“මෛත්‍රී“ වෙනුවට සිරිසේන යොදා ගැනීමේ රහස

sirikkk
“මෛත්‍රී“ – යන සන්නාමය (brand image) මනසේ ස්ථානගත කිරීමට විපක්ෂය උත්සහ කරද්දී ආණ්ඩුව හදන්නේ එය අමතක කොට සිරිසේන යන නාමය උඩට ගැනීමට ය. අද වනවිට ආණ්ඩුවේ පත්තරවල මුල් පිටුවේ විවේචනය සිරිසේන නාභිගත කොට සිදු කෙරෙමින් පවතී. වෙනදා තඩිබාන රනිල් හෝ චන්ද්‍රිකා මුල පිටුවෙන් පසු පිටුවලට විස්ථාපනය වෙමින් තිබේ.

මේ සිදුවන ක්‍රියාවලිය නිසි ලෙස තේරුම්ගැනීම කළමනාකරුවෙකුට වැදගත් ය.

විපක්ෂයේ තේමාව මෛත්‍රී පාලනයක් යන්න ය. එය සාධනීය ය. සෞම්‍යය ය. සොඳුරු ය. දේශීය ය. ආගමික ය. ඒ නිසාම ප්‍රබල ය.

ආණ්ඩුව මෛත්‍රීපාල යන නම වෙනුවට සිරිසේන යන නම යොදා ගන්නා ලෙස තමන් යටතේ ඇති සියලු මාධ්‍යවලට විධාන දී ඇත්තේ ඒ නිසා ය. සමහරුන් කියන පරිදි මෛත්‍රී භාවනා වැඩසටහන මෙත් වැඩුම ලෙස නම් කළේ නම් එසේ කරන්නට ඇත්තේ ද ඒ නිසා ය.

ආණ්ඩුවත් විපක්ෂයත් මේ හැසිරීම මගින් අපට කියා සිටින්නේ සන්නාමයක වැදගත් කම ය. මනස තුළ සාධනීය ලෙස ස්ථාන ගත කරවීමේ වැදගත් කම ය.

 

විපක්ෂ දැන්වීම් කරණය තුළ රනිල් චන්ද්‍රිකා හෝ චම්පික නැත. ඇත්තේ මෛත්‍රී ගේ සිනහබර මුහුණ ය. ඒ නිසාම රනිල්ට චන්ද්‍රිකාට තඩි බෑමෙන් එතරම් වැඩක් සිදු වන්නේ නැත. මෛත්‍රී ඔවුන්ගේ තල්ලුවෙන් ආ බව ඇත්තකි. එහෙත් මේ වනවිට ඔහු තමන්ගේ අනන්‍යතාවයක් ගොඩ නගා ගෙන තිබේ. වෙන එකක් තබා තමන්ටම ආවේණික ඇඳුමකින් සැරසෙන්නට ද ඔහු වග බලාගෙන තිබේ.

 

ඒ නිසාම රුහුණේ මාගම්පත්තුවේ මහින්ද “මාමා“ට වෙනදා මුණ ගැහුණු ටයිකෝට් වලින් සැරසුනු රනිල් “අංකල්“ වෙනුවට දැන් මුණ ගැසෙන්නේ රෙද්දයි බැනියමයි අඳින නව ආරකින් පෙනී සිටින රජරට ගොවියෙකුගේ පුතෙකි.

ගැමියාගේ මනස තුළ මෛත්‍රී ස්ථානගත වන්නේ රනිල් ස්ථානගත වූවාට වඩා උත්තර තැනක ය. මේ සටන නව මානයක් ගෙන තිබෙන්නේ ද ඒ නිසා ය.

නිවැරදි කවු ද යන්නට වඩා දිනන්නේ කවු ද යන්න මේ මැතිවරණයේ මූලික තේමාව වී තිබෙන බව ද විමසිය යුතු කරුණකි.

රාජ්‍ය යන්ත්‍රය දේශපාලනීකරණය වීමේ තරම එය කදිමට කියා පායි. මහන මැෂිමක් මාලු දැලක් මෝටර් සයිකලයක් ගත හැක්කේ කාට පක්ෂ වීමෙන් ද යන ප්‍රශ්නයට උත්තර ඇත්තේ එහි ය. රටට මොකක් වුනත් අපට යමක් ගත හැක්කේ කාගෙන් ද යන ප්‍රශ්නය මිනිසුන් මතු කිරීම අප ගොඩ නගා ගෙන ඇති දේශපාලන සංස්කෘතියේ දිග පළල කියා පාන්නේ ය.

ඒ නිසාම ලංගම බස්යොදා ඈත සිට මිනිසුන් ගෙන හෝ රැස්වීමේ බලය පෙන්විය යුතුව තිබේ. බස් වලින් සෙනග අද්දවා ඇති බව ජනතාවට ආරංචි වීම එහිදී වැදගත් කොට නොසැළකේ. එසේ හෝ සෙනග අද්දවා ගැනීමට ඇති හැකියාව පමණක් ඉස්මතු වෙයි. ප්‍රදර්ශනය කළ යුතුව තිබෙන්නේ බලය ය. නග්න බලය ය. මේ මැතිවරණයේ තරම් වෙන කිසිම මැතිවරණයක එවැන්නක් දැක ගත හැකි නොවී ය.

අප ගමන් කරන අනාගතය කෙබදු දැයි මේ මැතිවරණය අපට පෙන්වා දෙන්නේ ය. වඩාත් විමසිල්ලෙන් මේ මැතිවරණ ව්‍යාපාරය දෙස බලා සිටීමෙන් අපට රට තුළ හැඩ ගැහෙමින් තිබෙන මානසිකත්වයන් තේරුම් ගන්නට ඉඩ ලැබේ. ඒ ගැන සංවේදී සිටීම සිය උපාය මාර්ග සැළසුම් කිරීමේ දී කළමනාකරුවෙකුට වැදගත් වේ. එයට හේතුව මේ චන්දදායකයා ඔබෙ පාරිභෝගිකයා සේවාලාභියා සේවකයා හා ගනුදෙනුකරුවා ද වන හෙයිනි.

ඒ නිසාම දේශපාලනය ගැන උනන්දුවක් ඇතත් නැතත් මේ දිගහැරෙන ක්‍රියාදාමය හා ඒ තුළ ප්‍රකට වෙන කරුණු ගැන උනන්දුවක් කළමනාකරුවන් විසින් ඇති කර ගත යුතු ය. ඒ සඳහා තමන්ගේ පෙරහනයන් ඉවත දා මේ ක්‍රියාදාමය ලෙස බාහිර පාර්ශවකරුවෙකුගේ කෝණයෙන් බැලිය යුතු ය.

(රන්දොර)

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.