මෛත‍්‍රීපාල කොස්ස අතට ගනී

 

 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටින මහින්දවාදී කොටස් හා දූෂිතයන් ඉවත් කර පක්ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා පිරිසිදු පක්ෂයක් ලෙස ගොඩනැගීමට මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැඩි තීන්දුවක් ගෙන ඇත.

ශ‍්‍රීලනිපය තුළ තම බලය තහවුරු කර ගැනීම වෙනුවෙන් මෙම ක‍්‍රියාමාර්ගය ගෙන තිබෙන අතර මහ මැතිවරණය අවසන් වන්නට ප‍්‍රථම පක්ෂයේ නිලතල දරන මහින්දවාදී පිරිස් රැසකට තනතුරු අහිමි විය හැකි බවත් සිරිසේන මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගියදා කැස්බෑව ආසනයේ සම සංවිධායකවරයා ලෙස හිටපු සංවිධායක චන්දන කති‍්‍රආරච්චි මහතා පත් කිරීමත්, අවිස්සාවේල්ල සංවිධායකවරයා ලෙස ප‍්‍රසන්න සෝලංගආරච්චි මහතා පත් කිරීමත් මේ වැඩපිළිවෙළේ එක් පියවරකි.

එමෙන්ම මේ වන විටත් ශ‍්‍රීලනිපයේ ප‍්‍රබල නායකයන් වන විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, සන්ධානයේ මහ ලේකම් සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා, ශ‍්‍රීලනිප මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා ආදී තවත් ප‍්‍රබලයන් ගණනාවක් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට ඉදිරිපත්ව සිටී. යම් ලෙසකින් සන්ධානය මෙවර බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ආණ්ඩුවක් පිහිටුවීමට සුදුසුකම් පෙන්වුවහොත් අගමැති ධුරය නිමල් සිරිපාල ද සිල්වා මහතාට ලබා දීමට මේ වන විටත් එකඟතාවක් ඇති බවත් එසේ නොවුණහොත් එජාපය සමඟ පිහිටුවන ජාතික ආණ්ඩුවේ නියෝජ්‍ය අගමැති ධුරය හෝ සිල්වා මහතාට ලැබෙනු ඇත.

 

එමෙන්ම ඉදිරියේ දී බිහිවන කවර ආණ්ඩුවක වුව මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය නියෝජනය කළ රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක, චම්පික රණවක, එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන යන හිටපු ඇමැතිවරුන්ටත් මන්ත‍්‍රී ආසන දිනා ගැනීමට සමත් වුවහොත් ශ‍්‍රීලනිපයේ සුසිල් පේ‍්‍රම්ජයන්ත්, අනුර යාපා, මහින්ද අමරවීර, ඇතුළු කණ්ඩායමකටත් ඇමැති ධුර හිමිවීමට නියමිතය.

මේ අතර සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර ලබාදීම ද මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අහිමතය අනුව සිදුවේ. එහිදී මහින්දවාදීන් වන ජී.එල්. පීරිස්, ටිරාන් අලස්, තිස්ස අත්තනායක යන හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට යළි මන්ත‍්‍රී ධුර නොලැබෙන අතර වීරවංශ මහතාගේ පක්ෂය නියෝජනය කරන හා ඍජුවම රාජපක්ෂ මහතා විසින් නම් කරන ලද පුද්ගලයන් කිසිවකුට හෝ එම මන්ත‍්‍රී ධුර නොලැබෙනු ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

-සුභාෂ් ජයවර්ධන

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.