යට ගැසූ දූෂණ ලැයිස්තුව දිගයි

mahinda-rajapaksaමහින්ද රාජපක්‍ෂ ප‍්‍රමුඛ රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහි දූෂණ වංචා පිළිබඳ පැමිණිලි මෙන් ම, එම රජයේ මැති ඇමතිවරුන් වූ මහින්දානන්ද අලුත්ගමගේ, කුමාර වෙල්ගම, විමල් වීරවංශ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, කෙහෙළිය රඹුක්වැල්ල යන අයට එරෙහිව පැමිණිලි සිය ගණන් ලැබී තිබිණි.

* අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, රවී කරුණානායක, චම්පික රණවක, රාජිත සේනාරත්න ඇතුළු පිරිසට අදාළ පැමිණිලි ද ඉදිරිපත්ව තිබිණි.

*දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය ස්ථාපිත කර තිබුණේ එය තමන්ට අවශ්‍ය අවස්ථාවක වසා දැමීම සඳහා පහසු ආකාරයකට ය. ස්ථිර කාර්යාලයක් ලෙස ආරම්භ නොකළ එම කාර්යාලය මාස හයකට පසු අමාත්‍ය මණ්ඩලය මඟින් කාලය දීර්ඝ කරන ලද අතර, ඉන් පසු සෑම මාස හයකට වරක් ම එහි කාලය දීර්ඝ කර තිබිණි.

*ආණ්ඩු දෙකේ ම හොරුන් ආරක්‍ෂා කිරීම සඳහා එම හොරුන් කොට්ඨාස දෙකෙන් ම සැදුම්ලත් යහපාලන ආණ්ඩුව ඔවුන්ට අවශ්‍ය ම වූ පියවර ගන්නා ලදී.

*ඒ අනුව දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට එරෙහිව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ දී අවලාද රැසක් නඟා තිබූ බවට වාර්තා විය. ඉන් එක් අවලාදයක් වූයේ මෙම කාර්යාලය මඟින් හාල්මැස්සන් ඇල්ලීම මිස තෝරුන්, මෝරුන් අල්ලා නැති බවයි.

* ගිං, නිල්වලා ගනුදෙනුව, බැසිල් රාජපක්‍ෂගේ මල්වානේ ඉඩම් ගනුදෙනුව, විමල් වීරවංශගේ හෝකන්දර ඉඩම් ගනුදෙනුව සහ රජයේ නිවාස අයථා ලෙස පැවරීමට අදාළ ගනුදෙනුව ඇතුළු මහා පරිමාණ පැමිණිලි ගණනාවක් මෙම කාර්යාලයෙන් නිකුත් වී විමර්ශන ආයතනවල විමර්ශනය වෙමින් තිබිය දී සහ ඊට අදාළ නීති ක්‍රියාමාර්ග ගනිමින් තිබිය දී එය වස දැමුණි.

*තවත් අවලාදයක් වූයේ ෆවුසි ඇමතිවරයාට එරෙහිව වාහන අවභාවිතාවක් පිළිබඳ පැමිණිල්ල පමණක් මෙම කාර්යාලය විසින් ක්‍රියාවට නඟා ඇති බවයි. මෙම කාර්යාලයට එවන් පැමිණිල්ලක් ලැබී නොමැති බව පසුව අනාවරණය විය.

*ජනාධිපතිගේ අවලාද මාධ්‍යයට නිකුත් කිරීමේ කාර්යභාරය ඉටු කළ ඇමති, රාජිත සේනාරත්න කීවේ ඊට නොදෙවැනි අසත්‍ය අවලාද බව පසුව හෙළිදරවු විය. ජනාධිපතිවරයාගේ අවලාදවලට නොදෙවැනි අවලාදයන් ගොඩනැඟූ රාජිත ප‍්‍රකාශ කළේ මෙම කාර්යාලය නඩත්තු කිරීමට මාසයකට රුපියල් මිලියන 12ක් වැය වූ බවත්, එතරම් මුදලක් වියදම් කර ලබා ගත් ප‍්‍රතිඵලයක් ද නොමැති බවත් ය.

*දූෂණ මර්දන කමිටු කාර්යාලයේ වියදම් සම්බන්ධව අග‍්‍රාමාත්‍ය කාර්යාලය කළ වියදම් අනුව එහි මාසික වියදම රුපියල් ලක්‍ෂ 24කට ආසන්න වේ. එනම් මාසිකව රුපියල් මිලියන 2.4කි. රාජිත සේනාරත්න ඇමතිවරයා මෙම මුදලට තවත් මිලියන 10ක් එකතු කර මාසික වියදම රුපියල් මිලියන 12ක් ලෙස සඳහන් කරනු ලැබුවේ වැරැදීමකින් නොව මෙම කාර්යාලය වසා දැමීම සාධාරණීයකරණය කිරීම සඳහා ය. මෙහි දී මෛත්‍රී – රනිල් රජය මාසිකව රුපියල් ලක්‍ෂ 24ක වියදමකින් පවත්වාගෙන ගිය දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය එලෙස අවලාද සහ අසත්‍ය කරුණු මත වසා දමනුයේ, එම මුදල මෙන් දස ගුණයක වියදමක් එනම්, මාසිකව රුපියල් දෙකෝටි දශලක්‍ෂයක් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා මාස ගණනාවක් නිරපරාදේ කුලී ගෙවමිනි.

*. වසා දැමූ කාර්යාල ගොඩනැඟිල්ල විවෘත කර එහි අගමැති සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයක් පිහිටුවන ලදී. එහි ප‍්‍රධානියා ලෙස මහින්ද රාජපක්‍ෂගේ සිල් රෙදි බෙදීම සාධාරණීයකරණය කළ හිටපු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්, ජිනසිරි දඩල්ලගේ පත් කරනුයේ, දූෂණ පිළිබඳව මෙම කාර්යාලයට පැමිණිලි කළ සියල්ලන්ට ම අතුල් පහරක් ගසමිනි.

* නීතිමය පියවර ගැනීම ආරම්භ කිරීමෙන් පසුව රජයේ ඉහළ ම බලවතුන් විසින් යටපත් කරන ලද දූෂණ, වංචා එයට ඇතුළත් වෙයි. උදාහරණ ලෙස ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවේ ඇතුළත් ඇවන්ට්ගාඩ් ගනුදෙනුව, විමල් වීරවංශගේ නිවාස පැවරීමේ ගනුදෙනුව, මහින්දානන්ද අලුත්ගමගේගේ නාවලපිටිය දුම්රිය දෙපාර්තමේන්තු ඉඩමට අදාළ ගනුදෙනුව ආදිය දැක්විය හැකි ය.

මෙම ගනුදෙනු ඇතුළු වංචා 34ක් පිළිබඳව මහත් උජාරුවෙන් කතා කරන ජනාධිපතිවරයාගෙන් ඇසිය යුතු ප‍්‍රශ්නයක් තිබේ. දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය තම ධුර කාලය තුළ මහා පරිමාණ දූෂණවලට අදාළ පැමිණිලි 400කට අධික ප‍්‍රමාණයක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අල්ලස් කොමිසම හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබිණි. මෙම පැමිණිලිවලට සිදු වූයේ කුමක් ද?

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.