන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා මණ්ඩලයද ගැටුම්වලින් අඩු නොවූ තැනක් විය. ගම්පහ දිස්ත්‍රික්කයේ නාම යෝජනා සකස් කරන විට සුදර්ශනී ප්‍රනාන්දුපුල්‍ලේ අවස්ථා කිහිපයකදීම නැගිට ගියේ විමල් වීරවංශගේ නියෝජිතයෙකුට නාම යෝජනා දීමට විරෝධය දක්වමිනි.
නාම යෝජනා භාරදීමේ අවසන් දිනය සඳුදා උවත් ඉරිදා රාත්‍රිය වන විටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා අත්සන් කළ මහවැලි කේන්ද්‍රය උණුසුම්වී තිබුණේ නාම යෝජනා ගැටලුවලිනි. ඒ ගැටුම් මැද සුසිල් සිටියේද දැඩි පීඩනයකය. ඒ නිසා ඔහු නාම යෝජනා ඇතුළත් ලිපි ගොනුව රැගෙන ෆීලික්ස් පෙරේරාගේ කැප්පිටි‍පොල මාවතේ නිවසට ගියේය. ඒ වන විට දිනේෂ්, සුදර්ශනී, ලසන්ත, සමන්මලී සකලසූරියද පැමිණ තිබුණි.
ප්‍රසන්නට අවශ්‍යව තිබුණේ සමන්මලී සකලසූරියට කෙසේ හෝ නාම යෝජනා දීමටය. එහෙත් ෆීලික්ස් හා සුදර්ශනී එයට විරුද්ධව අදහස් දැක්වූහ.
මම මේ ලැයිස්තුවට ඡන්ද පදනමක් තියෙන අය දාන්න කියලා කියන්නේ ෆීලික්ස් කීවේය.
මමත් කියන්නේ ජන පදනමක් තියෙන අය දාන්න කියලයි. ඔයාලා වගේ ප්‍රාදේශීය සභාවකටවත් පත් වෙන්න බැරි අය දාන්න කියලා අපි කියන්නේ නෑනේ ප්‍රසන්න ආවේගාත්මකව කීවේය. එවිට ෆීලික්ස් ඔහුට චෝදනා කළේ පක්ෂය කඩන්නට හදන බව කියමිනි.
ඔයාගේ ‍‍‍ජ්‍යෙෂ්ඨත්වයට ගරු කරලා තමයි කට පියාගෙන ඉන්නේ. මගේ කට අවුස්සගන්න හදන්න එපා. ඔයාල හදන්නේ ඔයාලාට වාසි අය විතරක් ලිස්ට් එකට දාගන්න. අපිට ඕන හිත් හදන ලයිස්තුවක් නමෛයි ප්‍රසන්න ආවේගයෙන් කියාගෙන යන්නට විය. ප්‍රසන්නගේ කතාවෙන් සුසිල්ගේ පීඩනය තවත් වැඩිවිය. රුධිර පීඩනය ඉහළ ගොස් හෘදයාබාධ තත්ත්වයක් ඇතිවිය.
දිනේෂ් වහාම දුරකථන ඇමතුමක් ගත්තේ ගාමිණි ලොකුගේටය. ඒ මහින්ද  සමග ඔහු කැස්බෑවේ රැස්වීමක සිටි නිසාය. ඒ වන විටත් මහින්ද රැස්වීමේ කතා කරමින් සිටියේය. මහින්දගේ කතාවට බාධා කළ ගාමිණී ලොකුගේ දුරකථනය මහින්දට දුන්නේය.
දැන් සුසිල් කොහේද ඉන්නේ මහින්ද කතාව නතරකර ඇසුවේය. ෆීලික්ස්ගේ නිවසේ සුසිල් සිටින බව දිනේෂ් පැවසූ විට කතාව නතර කළ මහින්ද සුසිල් බැලීමට පැමිණියේය. මහින්ද පැමිණෙන විටත් සුසිල්ගේ තත්ත්වය සුව අතට පත් නොවූ නිසා ඔහු පුද්ගලික රෝහලකට ඇතුළත් කළේය.

ප්‍රසන්නට සජිත්ගේ ආදර්ශය ගන්නලු
ප්‍රසන්න පසුගිය සතියේදී අස්ගිරි මල්වතු නායක හිමිවරු හමුවීමට ගියේ මැතිවරණයට නාම යෝජනා දීමෙන් පසුව ආශිර්වාද ලබාගැනීමටය. එහෙත් ප්‍රසන්නට සිදුවූයේ වඳින්න ගිය දේවාලය හිසට කඩාවැටුණා වැනි සිදුවීමකි.
මල්වතු නායක හිමියන්ගෙන් ආශිර්වාද ගන්නට ගිය ඔහුට සිදුවූයේ සැබෑම උපදෙස් ලබාගැනීමටය. ප්‍රසන්න කළ හොඳ ගැන කියනවා වෙනුවට පසුගිය ආණ්ඩුව විවේචනය කළ මල්වතු නායක හිමියෝ කීවේ සජිත්ගේ ආදර්ශය ගත යුතු බවය.
ඔබ සියලුදෙනාම සජිත් ප්‍රේමදාස මහතාගෙන් ආදර්ශ ගන්න. එතුමා ජනතාවට සේවය කරන ආකාරයට ගිහින් සේවය කරන්න ඉගෙන ගන්න ප්‍රසන්න එම උපදෙස් අසා සිටියා මිස කිසිවක් කියන්නට ගියේ නැත.

මහින්දානන්දට මයික් ගැටලුවක්
මහින්ද පසුගිය සතියේදී මහනුවර දළදා මාලිගාවට ගොස් එන විට මාධ්‍යවේදීන් පිරිසක් එක්වරම ඔහු වටකරගෙන ප්‍රශ්න අසන්නට පටන් ගත්හ. රූපවාහිනී කැමරාකරුවන් මහින්දගෙන් ප්‍රකාශයක් ගැනීමට ඔහු වටකරගත්තද මයික් අල්ලාගැනීමට කවුරුවත් සිටියේ නැත.
මහින්දානන්ද, ඔයා මයික් ටික අල්ලගන්න මහින්ද කීවේය.
එතකොට සර් මම කැමරා එකට අහුවෙන්නේ නෑනේ මහින්දානන්ද කීවේය. එහෙත් අවසානයේදී මහින්දානන්දටම කැමරාකරුවන්ගේ මයික්‍රෆෝන අල්ලාගැනීමට සිදුවිය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා (14) ජනාධිපති කාර්යාලයේ සිට ජාතිය අමතමින් කළ විශේෂ ප්‍රකාශයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් පළ කළ අදහස් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් ගෙන හැර දක්වන තර්ක විතරක් මේ වන විටත් අවසන් වී නැත. මෛත්‍රීගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයෝ පවා මහින්දගේ ප්‍රතිචාරය පිළිබඳ ඔහුගෙන් විමසද්දී ඉන්න……. ඉන්න…. මම 17 වෙනිදාට ඒ ගැන උත්තරයක් දෙන්නම් යැයි කීවා මිස ප්‍රසිද්ධියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විවේචනය කිරීමට පෙළඹුණේ නැත.
ඊට පසු දින එනම් 15 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්ෂයේ මහ‍ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවා තිබූ අතර එම කැඳවීම නීති විරෝධී යැයි කියමින් පක්ෂ මධ්‍යම කාරක සභිකයකු වන කොටිකාවත්ත, මුල්‍ලේරියාව ප්‍රාදේශීය සභා සභාපති ප්‍රසංග සෝලංගආරච්චි කළ පැමිණිල්ලකට අනුව මධ්‍යම කාරක සභා රැස්වීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු හර්ෂ සේතුංග විසින් වාරණ නියෝගයක්ද නිකුත් කරන ලදී.
දේශපාලන අර්බුදයන් මේ ලෙස එකින් එක ගොඩගැසෙමින් තිබියදී මහින්ද රාජපක්ෂ මහතා පිළිගන්නට එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ 16ක නායකයෝ 15 වැනිදා ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලනිප මූලස්ථානයට රැස්වී සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉදිරි මැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා මැතිවරණ කමිටු සභාපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත්කර ගැනීමේ තීන්දුව අතැතිවය. මහින්ද රාජපක්ෂ එම ඉල්ලීම සතුටින් බාර ගැනීම කැපී පෙනෙන සිදුවීමක් වූ අතර පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු සමග විශේෂ සාකච්ඡාවකට මහින්ද එක්විය.
සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් සිරිපාල ද සිල්වා, තිලංග සුමතිපාල, ජෝන් සෙනෙවිරත්න ආදීහු පිරිසක් සමග ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව මහින්ද එහිදී අදහස් බෙදාහදා ගත්හ.
ඒ වන විටත් හදිසියේ පක්ෂයේ මධ්‍යම කාරක රැස්වීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දැඩි දෝෂාරෝපණයට ලක්ව සිටි අනුර ප්‍රියදර්ශන යාපාගේ හිත හැදීමට මහින්ද හැමවිටම උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට තිබිණ. දෙපාර්ශ්වයම යළි සමගි කිරීමේ කටයුත්තෙහි මූලිකත්වය තිලංගට පැවරී තිබූ අතර සියලු පාර්ශ්වයන්ගේ කතා සාවධානව අසා සිටි මහින්ද රාජපක්ෂ කියා සිටියේ මෛත්‍රී අකමැතිනම් මධ්‍යම කාරක සභාව කැඳවා මේ වෙලාවේ අනවශ්‍ය අර්බුදයක් ඇතිකර ගත යුතු නැති බවය
අර්බුදයක් ඇති නොවන විදියට අපි හැමදෙයක්ම විසඳගමු. 17 වැනිදා අනුරාධපුරේ තියෙන රැස්වීමේදී මම සමහරක් දේට උත්තර දෙනවා. අද සමහරු මගෙන් අහනවා මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ කතාවෙන් පස්සේ සුළු ජාතීන්ගේ ඡන්ද අපිට නොලැබෙයිද කියල. එහෙම වෙන්න දෙන්න බෑ. අපිට හැමදෙනාගේම සහය අවශ්‍යයි. තිලංග ඔයා ජනාධිපතිතුමාව දැනුවත් කරන්න. ජනාධිපතිතුමාට නුවරඑළිය පැත්තේ ගිහින් සුළු ජාතීන් එක්ක සාකච්ඡා කරලා ඉදිරි මැතිවරණය දිනවන්න එතුමාගේත් සහය ගන්න.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ සටන මෙහෙයවීමට අඩිතාලම දැමුවේ එබඳු සූක්ෂම උපක්‍රමද අනුගමනය කරමිනි.

මනූෂගෙන් සන්නස්ගලට පහරක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ විශේෂ ප්‍රකාශය පැවැති දින රාත්‍රියේදී ‘දෙරණ’ වාද පිටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සහභාගි වී සිටියේ තිලංග සුමතිපාල නියෝජ්‍ය ඇමැතිවරයා හා මනූෂ නානායක්කාර හිටපු මන්ත්‍රීවරයාය. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පැමිණියේ උපුල් ශාන්ත සන්නස්ගලය.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පැය කිහිපයක් ගතවන්නට මත්තෙන් රූපවාහිනී සජීවී වැඩසටහනකට එක්ව කරුණු ඉදිරිපත් කිරීම තිලංගට මෙන්ම මනූෂට අභියෝගයක්වී තිබුණේය. එහෙත් මනූෂ තමන්ගේ කතාව ආරම්භයේදීම ප්‍රහාරාත්මකව අදහස් පළකරන්නට විය.
උපුල් මනූෂගේ සදාචාරය ගැන කතාකරමින් සිටින විටකදී මනූෂ ඊට ප්‍රතිචාර දැක්වූවේ එජාපයෙන් උපහැරයක් ගනිමිනි. ඒ කතාව ඇසූ සන්නස්ගල කතා නොකර නිහඬව බලා සිටියේය. ඒ ඔහුට වෙන් කර තිබූ කාලයේදීමය.
ඔබතුමාට වෙලාව තියෙනවා කතා කරන්න යැයි මනූෂ කීවේ සන්නස්ගලට කතාව අමතකවී ඇති බවට ඉඟි කරමිනි. මට තව වෙලාව තියෙනවනේ යැයි කියමින් සන්නස්ගල නැවත කතාව ඇරඹුවේ තිලංගගේත් මනූෂගේත් සිනා හඬ මැදය. මේ සංවාදය අවසාන වන තෙක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා රූපවාහිනිය අසලට වී එම වාදය නරඹා තිබුණි.

මහින්ද අනුරාධපුරයේ
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළමු ප්‍රචාරක රැස්වීම අනුරාධපුරයෙන් ආරම්භ විය. කොළඹ සිට අනුරාධපුරයට ගිය මහින්ද උදෑසන ශ්‍රී මහා බෝධියට ගොස් ආශිර්වාද ලබාගත්තේය. සවස පැවති ජන රැළියේදී ඔහු කීවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගැනීමට ඕනෑම කැපකිරීමක් කරන බවය.

සිරිකොතේ මනාප ගැටුම්
එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණයට අදාළ නාම යෝජනා භාර දුන්නේද නාම යෝජනා භාරදීමට නියමිතව තිබූ අවසන් දිනය වූ සඳුදා උදෑසනය. සති අන්තය වන විට සිරිකොත පක්ෂ මූලස්ථානය කාර්යබහුල වී තිබුණේය. ඒ පක්ෂ සම්මේලනය පැවැත්වෙන නිසා හා නාම යෝජනා සකස් කිරීමේ අවසන් කටයුතු සිදුවෙමින් පැවති නිසාය. නොයෙක් කැපිලි කෙටිලි මත අවසන් මොහොත දක්වාම සිරිකොතේ නාම යෝජනා සැකසෙමින් තිබුණේය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග කටයුතු කළ රාජිත, චම්පික, හිරුණිකා ඇතුළු කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ගැනීමට තීරණය කිරීමත් සමග අපේක්ෂකත්වය බලා‍පොරොත්තුවෙන් සිටි ඇතමුන්ගේ බලා‍පොරොත්තු සුන්වී ගියේය.
නාම යෝජනා සැකසෙමින් තිබෙන අතරවාරයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ නාම යෝජනා ලැයිස්තුව සම්බන්ධයෙන් ගැටලුවක් මතුවුණේය. ඒ දිස්ත්‍රික් නායකත්වය දීම ගැනය. කැබිනට් ඇමැතිවරයකු දිස්ත්‍රික්කයකින් තරග වදින්නේ නම් ඔහුට දිස්ත්‍රික් නායකත්වය දිය යුතු බවට පක්ෂය තුළ එකඟතාවක් ඇතිව තිබුණි. ඒ අනුව නායකත්වය ලැබිය යුතුව තිබුණේ ගයන්ත කරුණාතිලකටය. නමුත් ඔහුට කණ්ඩායම් නායකත්වය දීමට විරෝධය පළ කර තිබුණේ වජිර අබේවර්ධනය. ඒ මනාප ප්‍රශ්න මුල්කරගෙනය.
මම කණ්ඩායම් නායකයා විදියට ඉදිරිපත් වෙනවා. මම ඉන්න වෙලාවක ගයන්ත කණ්ඩායම් නායකයා විදියට දාන්නේ කොහොමද වජිර නාම යෝජනා කමිටු හමුවට පැමිණ ගෝරනාඩු කළේය. මම ගියපාර ඡන්දෙදී ගාල්ලෙන් පළමුවෙනියට ආවේ දිස්ත්‍රික් නායකකම් තියාගෙන නමෛයිනේ. වජිර ඉල්ලනවා නම් දිස්ත්‍රික් නායකත්වය දීලා දාන්නගයන්ත නාම යෝජනා කමිටුව හමුවට පැමිණ කීවේය.
නාම යෝජනා කමිටුව හමුවේ දෙදෙනා අතර ඇතිවී තිබූ ආරවුල ඒ වන විට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහටත්, මහ‍ලේකම් කබිර් හෂීම්ටත් ආරංචිවී තිබුණි. කබිර් පැමිණ ගයන්ත රනිල් අසලට කැඳවාගෙන ගියේය. ඒ මේ ගැන තවදුරටත් කතා කිරීමටය.
ඔයා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක විදියට වැඩ කළානේ. ඒක ඉතිං කණ්ඩායම් නායකට වඩා ටිකක් ලොකු තනතුරක්නේ ගයන්ත සනසමින් රනිල් කීවේය.
සර් මම ඔය අනික් අය වගේ තනතුරු ඉල්ලලා කරදර කරන්නේ නෑනේ ගයන්ත කීවේ වජිරට ඇනුම්පදයක් ලෙසිනි. මේ අතර එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවේ සිටි ඇතැම් අපේක්ෂකයෝ බියට පත්ව සිටියහ. ඒ තමන්ගේ නාම යෝජනා ටිපෙට්ස් වනු ඇතැයි යන බිය නිසාය. වජිර සමග එතරම් ඇයි හොඳයියක් නැති අපේක්ෂකයෝ දෙදෙනෙක්ම පැමිණ ගයන්තට ඒ ගැන ගතු කියන්නට වූහ.
වජිර අපිට නාම යෝජනා දෙනවාට කැමැති නෑනේ. ඒ නිසා අපේ නාම යෝජනා කැපේවිද දන්නේ නෑ එම අපේක්ෂකයෝ පැවසූහ.
ඒ බව ගයන්ත කීවේ රවි කරුණානායකටය. වහාම සිරිකොතට එන්නැයි රවි ගයන්තට කීවේ නාම යෝජනා පත්‍ර ඔහු අතට පත් කිරීමටය. මහ රෑ සිරිකොතට ගිය ගයන්ත රවි හමුවුණේය.
මෙන්න ඔයාලගේ නාම යෝජනා ලැයිස්තුව. මේක රෑ ඔයා තියාගන්න. උදේට වජිර එක්ක ගිහිල්ලා භාරදෙන්න රාත්‍රී දොළහයි තිහට පමණ නාම යෝජනා ලැයිස්තුව අතට ගත් ගයන්ත එය තමන්ගේ ගෙදරට රැගෙන ගියේය. පසුදා උදෑසන වන විටත් නාම යෝජනා ලයිස්තුව තමන් අතට පත්නොවීම සම්බන්ධයෙන් වජිර කලබලයට පත්ව සිටියේය.
නාම යෝජනා ලැයිස්තුව කෝ. ඒක තවම මගේ අතට ආවේ නෑනේ ගයන්තට දුරකතන ඇමැතුමක් දුන් වජිර ඇසුවේය. එය තමන් අත තිබෙන බව ගයන්ත කී විට වජිර කීවේ එය රැගෙන ගාල්ලේ ලයිට් හවුස් හෝටලයට එන ලෙසයි. ලයිට් හවුස් හෝටලයට නාම යෝජනා ලැයිස්තුව ගයන්ත රැගෙන ගිය විට වජිරත් එක්සත් ජාතික පක්ෂයේ නීතීඥයෝත් එය පරීක්ෂා කළහ. පසුව දෙදෙනාම එක්ව එය භාරදුන්හ.

කමල් කැපුවේ ගන්කන්දද?
කැම්බල් පිටියේදී එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය පසුගිය සෙනසුරාදා පැවැත්වුණි. මේ සම්මේලනය වන විටත් පක්ෂයේ නාම යෝජනා ලයිස්තු සකස්කර අවසන්වී තිබුණේ නැත. එහෙත් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට සිටි කමල් අද්දරආරච්චිට නාම යෝජනා නොදෙන බව ඒ වන විට තීරණය වී තිබුණි. කමල්ට නාම යෝජනා දෙනවාට විරුද්ධවී තිබුණේ දුනේෂ් ගන්කන්ද හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා යැයි ඒ වන විට සිරිකොත තුළ කතාබහට ලක්ව තිබුණි.
කමල්ට නාම යෝජනා දෙනවට ඔයා විරුද්ධවුණේ ඇයි? සම්මේලනයට පැමිණි බොහෝ දෙනෙක් ගන්කන්දගෙන් අසන්නට වූහ.
කමල් එක්ක මට කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් රත්නපුර දිස්ත්‍රික්කයේ හිටපු පරණ යූ.එන්.පී. කාරයින්ට තැන දෙන්න ඕන. පරණ අය සිටියදී අලුත් අයට නාම යෝජනා දෙනවාට මම කැමැති නෑ ගන්කන්ද කීවේය.
සමුළුවෙන් පසුව සිරිකොත පක්ෂ මූලස්ථානයට ගොස් නාම යෝජනා අත්සන් කරන විටත් එහි සිටි බොහෝ දෙනා කමල්ට නාම යෝජනා අහිමිවීම ගැන කතා කරන්නට වූහ.
ඔයාගේ විරෝධය නිසා තමයි කමල්ට නාම යෝජනා ලැබුණේ නැත්තේ නාම යෝජනා මණ්ඩල සාමාජිකයෝම ගන්කන්දට පැවසූහ.
මේ අතර රත්නපුර දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලයේදී නාම යෝජනා භාරදීමෙන් පසුව පිළිගැනීමේ උත්සවවලට ඔහු සහභාගී වූයේ කරුණාරත්න පරණවිතාන සමගය. පසුගිය මැතිවරණයේදී කරු තරග කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙනි. එහෙත් මෙවර එය උඩු යටිකුරුවී තිබුණි.
මෛත්‍රී ජාතිය අමතමින් කළ කතාව ගැන පසුගිය සතියේ අරලියගහ මන්දිරයේත් තැනින් තැන කතාබහට ලක්වෙමින් තිබුණේය. සුපුරුදු පරිදි රනිල් තමන්ට හිතවත් ඇමැතිවරු පිරිසක් බදාදා උදෑසන අරලියගහ මන්දිරයට කැඳවාගෙන තිබුණි. ඔවුන් කැඳවාගෙන තිබුණේ කැබිනට් මණ්ඩල රැස්වීම අවසන්වීමෙන් පසුවය.
ජනාධිපතිතුමා කිසිම කොළයක්වත් බලන්නේ නැතිව කතාව කරගෙන ගියානේ. වෙනදාට ජාතිය අමතන කතාවල අපිට ටෙලි ‍ප්‍රොන්ටර් බලාගන්න පුළුවන්. එත්  අද කිසිම ටෙලි ‍ප්‍රොන්ටරයක් නැතිව අපූරු කතාවක් කළානේ ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා කීවේය.
මට ආරංචි විදියට ඒ කතාව කලින් හදාගෙන ආපු කතාව නමෛයි. කලින් හදාගෙන ආපු කතාව මැදදී වෙනස් කළා කියලා තමයි අපිට ආරංචිවුණේ. තමන්ගේ දේශපාලන විරසක භාවය ජනාධිපතිතුමා මේ කතාවේ අන්තිම හරියේදී පෙන්නුවා. මේ වෙලාවේ මහින්ද – මෛත්‍රී එකතුකරන්න යන එක හරියට තෙලුයි වතුරයි එකතුකරනවා වගේ වැඩක්නේ රවි කරුණානායක ඊට වෙනස් අදහසක් දැක්වූවේය.
චන්ද්‍රිකා දැන් සෙනසුරාදා විතර ලංකාවට ඒවි. එයා ආවම විශේෂ ප්‍රකාශයක් කරන්න හදන්නේ. ඒ කතාව ජනාධිපතිතුමාගේ කතාවට වඩා ලොකු බෝම්බයක් වේවි රනිල් කීවේ තමන් චන්ද්‍රිකාගේ ප්‍රකාශය ගැන ඉඟියක් ලෙසය.
ශ්‍රී ලංකා එකේ අය මධ්‍යම කාරක සභාව කැඳවලා මෛත්‍රී පන්නන්න හැදුවා. ඒත් ඒ වැඩේ හරි ගියෙත් නෑ. මම ඔය කාටත් වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව ගැන දන්නවානේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වන කිරිඇල්ල කීවේ තමන් කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි බව සිහිපත් කරමිනි.
මෛත්‍රී පන්නන වැඩේ වැරදුනාට පස්සේ තමයි එයා පක්ෂ නායකත්වයෙන් ඉවත් කරන්න හැදුවේ නෑ කියලා කියන්නේ. වැඩේ වැරදුනාට  පස්සේ මැතිවරණ මෙහෙයුම් කමිටුව ගැන කතා කරන්න මධ්‍යම කාරක සභාව කැඳවූවා කියලා කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින්ගෙන් තුනෙන් එකක් අත්සන් කරලා පක්ෂ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කළොත් මධ්‍යම කාරක සභාව කැඳවන්න වෙනවා. හැබැයි ඒ මාසයක් ඇතුළතයි. ඒ කියන්නේ ඉල්ලීම කරලා දවස් විසි අටකට පස්සේ ඕනනම් මධ්‍යම කාරක සභාව කැඳවන්න පුළුවන්. දැන් ඒ වගේ ඉල්ලීමක් කළොත් අගොස්තු 14 හරි 15 හරි තමයි මධ්‍යම කාරක සභාව කැඳවන්න වෙන්නේ. ඒ කියන්නේ ඡන්දේ පීක් එක. ඒ වෙලාවේ කවුරුවත් තමන්ගේ ඡන්ද ව්‍යාපාරය අතහැරලා මධ්‍යම කාරක සභා රැස්වීම්වලට එන එකක් නෑකිරිඇල්ල දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.
අනුර ප්‍රියදර්ශන යාපා එහෙනම් මධ්‍යම කාරක සභාව කැඳවන්න කියලා ඉල්ලීමක් ඇවිත් තියෙනවා කියලා තිබුණානේහැරිසන් ඇසුවේය.
මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෝ සියලුදෙනාම එකතුවෙලා මධ්‍යම කාරක සභා රැස්වීමක් ඉල්ලුවත් කැඳවන්න බෑ. ඒ ඉල්ලීම පක්ෂයේ සභාපතිවරයාගෙන් කරන්න ඕනකිරිඇල්ල කීවේය.
ශ්‍රී ලංකා එක බැලුවේ මෛත්‍රීගේ පිහිටෙන් ගොඩ යන්නේ. ඒත් දැන් ඒ අයට ගොඩ යන එක ‍ලේසි නෑ රනිල් කීවේ සැහැල්ලු මුහුණකිනි.

රනිල්ට උපෙදෙස් දෙන්නේ ඇමරිකාවෙන්
එක්සත් ජාතික පක්ෂය සිය මැතිවරණ ව්‍යාපාරය අනෙකුත් පක්ෂවලට පෙර ආරම්භ කළේය. මේ දිනවල රූපවාහිනී හා පුවත්පත් පිරී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ දැන්වීම් වලිනි. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය ප්‍රචාරක දැන්වීම් ආයතන කිහිපයකටද භාරදී තිබේ. ඊට අමතරව ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රචාරක ආයතනයක්ද පසුගිය සතියේදී මෙරටට පැමිණියේය. ඒ රනිල්ට මැතිවරණ ව්‍යාපාරය ගැන උපදෙස් දීමටය.
ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධව සිටි වෙළෙඳ ප්‍රචාරක ආයතනයක නියෝජිතයෝ සිකුරාදා උදෑසනම රනිල් හමුවූහ. රනිල් සමග රාජිත හා රවි එක්ව සිටියේ මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරි සති කිහිපය ගැන අවසන් තීරණ ගැනීමටය.

පාර්ලිමේන්තුවේ මල් තුනක්
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රථම ප්‍රචාරක රැලිය ජවිපෙ නායක, අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 14දා මහරගමදී පැවැත්විණි.
මෙම රැස්වීමේදී ලාල්කාන්ත අපූරු කතාවක් කීවේය. මම වේදිකාවේ ඉඳගෙන ඉන්නකොට මගේ හිතවතෙක් මා දිහා බලාගෙන පාරේ ගියා. මම අත වනලා සුහදත්වය පළ කෙරුවා. ඒ වෙලාවේ මගේ හිතවතා අපූරු දෙයක් කළා. මට අතවනලා ඊට පස්සේ අත පපුවෙන් තියාගත්තා. එකපාරටම මට ඒක හිතාගන්න බැරි වුණා. ඒක මට ටික වෙලාවක් යනකොට තමයි එහෙම කළේ මොකද කියලා මතක් වුණේ. මොකද දන්නවද මේ සැරේ අපේ තේමාව වෙලා තියෙන්නේ දේශයේ හෘද සාක්ෂිය කියන එකනේ. ඒ නිසා මමත් මිට පස්සේ අතවනන්නේ නැහැ. පපුවට අත තියලා ආචාර කරනවා. ලාල්කාන්ත අලුත් ආචාර කරන ක්‍රමයක් සමාජ ගත කළේය.
ඊට අමතරව පාර්ලිමේන්තුවේ පිපුන මල් තුනක් ගැනද ලාල්කාන්ත මතක් කළේය. මේ පාර්ලිමේන්තුවට යවන්න ඕන ජවිපෙ නියෝජිතයෝ. ඇයි කියලා ජනතාව දන්නවා මේ වෙනකොට. මේ පාර්ලිමේන්තුව කුණුවෙලා ගඳගහන තැනක් බවට පත්කරලා තියෙන්නේ මේ රටේ ප්‍රධාන යැයි කියාගන්නා දේශපාලන පක්ෂ දෙක. එහෙම තැනක් සුවඳ හමන තැනක් බවට පත්කරන්න සටන් කළේ අපේ පක්ෂයේ අනුර දිසානායක, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති කියන මන්ත්‍රීවරු තුන්දෙනා. පාර්ලිමේන්තුවේ සුවඳ හමන මල් තුනක් වුණේ ඒ තුන්දෙනා. අපේ රටේ ජනතාවට කවදාවත් හිතුනේ නැහැ පාර්ලිමේන්තුවේ ජවිපෙ තුන්දෙනෙක් ඉන්නවා කියලා. හිතුනෙම විපක්ෂ නායක අනුර දිසානායක කියලා. ඒ නිසා තමයි අපි කියන්නේ පාර්ලිමේන්තුවට යවන්න ඕන ජවිපෙ නියෝජිතයෝ කියලා ලාල්කාන්ත කීවේය.

සංජය නල්ලපෙරුම

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.