මෛත්‍රී ගේ යහපලනය මර්වින්ටද ?-

පසුගිය අට වැනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පදවියට පත් කර ගැනීම මගින් ශ්‍රී ලාංකික ජනතාව අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබුවේ යයි සිතති. ඒකාධිපතිවාදී පවුල්වාදී රාජපක්ෂ පාලනයට තිත තැබීම සැබවින්ම ජග්‍රහණයක් වන නමුත් පවත්නා දේශපාලන සංස්කෘතිය වෙනස් කරන ලෙසට ගෙන යන අරගලය නවතා සිරිසේන ජනාධිපති ධුරයට පත් කිරීමෙන් පමණක් සතුටු වීමෙන් ශ්‍රී ලාංකික ජනතාව කරගනු ලබන්නේ ඉඟුරු දී මිරිස් ගැනීමක්ය.

මෛත්‍රීපාල ජනාධිපති ධුරයට තරග කරන්නේ යහපාලනයක් ගොඩනගන බවට හා පවත්නා දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා යන පොරොන්දු සමගය. යහපාලනය යනු කුමක්දැයි ඔහු එහිදී නිර්වචනය කරන්නේ හෝ එය කා සඳහා දැයි ප්‍රකාශ කරන්නේ නැත. මේ නිසා ජනතාව යහපාලනය සම්බන්ධයෙන් තම තමන්ට රිසි අර්ථකථන පිළිගනිති.

මෛත්‍රීපාල සිරිසේන යටතේ යහපාලනය බලාපොරොත්තු වන දෙදෙනෙකු බවට මේ වන විට ආචාර්ය මර්වින් සිල්වා සහ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ පත්ව සිටිති. මර්වින් සිල්වා ඉල්ලා සිටින්නේ ඔහුගේ පුතා ඝාතනය කිරීමට තැත් කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසය. ඊට අමතරව බලවත් පුද්ගලයන් විසින් කළ ඝාතන දුෂණ පිළිබඳ තොරතුරු රැසක්ද යහපාලනයක් උදා කරගැනීමේ අරමුණින් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙයි. වාස් ගුණවර්ධන භාර්යාව ද නොකියා කියා සිටින්නේ බලවත් පුද්ගලයන්ට එරෙහිව සිදු කළ පරීක්ෂණ හේතුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා දඬුවම් විඳින බවයි.

Maithripala FBමෛත්‍රීපාල පොරොන්දු වූ යහපාලනය කුමක්දැයි විග්‍රහ කිරීමට මම අපොහොසත් වෙමි. මක් නිසාද යත් නීතියේ ආධිපත්‍ය සුරකින, ප්‍රජාතන්ත්‍රවාදී මුලධර්ම සහ සිද්ධාන්ත අනුව ක්‍රියාත්මක වන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නම් සීමා මායිම් තුළ වෘත්තීය භාවයකින් කටයුතු කරන, සමාජයක්  යහපාලනයක් ලෙස මම අදහස් කරන බැවිනි. ජනතා නැගීටීමක් නොමැතිව පාදඩකරණයට ලක් වූ සමාජයකින් යහපාලනයක් බලාපොරොත්තු විය හැකි යයි මම නොසිතමි.

මෛත්‍රී පාලනය ආරම්භ වී ගත වූ දින විස්ස තුළ සමාජ පාදඩකරණයේ දිගුවක් මිස ආපසු හැරීමක් තවමත් දක්නට නොමැත. නීතියේ ආධිපත්‍ය යහපාලනයක එක් පහන් ටැඹක් වේ. නීතියේ උත්තරීතර භාවය ගොඩනැගෙනුයේ එය ලියා ඇති පුස්තකයේ වටිනාකම මත නොව භාවිතයේ ඇති විශ්වසනීයත්වය, සාධාරණත්වය, විනිවිද සුළු භාවය, අපක්ෂපාතීත්වය වැනි ගුණාංග මතය. එබැවින් නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයන් ජනතා ගෞරවයට පත්, විශ්වාසය දිනා ගත් අපක්ෂපාතී පුද්ගලයන් විය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්ප්‍රදාය තීරණය කර ඇත්තේ වසර ගණනාවක් පුරා සිදුවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විකාශන වලදී ලද අත්දැකීම පදනම් කොටගෙනය. මෙවැනි මුල ධර්ම අමු අමුවේ උල්ලංඝනය කරමින් සමාජ පාදඩකරණය තීව්‍ර කළ එක අවස්ථාවක් ලෙස මහින්ද රාජපක්ෂ පාලනය අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ධුරයෙන් පහ කර මොහාන් පීරිස් එම ධුරයට පත් කිරීම දැක්විය හැකිය.

ඍජු පියවරක් ගැනීමට 

දින විස්සක් ගත වී ඇතත් ජනාධිපතිවරණයේ ප්‍රධාන පොරොන්දුවක් වූ අගවිනිසුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් තවමත් ඍජු පියවරක් ගැනීමට  මෛත්‍රී රනිල් හවුලට හැකියාව ලැබී නොමැත. පදවියේ ඉතිරිව ඇති අංශුමාත්‍ර ගෞරවය ගැන හෝ සලකා  ධුරයෙන් ඉල්ලා අස්වීමට තරම් නිහතමානි කමක් ද අන්තර් ජාතික ටොම්පචයෙක් ලෙස ප්‍රකට වූ අගවිනිසොරා ලෙස ජන මාධ්‍යයේ උපහාසයට ලක් වූ අවනීතික ලෙස ධුරයට පත් වූ බවට ඇතැම් නීතිවේදීන් පවා ප්‍රකාශ කරන මොහාන් පීරිස්ට නැත. මොහාන් පීරිස් වැනි පුද්ගලයන් ඉවත් කිරීම ප්‍රමාද වන විට විනාශ වනුයේ එම ධුරයන් පිළිබඳ ඇති විශ්වාසය සහ ගෞරවනීය භාවය පමණක් නොව යහ පාලනයක් උදා වේයැයි ජනතාව තුළ පවතින  විශ්වාසයයි.

නීතිය ක්‍රියාත්මක වන්නේ ඉබි ගමනින්

ජනාධිපතිවරණය දා රාත්‍රී ජනතා මතයට පිටු පා බලය පවත්වා ගැනීමේ උත්සාහයක රාජපක්ෂ පාලනය යෙදුන බවට චෝදනාවක් වත්මන් විදේශ ඇමති මංගල සමරවීර ගොනු කර ඇතත් මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ ඉබි ගමනින් වීම ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි ජනතාවට ප්‍රශ්නයක් වී ඇත. මෙවැනි දරුණු ගනයේ රාජද්‍රෝහී අපරාද චෝදනාවක් සම්බන්ධයෙන් මන්දගාමි වන පොලිසිය පසුගිය ආණ්ඩු සමයේ තමන්ට එරෙහි කොටස්වලට විරුධව නීතිය ක්‍රියාත්මක කිරීමට කඩිනම් වූ ආකාරය සරත් ෆොන්සේකා, අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, ප්‍රසන්න සෝලංගආරච්චි ආදීන් සම්බන්ධයෙන් කටුයුතු කළ අන්දමෙන් පැහැදිලි වේ.

මෛත්‍රී ජනාධිපති වීමත් සමග පොලිස් වැටලීම් අංශ තැන තැන වැටලීම් සිදු කර රාජපක්ෂ පාලනයට සම්බන්ධ පිරිස් කළ දුෂණ හෙළි කිරීමේ මාධ්‍ය උත්සාහයක නිරත විය. එය කළ යුතු කාරියක් වුවත් එය සිදු කරන අන්දම ජනතා විශ්වාසය දිනා ගැනීමට නොව පලුදු කිරීමට දායක නොවන්නේද? අල්ලස් හා දුෂණ කොමිසම අකර්මණ්‍ය වී එහි සභාපතිවරයාටද අල්ලස් ගැනීමේ චෝදනා ඇති විටක මෙතෙක් කල් අඳ ගොළු බිහිරන් සේ සිටි පොලිසියේ ක්‍රියාකාරීත්වයද ප්‍රශ්නකාරීය. විධිමත් ක්‍රමවේදයක් නොමැතිව සිදු කරන මේ වැටලීම් සහ හෙළි කිරීම් වලින් වන්නේ සාක්ෂි විනාශ වීම, නීතිමය මාර්ගයෙන් කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය විනාශ කිරීම සහ අපරාධකරුවන්ට තොරතුරු විනාශ කිරීම සඳහා අනවශ්‍ය ලෙස රුකුල් දීම යයි කිව නොහැකිද? සැබෑ ලෙස අයථා ගනුදෙනු පිළිබඳ පරීක්ෂා කළ යුතු නම් සිදු විය යුතු වන්නේ සැකකටයුතු ස්ථාන සීල් තබා නිසි බලධාරීන් විසින් පරීක්ෂණ පවත්වා සාර්ථක ලෙස නඩු පවරා වැරදි කරුවන්ට දඬුවම් දෙන අවස්ථාවේ මාධ්‍ය ඉදිරියේ ප්‍රදර්ශනය කිරීම නොවේද? නමුත් එවැනි උවමනාවක් නොමැති වර්තමාන පාලනය කරන්නේ පාලුගෙයි වළං බිඳ ජනතාව ගොනාට ඇන්දවීමක්ද?

චන්ද්‍රිකා දුෂණ සහ වංචා සම්බන්ධයෙන් කටයුතු කළේ මේ ආකාරයෙන් නොවේද?

 

1994 දී ජන රැල්ලෙන් බලයට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය ද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ දුෂණ සහ වංචා සම්බන්ධයෙන් කටයුතු කළේ මේ ආකාරයෙන් නොවේද? ඒ සමයේ චෝදනා එල්ල වූ ඇමතිවරු කී දෙනෙක් වර්තමාන මෛත්‍රී රනිල් හවුලේ සිටිත්ද? ඔවුන්ට එරෙහි චෝදනා ඔප්පු වීද? නොඑසේනම් නීතිය ඉදිරියට ඔවුන් පැමිණවීමට තිබු සාක්ෂි අතුරුදහන් වී ද නැතහොත් විනාශ කළේ ද? 1994 සිට 2015 තෙක් පැවති රජය යටතේ  අල්ලස් හා දුෂණ චෝදනා ලද පුද්ගලයන්ට එරෙහිව කළ පරීක්ෂණවලින් පසු කී දෙනෙකුට, දේශපාලන විරුද්ධවාදීන් හෝ වේවා, එරෙහිව සාර්ථක ලෙස නඩු පවරා රජයට නැතහොත් මහජනතාවට අහිමි වූ සම්පත් යළි ලබාගෙන තිබේද?

ටෙලිකොම් සභාපති පදවියට තම සහෝදර  කුමාරසිංහ සිරිසේන

යහපාලනයක් සඳහා රාජ්‍ය ආයතන සඳහා විධිමත් ලෙස පත්වීම් සිදු කිරීමත් එම පත්වීම් වල පාරදෘශ්‍ය භාවය සුරැකීමත් අත්‍යවශ්‍ය සාධක යයි මා සිතන නමුත් මෛත්‍රීපාල පාලනය එසේ සිතන්නේයයි කිව නොහැක. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සඳහා මෛත්‍රී සොයුරු කුමාරසිංහ සිරිසේන පත් කිරීම ඊට හොඳම නිදසුනයි. ධුරයට පත් වූ පසු රාජ්‍ය ආයතන තම පුද්ගලික බූදලයක් ලෙසත් රාජ්‍ය නිලධාරීන් පුද්ගලික සේවකයන් ලෙසත් ශ්‍රී ලංකික පාලකයෝ සලකති. එහෙයින් තමන්ට රිසි පුද්ගලයන් තනතුරුවලට පත් කරති. රාජපක්ෂ පාලනය ඥාති සංග්‍රහයක යෙදෙමින් සහෝදර සමාගමක කටයුතු කළ අතර එය විවේචනය කරමින් ඊට එරෙහි ඡන්දය තමන්ට දෙන ලෙස ඉල්ලු පල්ලෙවත්ත ගමරාළලාගේ මෛත්‍රීපාල සිරිසේන ජාතියේ ආදායම් උල්පතක් වූ ටෙලිකොම් සභාපති පදවියට තම සහෝදර පල්ලෙවත්ත ගමරාළලාගේ කුමාරසිංහ සිරිසේන පත් කරන්නේ යහපාලනයක් සඳහා ඔහු ජාතියට අත්‍යාවශ්‍ය සම්පතක්ව තිබෙන හෙයින්ද?

එම පත්කිරීම සැලකීමට ගත් කල මහින්ද රාජපක්ෂ පත් කළ අගවිනිසුරු මොහාන් පීරිස්ගෙන් ධුරයෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටීමේ සදාචාරාත්මක අයිතියක් මෛත්‍රීපාල සිරිසේනට තිබේද?  කෙසේවෙතත් දැන් ජනතාව කළ යුතුවන්නේ මෛත්‍රීගේ පදයට නැටීම නොව ජනතා පදයට ඔහු නැටවීමට උත්සාහ දැරීමයි.  යහපාලනය ගැන ඔහුගේ අර්ථකථන නොව ජනතා අර්ථකථනය ලබා දීමයි. ඒ අනුව ආචාර්ය මර්වින් සිල්වාට මෙන්ම වාස් ගුණවර්ධන භාර්යාවට ද සාධාරණය ඉටු විය යුතුය. එමෙන්ම වාස් ගුණවර්ධනගෙන් සහ මර්වින් සිල්වා ගෙන් බැට කෑ පුද්ගලයන්ට ද සාධාරණය ඉටු කෙරෙන සමාජයක් ගොඩ නැගීම යහපාලනය නොවේද?-තිලෝප

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.